සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, එම අමාත්‍යාංශයේ ලේකම්වරිය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් නම් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත පැවරී ඇති බව පෙත්සම්කාර හිමියන් පෙන්වා දෙයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වීමෙන් අනතුරුව, ඥානසාර හිමියන්ව කොළඹ මහාධිකරණයට සහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද පෙත්සමේ සඳහන් වේ.
උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති මෙම තීරණය බන්ධනාගාර රෙගුලාසිවලට මෙන්ම බෞද්ධ විනය නීතිවලට ද සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙත්සම්කාර හිමියන් වැඩිදුරටත් අවධාරණය කරයි.
ඒ අනුව, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, එවැනි ක්‍රියාවක් සඳහා බලකෙරෙන යම් බන්ධනාගාර රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක් වේ නම් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා සිටී.
ඊට අමතරව, මෙම පෙත්සම විභාග කර අවසන් වන තෙක් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම වළක්වාලමින් වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
