Image

"පාලක පන්තියට අවශ්‍ය ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස නම් කරලා මර්දනය කරන්න" - පුබුදු ජාගොඩ

"පාලක පන්තියට අවශ්‍ය ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස නම් කරලා මර්දනය කරන්න" - පුබුදු ජාගොඩ

පාලක පන්තියට අවශ්‍යව ඇත්තේ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස නම් කර මර්දනය කිරීමට බවත්;

දැනට නැගෙමින් එන ජනතා ප්‍රතිවිරෝධයට මුහුණ දීම සඳහා පවතින නීති සහ රාජ්‍ය මර්දන උපකරණ ප්‍රමාණවත් නොවන බැවින්, රාජ්‍ය ත්‍රස්තවාදය නීතිගත කිරීමේ අරමුණින් රජය විසින් "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත" (PSTA) ගෙන එන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේය.

ඔක්තෝබර් 6 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද, "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" (PSTA) පිළිබඳව අද (07) නුගේගොඩ ප්‍රධාන කාර්යාලයේදී පැවැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, නව පනතින් 'PTA' පනතේ තිබූ ඇතැම් කොටස් ඉවත් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබා දීමට නොව, ගෙවුණු අවුරුදු 47 තුළ රාජ්‍යය මුහුණ දෙන අභියෝගයේ ස්වාභාවය වෙනස් වී ඇති නිසා බවයි. එමෙන්ම මෙහි එන ඇතැම් ප්‍රතිපාදන මුල් පනතටත් වඩා මර්දනකාරී බව ද ඔහු පැවසීය.

"සමහරු මෙහි යම් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් සිදු කර තිබෙන බව කීවාට එහි අරමුණ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදීම නෙවෙයි, රාජ්‍යය මුහුණ දෙන අභියෝගයේ ස්වභාවය ගෙවුණු අවුරුදු 47 තුළ වෙනස්වීමයි මෙහි පදනම.

ඒ කාලයේ රාජ්‍යයට අභියෝගය තිබුණේ සන්නද්ධ ක්‍රියාකාරකම් වලින්. පුද්ගලයන් අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග හරහා රහසිගත ස්ථාන වල රඳවාගෙන, අධිකරණයකට ඉදිරිපත් නොකර, වධ හිංසා දීම අවශ්‍ය වුණේ ඒ නිසා. නමුත් අද වනවිට රාජ්‍යයට තිබෙන අභියෝගය සන්නද්ධ ක්‍රියාකාරකම් නෙවෙයි, ජනතා නැගිටීම්, ජන අරගල සහ ජනතාවගේ පුළුල් දේශපාලන ක්‍රියාකාරීත්වය. ඒ නිසා දැන් පාලක පන්තියට අවශ්‍ය ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස නම් කරලා මර්දනය කරන්න. ඒ වගේම නැගෙන ජනතා ප්‍රතිවිරෝධයට මුහුණ දෙන්න පවතින නීති සහ රාජ්‍ය මර්දන උපකරණ ප්‍රමාණවත් නැති නිසා රාජ්‍ය ත්‍රස්තවාදය නීතිගත කරන්න.

PSTA ගෙන එන්නේ ඒ සඳහා, PTA එකේ තිබු ඇතැම් කොටස් ඉවත් කර ඇත්තේ දැන් අභියෝගය වෙනස් නිසා, අලුතෙන් එකතු කර ඇති කොටස් නව අභියෝගය ඉලක්ක කරලා. මේ නව රාජ්‍ය ත්‍රස්තවාදී පනත් කෙටුම්පතේ අන්තර්ගතයේ වගේම ආකෘතියේ බරපතල ප්‍රශ්න තිබෙනවා. “

ඒ අනුව ඔහු ඉල්ලා සිටින්නේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ආණ්ඩුව සතු නිසා පාර්ලිමේන්තුව තුළ මෙය පරදවන්නේ නම්, NPP මන්ත්‍රීවරුන් සිය ඡන්දදායකයන්ගේ අභිලාෂයන්ට හිස නමා මෙයට විරුද්ධ විය යුතු බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතදී මේ රාජ්‍ය ත්‍රස්ත පනත පරාජය කිරීමට පුළුල්තම මහජන ව්‍යාපාරය ගොඩනැගීමට එක්වන ලෙස ද ඔහු සියලු දෙනාට ආරාධනා කර සිටියේ ය.

“පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ආණ්ඩුව සතු නිසා පාර්ලිමේන්තුව තුළ මේක පරදවන්නනම් NPP මන්ත්‍රීවරු සිය ඡන්ද දායකයන්ගේ අභිලාෂයන්ට හිස නවා මෙයට විරුද්ධ විය යුතුයි. අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට ආමන්ත්‍රණය කරනවා, මේ විනාශයට ඉඩ දෙන්න එපා, එහි කොටස්කරුවන් වෙන්න එපා. අපි වඩා යහපත් රටක් ගැන ප්‍රාර්ථනා ඇතිව ආණ්ඩුවට ඡන්දය දුන් සහ ආධාර කළ ජන කොටස් වලින් ඉල්ලා සිටිනවා ඔබේ බහුතර මතය නියෝජනය කරන්න කියලා ආණ්ඩු පක්ෂයට බල කරන්න.

පාර්ලිමේන්තුවෙන් එළියේ මේ රාජ්‍ය ත්‍රස්ත පනත පරදවන්න පුළුල්තම මහජන ව්‍යාපාරය හදමු. අද ඒ වෙනුවෙන් වෘත්තීය සමිති එකතු වෙනවා. ඒ එකතුවට ජවිපෙ වෘත්තීය සමිතිත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා"

 

 




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න