දකුණු කොරියාවේ තේගු (Daegu) නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක රාජ්‍ය ගෞරවලාභීන්ගේ ස්වේච්ඡා සංවිධානයේ නියෝජිත පිරිසක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර විශේෂ හමුවක් ඊයේ (12) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සහජ කුසලතා හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීම, ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ දරුවන් අතර අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථා සැලසීම අරමුණු කරගත් මානුෂීය වැඩසටහනක් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ මූලිකත්වයෙන් සහ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ, පසුගිය ඔක්තෝබර් 07 වැනිදා මෙරටට පැමිණි කොරියානු නියෝජිත පිරිස ඔක්තෝබර් 13 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිති. එම සංචාරය අතරතුර මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අධ්‍යාපනය ලබන පාසල් නිරීක්ෂණය කිරීමට ද ඔවුහු කටයුතු කළහ.
එම නිරීක්ෂණවලින් අනතුරුව, ලබන වසරේදී දින 11ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එම සංවිධානය සැලසුම් කර ඇත. එහිදී කොරියානු දරුවන් සතු සංගීත හා වෙනත් විශේෂ කුසලතා මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ හුවමාරු කරගැනීමටත්, එමඟින් දරුවන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහනට රටවල් 16ක් නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගි වීමට ද නියමිතය.
දරුවන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් ඔබ්බට ගොස්, අන්‍යෝන්‍ය අවබෝධය, සහයෝගීතාව සහ අත්දැකීම් හුවමාරුව තුළින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සමාජීය හා නිර්මාණශීලී සංවර්ධනයට දායක වීම මෙම වැඩසටහනේ අපේක්ෂාව වේ.
මෙයට අමතරව, මෙරට රෝහල්වල ප්‍රතිකාර සේවාවන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ද කොරියානු නියෝජිත පිරිස එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, දරුවන්ගේ කුසලතා සංවර්ධනයට සහාය වීම මෙන්ම මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සහාය ලබාදීම ද මෙම සහයෝගීතා වැඩපිළිවෙළට ඇතුළත් වේ.
(සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
