විදේශීය මත්පැන් බෝතල් දහයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා, ඉන් රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාගැනීමේ චෝදනාවලට වරදකරුවන් වූ සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද(6) බරපතළ වැඩ සහිත වසර 28 බැගින් වූ සිරදඬුවම් නියම කළේය.
ඊට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් හාරලක්ෂ තිස්දහස (430,000) බැගින් වූ අමතර දඩයක් ද වෙන් වෙන් වශයෙන් නියම කර තිබේ.
දඬුවම් නියම වූ සුරාබදු නිලධාරීන්:
මෙලෙස දඩුවම් නියම කරනු ලැබුවේ සුරාබදු නියාමකවරයකු ලෙස සේවය කළ අමර සුජිත් චන්ද්‍රසේකර නලින් පුෂ්ප කුමාර සුරාබදු සැරයෙන් මේජර්වරයෙකු ලෙස සේවය කළ අනිල් නිෂ්‍යංක සහ සුරාබදු පරීක්ෂක චමින්ද ප්‍රසාද ජනක බටු විට ආරච්චි යන සිව් දෙනාට එලෙස දඬුවම් නියම කළා.
සිද්ධියේ පසුබිම සහ නඩුවේ කරුණු
කැස්බෑව සුරාබදු ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදී 2019 අගෝස්තු 16 වන දින හෝ ඊට ආසන්න දිනකදී මෙම අල්ලස ඉල්ලා සිටීම සහ ලබාගැනීම ඇතුළු අධිචෝදනා 18ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබුණි.
පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු 2019 අප්‍රේල් මස විදේශ සංචාරයකින් පසු කටුනායක ගුවන්තොටුපළ තීරුබදු රහිත වෙළඳසැලෙන් සිය පරිභෝජනය සඳහා මත්පැන් බෝතල් 10ක් මිලදී ගෙන තිබේ. පසුව ඔහු රෝගාතුර වීම හේතුවෙන් එම මත්පැන් බෝතල් අලෙවි කිරීමට තීරණය කර ඇත.
එහිදී අදාළ සුරාබදු නිලධාරීන් විසින් පැමිණිලිකරු සහ ඔහුගේ දරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන දරුවන් සිරමැදිරියේ රඳවා නඩු නොදමා නිදහස් කිරීමට නම් රුපියල් ලක්ෂ පහක් අවශ්‍ය බවත්, එම මුදල නොදුන්නොත් අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් පැමිණි කාර් රථයද රාජසන්තක කරන බවත් පවසා තිබූ බව පැමිණිල්ලේ සාක්ෂි මගින් අනාවරණය විය.
ඉදිරිපත් වූ දීර්ඝ සාක්ෂි විභාගයෙන් අනතුරුව චෝදනාවලට විත්තිකරුවන් වරදකරුවන් බව නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
