අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 30 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (15) නියම කළේය.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින අංක 38, 129, 12, 13, 130, 66, 119, 170, 171, 84, 86 සහ 87 යන සාක්ෂිකරුවන්ට ඉදිරි දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කළ විනිසුරුවරා 89 වැනි සාක්ෂිකරු වෙත සිතාසි නිකුත් කිරීමට ද නියම කළේය.
රාජ්ය නිලධාරීන් රැසක් සාක්ෂි දෙති
මෙම සිද්ධියට අදාළව අද දින නාවික හමුදා ලේකම් කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විධායක නිලධාරියෙකු, නුගේගොඩ දිසා අධිකරණයේ ලිපිකරුවෙකු සහ ව්යාපාරිකයෙකු අද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්හ. නඩුවේ සාක්ෂි මෙහෙය වීම රජයේ අධි නීතීඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා විසින් සිදු කළ අතර, හරස් ප්රශ්න මෙහෙය විම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් විසින් සිදු කළේය.
වත්කම් - බැරකම් ප්රකාශ සහ වැටුප් පිළිබඳ තොරතුරු
පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබූ 2009.03.31 සිට 2015.03.31 දක්වා කාලයට අදාළව, එවකට නාවික හමුදාවේ සේවය කළ විත්තිකාර යෝෂිත කණිෂ්ක රාජපක්ෂ විසින් නාවික හමුදාවට ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්රකාශ සම්බන්ධයෙන් නාවික හමුදාවේ කපිතාන් නුවන් තුෂාර අරන්දල සාක්ෂි දෙමින් අධිකරණයට කරුණු දැක්වීය.
එමෙන්ම පැමිණිල්ලේ 122 වන සාක්ෂිකරු ලෙස පෙනී සිටි නාවික හමුදා කෝමදෝරු ගාමිණි ප්රියදර්ශන විත්තිකරුට ගෙවන ලද වැටුප් හා දීමනා පිළිබඳව මෙන්ම හිටපු නාවික හමුදාපති T. සින්නයියා නිකුත් කළ ලේඛන කිහිපයක් පිළිබඳවද සාක්ෂි ලබා දුන්නේය. හරස් ප්රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු, 2016 දෙසැම්බර් මාසයේදී විත්තිකරුගේ මූලික වැටුප ලෙස රුපියල් 16,500ක් ගෙවා ඇති බවත්, ඉන් රුපියල් 110ක මුදලක් අඩු කර තිබූ බවත් පැවසීය. එම රුපියල් 16,500 යනු දළ මූලික වැටුප පමණක් බවත්, නාවික හමුදාවෙන් ගෙවනු ලබන සෙසු දීමනා ඊට ඇතුළත් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එම දීමනාවල වටිනාකම පැමිණිල්ල ඉදිරිපත් කළ ලේඛනවල නොමැති බවද ඔහු පැවසීය.
විදේශ රටවල පුහුණු පාඨමාලාවලට අදාළව විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඩොලර්වලින් ගෙවීම් සිදු කළ බවයි. එහිදී පාඨමාලා ගාස්තු ලෙස පවුම් 20,362ක් සහ ආහාර පාන සඳහා පවුම් 4,177.80ක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඇති බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය. රජයේ අධි නීතීඥවරයා නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්රකාශ කළේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් එම ගෙවීම් සඳහා මහජන ආරක්ෂක සාමය පිළිබඳ අමාත්යාංශයේ ලේකම්වරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබූ බවයි.
මේ අතර, 124 වන සාක්ෂිකරු අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ 2006 සිට 2016 පෙබරවාරි දක්වා කාලය තුළ රුපියල් 5,150,626 ක මුදලක් විත්තිකරුට වැටුප් සහ මූලික දීමනා ලෙස ගෙවා ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
