අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන වසර 6ක සිර දඬුවමේ ඉතිරි කාල සීමාව අද (05) සිට යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළේය.
මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පසුගිය ඔක්තෝබර් 01 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඥාණසාර හිමියන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයා මාර්ගයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කළ අතර, උන්වහන්සේට විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබීය.
අනතුරුව ඉකුත් සෙනසුරාදා දින තීනායාවල ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ඥාණසාර හිමියන්, ඊයේ සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේව අද දින අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
මෙහිදී ඥාණසාර හිමියන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා සඳහන් කළේ, සිය නිකායේ නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ එම ආරණ්‍ය සේනාසනය වෙත ගිය බවයි. උන්වහන්සේට අධිකරණය මඟහැරීමේ කිසිදු චේතනාවක් නොතිබූ බවත්, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් විවේක ගැනීමට ගිය අදාළ ස්ථානයේ දුරකථන සංඥා නොමැති වීම නිසා නීතිඥවරුන් සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
එමෙන්ම ඥාණසාර හිමියන්ට විනාඩියක කාලයක් අධිකරණය ඇමතීම සඳහා අවසර ඉල්ලා සිටියද, විනිසුරු මඬුල්ල විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරු මඬුල්ල විසින් අදාළ සිරදඬුවමේ ඉතිරි කාලය අද දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරීස් ජෙනරාල්වරයා වෙත නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
