Image

"ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ තීරණය ගත යුත්තේ උසාවිය හෝ ආණ්ඩුව නෙවෙයි" - මහාචාර්ය ජී. එල්. පීරිස්

"ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ තීරණය ගත යුත්තේ උසාවිය හෝ ආණ්ඩුව නෙවෙයි" - මහාචාර්ය ජී. එල්. පීරිස්

ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ තීරණය ගත යුත්තේ ආණ්ඩුව, උසාවිය හෝ බන්ධනාගාරයේ පාලකයන් නොව උන්වහන්සේ අයත් වන කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව විසින් බව මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද (12) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මහචාර්යවරයා පෙන්වා දුන්නේ ඥාණසාර හිමියන්ට පනවා ඇති වසර හයක සිර දඩුවම අධිකරණය විසින් රටේ නීතිය ක්‍රියාත්මක කරමින් පැනවූ දඩුවමක් වන අතර, උන්වහන්සේගේ සිවුර ගැලවීම ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වන බවයි.

ඒ අනුව චීවරය ගැලවීම කිසිසේත් උසාවියට සම්බන්ධ කාර්යයක් නොවන බවත්, එය කළ යුත්තේ බුද්ධ ධර්මයේ ඇතුළත් විනය රීතිවලට අනුකූලව වන බව මහාචාර්යවරයා සදහන් කළේය.

තවද ඒ සම්බන්ධයෙන් වන නීති රීති පැහැදිලිව බුද්ධ ධර්මයේ සදහන් වන බවද ඔහු පෙන්වා දුන්නේය.

 

"ස්වාමීන් වහන්සේට උසාවියෙන් පනවා තිබෙනවා අවුරුදු හයක සිරදඬුවමක්. එය රටේ නීතිය ක්‍රියාත්මක කරමින් උසාවිය විසින් පනපු දඬුවමක්. ස්වාමීන් වහන්සේගේ සිවුර ගැලවීම ඊට හාත්පසින් වෙනස් දෙයක්.

චීවරය ගැලවීම කිසිසේත් උසාවියට සම්බන්ධ කාර්යයක් නොවෙයි. එය කළ යුත්තේ බුද්ධ ධර්මයේ ගැබ්වෙලා තිබෙන විනය රීතිවලට අනුකූලවයි. භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නීති සහ රීති පැහැදිලිව බුද්ධ ශාසනය තුළ දක්වා තිබෙනවා.

උපසම්පදාව ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ස්වේච්ඡාවෙන් ප්‍රතික්ෂේප කරනවා නම්, සිවුර ගැලවෙනවා. නමුත් භික්ෂුවගේ කැමැත්තට පටහැනිව සිවුර ගලවන්න පුළුවන් වන්නේ පාරාජිකා තත්ත්වයට පත්වුණොත් පමණයි. පාරාජිකා හතරයි තියෙන්නේ.

කාම සේවයේ යෙදීම, සොරකම් කිරීම, මනුෂ්‍ය ඝාතනය හා තමන් තුළ නැති ගුණයක් හෝ සුදුසුකමක් ආරෝපණය කර ගැනීම. මේ මේ හතර තමයි පාරාජිකා තත්ත්වයට පත්වන්න බලපාන්නේ, මෙන්න මේවායින් එකකට වරදකරු වුණොත් පමණයි මේ භික්ෂුවගේ කැමැත්තට විරුද්ධව සිවුර ගැලවීමට පුළුවන් වන්නේ.

බුද්ධ ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා මේ පාරාජිකා හතරෙන් එකකට වරදකරු වුණොත් ඒ යම්කිසි උපමාවක් පාවිච්චි කර තිබෙනවා. උපමාව තමයි, තල් ගහක් කරටියෙන් කඩා දැමීම. ඒ හතරෙන් එකක් සිද්ධ වුණා නම් එය නැවත නිවැරදි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, එය සදාකාලිකයි. එම නිසා ඒ චීවරය ගැලවීම උචිත වෙනවා.

ඉතාමත් බරපතල දෙයක් නිසා. නමුත් ඒ පිළිබඳ තීරණය අයත් වන්නේ අදාළ නිකායේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවට යි. ඕනෑම භික්ෂුවක් යම් කිසි නිකායකට අයත් වෙනවා. ඒ නිකායේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවට පමණයි සිවුර ගැලවීමේ අයිතිය තියෙන්නේ.

ඥාණසාර ස්වාමීන් වහන්සේ අයත්ව සිටියේ කෝට්ටේ පාර්ශ්වයේ. එබැවින් මේ පිළිබඳ තීරණය ගැනීමට තිබෙන්නේ කෝට්ටේ පාර්ශ්වයට. නමුත් ඥාණසාර ස්වාමීන් වහන්සේට විරුද්ධව පාරාජිකා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් වාර්තා වෙලා නැහැ. පාරාජිකා උල්ලංඝනය කිරීම උන්වහන්සේට කිසිසේත් අදාළ වුණේ නැහැ.

උන්වහන්සේට වසර 6ක සිර දඬුවම් නියම කළේ උසාවියට අපහාස කිරීමක් සම්බන්ධවයි. එය අප ඉහත සඳහන් කළ පාරාජිකා හතරින් එකකට හෝ කිසිසේත් අදාළ වන්නේ නැහැ. මේ තීරණය ගත යුතුව තිබෙන්නේ වෙන කාටවත් නෙවෙයි, උසාවියට නොවෙයි, ආණ්ඩුවට නොවෙයි, බන්ධනාගාරයේ පාලකයන්ට නොවෙයි. මේ මේ තීරණය ගත යුත්තේ කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව යි,"

මෙම මාධ්‍ය හමුවේදී ජී. එල්. පීරිස් පළකළ සම්පූර්ණ අදහස් දැක්වීම කියවන්න මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න