Image

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1,056 කට පත්වීම්

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1,056 කට පත්වීම්

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (04) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල කොටස්කරුවන් වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2900කට ලබන දෙසැම්බර් මාසයේදී යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බවයි.

වසර එකහමාරක විධිමත් හා සාර්ථක පුහුණුවක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්වීම් ලැබූ මෙම නවක නිලධාරිනියන්, රේඛීය අමාත්‍යාංශය සහ පළාත් සභා යටතේ පාලනය වන දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කෙරෙනු ඇත. ජනතාව වෙත සෞඛ්‍ය සේවාවන් සමීපව හා අඛණ්ඩව සැපයීමේදී මෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණයේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය කාල වකවානුවක මෙම නවක නිලධාරිනියන් සේවයට එක්වන බව පැවසූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, වත්මන් සෞඛ්‍ය සේවාව ගමන් කරන දිශානතිය නිවැරදිව හඳුනාගැනීම මගින් ජනතාවට සෞඛ්‍ය සේවාවන් සැපයීම වඩාත් පහසු වන බවද, එමගින් වෘත්තීන් අතර පවතින ගැටුම් අවම කරගත හැකි බවද සඳහන් කළේය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” වැඩපිළිවෙළ යටතේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවත්, පිළිසිඳ ගැනීමේ සිට වියපත් වන තෙක්ම පුද්ගලයාට සමීප වන සෞඛ්‍ය සේවාවක අවශ්‍යතාවය එතුමා විසින් තවදුරටත් අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන්, ළමා හා ළදරු පෝෂණය සහ ළදරු මරණ අනුපාතිකය අවම කරගැනීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය වෘත්තිකයින් ලබා දෙන දායකත්වය ලෝකයටම ආදර්ශයක් බව අමාත්‍යවරයා මෙහිදී අගය කළේය. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ තුළ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ප්‍රබල කොටස්කරුවන් බවද අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය සේවයේ මානව සම්පත ශක්තිමත් කිරීමේදී වැඩිම පිරිසක් බඳවාගෙන ඇත්තේ සෞඛ්‍ය සේවයට බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය මාර්තු මාසයේදී පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 976ක් බඳවා ගත් බවත්, තවත් 39 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිතව ඇති බවත් සඳහන් කළේය. ඒ අනුව මෙම දෙවසර තුළ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 2071 දෙනෙකු බඳවා ගනිමින් ඔවුන්ට අවශ්‍ය උසස්වීම්, දීමනා සහ පුහුණුව ලබාදීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව දෙසැම්බර් මාසය වනවිට පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2900කට ස්කූටර් මාදිලියේ යතුරුපැදි ලබාදීමටත්, ඉදිරි වසර කිහිපය තුළ ක්ෂේත්‍රයේ නියුතු සැමටම එම පහසුකම සැලසීමටත් රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න