Image

හිටපු කථානායක කරු තැනූ ජාතික සමඟියේ පාලමට දශකයයි

හිටපු කථානායක කරු තැනූ ජාතික සමඟියේ පාලමට දශකයයි

ආචාර්ය කරු ජයසූරිය සහ වෛද්‍ය වසන්තා ජයසූරිය විසින් ආරම්භ කරන ලද 'සූර්ය පදනම' මගින්, දකුණේ දරුවන්ට දමිළ භාෂාවත් උතුරේ දරුවන්ට සිංහල භාෂාවත් නොමිලේ උගන්වමින් ආරම්භ කළ ජාතික සමගියේ වැඩසටහනට මෙවර වසර 10ක් සපිරේ. ඒ වෙනුවෙන් එහි 10 වැනි කණ්ඩායම ඇගයීමේ සහ සහතික පත් පිරිනැමීමේ විශේෂ උත්සවයක් පසුගියදා යාපනයේ දී පැවැත්විණි. මතු දැක්වෙන්නේ මේ පිළිබඳව හිටපු කථානායක කරු ජයසූරියගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිකුත් කළ නිවේදනයයි.

හිටපු කථානායක කරු තැනූ ජාතික සමඟියේ පාලමට දශකයයි!

“ජාත්‍යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටිය ද  ප්‍රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය  කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන වගකීමක් ලෙස හේ නිතරම සැළකීය. ආනන්ද විද්‍යාලයෙන් පොවන ලද ජාතික හැඟීම ඔහුව එවන් මාවතකට යොමු කරවන්නට ඇත. තිස් වසරක සාප ළත් යුද්ධය අවසන් වුව ද තවමත් ජාතින් අතර ඇති අවිශ්වාසය සහ බෙදීම් වලට දේශපාලන විසඳුම් සොයන අවධියේ ජයසූරිය මහතා විශ්වාස කළේ ජාතින් අතර භාෂාමය අනවබෝධය මීට ප්‍රධානතම හේතුව වන බවයි. මිනිසුන්ට සිය සැබෑ හැඟීම් සහ සිය මතයන් තවකෙකුට පැහැදිළිව සන්නිවේදනය කළ හැකිනම් අනෙකා කෙරෙහි සැක උපදවාගැනීම මඟහැරවිය හැකි බව ඔහු හඳුනාගනු ලැබීය. යළිත් රට තුළ ගැටුම් නිර්මාණය වීමට ඔහු කිසිසේත්ම අකමැති හෙයින් නව වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔහුට තදින් දැනෙන්නට විය.

 

දකුණේ දරුවන්ට දමිළ භාෂාවත් යාපනයේ දී උතුරේ දරුවන්ට සිංහල භාෂාවත් නොමිළයේ උගන්වන වැඩසටහන

වෛද්‍ය වසන්තා ජයසූරිය මහත්මිය සහ කරු ජයසූරිය මහතා විසින් සමාජ සේවා කටයුතු වෙනුවෙන් ආරම්භ කරන ලද “සූර්ය පදනම”  හරහා බොහෝ සමාජ සේවා කටයුතු සිදු වෙමින් පැවතියත් ජාතික සමඟිය වෙනුවෙන් ඒ හරහා මාවත විවර කිරීම සිදු කරනු ලබන්නේ 2016 වසරේ දීයි. ඒ ගම්පහ කාර්යාලයේ දී දකුණේ දරුවන්ට දමිළ භාෂාවත් යාපනයේ දී උතුරේ දරුවන්ට සිංහල භාෂාවත් නොමිළයේ උගන්වන පන්ති ආරම්භ කරමිනි. එම වැඩසටහන ආරම්භ කර දැන් ගෙවෙන්නේ 10 වැනි වසරයි. එලෙස අධ්‍යාපනය හැදෑරූ 10 වැනි කණ්ඩායම වෙත සහතික පත් පිරිනැමීම සහ ඔවුන් ඇගයීමේ වැඩසටහනක් පසුගිය දා යාපනයේ දී සිදු කෙිරිණි. මෙලෙස සෑම වසරකම උතුරේ සිසුන් 400ක් පමණ ඉන් අධ්‍යාපනය ලබයි. එම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා සහ යාපනය දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම සභාවේ දී දමිළ දරුවන් සිය ඉගෙනුම් කුසලතා පෙන්වමින් සිංහල සංස්කෘතික ඇඳුම් වලින් සැරසී සිංහල ගීත වලට නර්තන ඉදිරිපත් කිරීම, සිංහල භාෂාවෙන් ඔවුන් විසින්ම සකසන ලද නාට්‍ය රඟ දැක්වීම, සිංහලෙන් කතා පැවැත්වීම ආදී විශේෂාංග රැසක් ඉදිරිපත් කිරීම කාගේත් ඇගයීමට හේතු විය.

