උතුරු, නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳව මන්ත්‍රීවරුන්ගෙන් විස්තර ලබා ගන්නා ලදි. විශේෂයෙන් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවගේ ආදායම් මට්ටම, ජීවන වියදම ඉහළ යාම සහ උතුරු නැගෙනහිර සහ වතුකරයේ පවුල්වල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු විය.
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ පවතින මූලික යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන් ම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. විශේෂයෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පාසල් අධ්‍යාපනයේ පවතින ගැටලු සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහි දී දිර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.
ඊට අමතරව 2027ට අදාළ අයවැය විවාදයේ දී විපක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද මෙහි දී මූලික වශයෙන් අවධානය යොමු විය. පවතින බදු බර ලිහිල් වූ ජනතාවට සහන සලසන අයවැයක් අපේක්ෂා කරන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර සහ වතුකරයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ පැවසීය.
මේ අවස්ථාවට වී රාධාක්‍රිෂ්ණන්, වෛද්‍ය ඊ. ශ්‍රීනාත්, ජී. ශ්‍රීනේෂන්, වෛද්‍ය රාමනාදන් අර්චුනා, ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, එම්. එස්. යු. ලෙබ්බේ, පී. සත්‍යලිංගම්, මුජිබර් රහුමාන් සහ කවීන්දිරන් කෝඩීස්වරන් යන මන්ත්‍රීවරුන් එක්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
