Image

මඩකලපුව ශික්ෂණ රෝහලට නව වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකයක්

මඩකලපුව ශික්ෂණ රෝහලට  නව වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකයක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550 ක මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය (Nephrology and Dialysis Unit) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

එමෙන්ම වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකයේ රුධිර කාන්දුකරණ අංශය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිල වශයෙන් විවෘත කරන ලද අතර, සායන, දැඩිසත්කාර ඒකක සහ ශල්‍යාගාර ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙම වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය යුක්ත වේ.

නැඟෙනහිර පළාතේ විශේෂයෙන් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන බැවින්, එම වකුගඩු රෝගීන්ගේ ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, අයවැය මඟින් වෙන් කරන ලද මුදල් යොදවා මෙම වකුගඩු ප්‍රතිකාර ඒකකයේ අඩාල වී තිබූ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි සියලු රෝහල් විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන 589,172 ක ජනතාවට මෙන්ම අවට දිස්ත්‍රික්කවල ජනතාවට ද ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මඩකලපුුව දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමඟ පසුගිය ජූලි මස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද පියවර ගන්නා ලද අතර, රෝහලේ භෞතික හා මානව සම්පත් අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවත් වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ඉතිරි ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකමි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  මෙහිදී පැවසුවේ මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය විවෘත කිරීම ත් සමග වකුගඩු ප්‍රතිකාර සේවා ශක්තිමත් වෙමින් නැගෙනහිර පළාතේ ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදිය හැකි වන බවයි.

මඩකළපුව ශික්ෂණ රෝහල් ඉතිහාසයේ පළමු වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ද (First Kidney Transplant) 2025 මැයි 15 වන දින සාර්ථකව සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්. ශ්‍රීධරන්, වෛද්‍ය එච්.එම්. අර්ජුන තිලකරත්න, සාගරී කිරිවන්දෙණිය, අතිරේක ලේකම් ඉංජිනේරු සාලින්ද බණ්ඩාර, අධ්‍යාපන සහ පුහුණු වෛද්‍ය සමන්ත රණසිංහ, මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ මඩකළපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ආර්. මුරලීෂ්වරන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න