 

දශක තුනක සමාජ මෙහෙවර සහ සූර්ය පදනමේ ආරම්භය

“සූර්ය පදනම” ආරම්භ වන්නේ 1992 වසරේ වන අතර ආරම්භයේ පටන්ම අද වනතුරු සෞඛ්‍ය සේවා වැඩසටහන්, අක්ෂි දාන වැඩසටහන්, පරිසර වැඩසටහන්, පරිගණක තාක්ෂණය,  (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය පිළිබඳ අධ්‍යාපනය) STEM, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබා දීම, සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම ආදී වැඩසටහන් රාශියක් සිදුකෙරෙමින් පවතී. ඉන් ප්‍රතිලාභ ලැබූවෝ විශාල ප්‍රමාණයක් සිටිති. එහි අතුරු ඵලයක් ලෙස 2016 වසරේ උතුරටද මෙම ව්‍යාපෘතිය පුළුල් කරනු ලැබීය.

 

දරුවන්ගේ ආදරය සහ කෘතගුණ සැලකීමේ සුවිශේෂී මොහොත

එම උත්සව අවස්ථාවේ දී තවත්, සුවිශේෂී සිදුවීමක් සිදුවිය. ඒ ජයසූරිය මහතා වේදිකාවේ සිට දරුවන්ට සහතිකපත් පිරිනමමින් සිටිය දී එක් වරම සභාව මැදින් තවත් දරුවන් පිරිසක් විසින් කේක් ගෙඩියක් සහ සමරු පලකයක් රැගෙනවිත් වේදිකාවේ තබා කරු ජයසූරිය මහතාට කේක් කැපීමට ආරාධනා කිරීම යි. ඉන් පසුව එම දරුවන් 400 දෙනා විසින් ම සකසන ලද කේක්, සුබපැතුම්පත්, සමරු තිළිණ බොහෝමයක් ජයසූරිය මැතිතුමා‍ වෙත තිළිණ කරමින් එතුමාට සිය සුබපැතුම් එක් කළහ. එම සිදුවීම සැමගේ නෙතඟට සතුටු කඳුළු උනන දර්ශණයක් විය. තමන්ට  සිංහල භාෂාව ඉගෙනුම සඳහා අවස්ථාව සළසා දුන් දුන් ජයසූරිය මහතාට ආදරයෙන් කෘතගුණ දක්වමින් පෙන්නුම් කරන්නේ එම වැඩසටහනේ වටිනාකමත්, ජාතික සමඟිය උතුරේ දරුවන්ටත් අවැසි බවත් නොවන්නේ ද?

 -කරු ජයසූරිය මාධ්‍ය සම්බන්ධීකරණ අංශය-

WhatsApp Image 2026 10 06 at 9.00.59 AM 3

WhatsApp Image 2026 10 06 at 9.00.59 AM 4

WhatsApp Image 2026 10 06 at 9.00.59 AM 1

kj jaffna 5

WhatsApp Image 2026 10 06 at 9.01.10 AM

WhatsApp Image 2026 10 06 at 9.00.59 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න