ලංකාවේ සියලුම බුද්ධිමත් දෙමව්පියන් සෑම වර්ගයකම පූජකයින් ගෙන් ඇසිය යුතු සරල, සෘජු ප්‍රශ්නයක් ඇත. ඒ අන් කිසිවක් නොව පාසලේ ලෞකික අධ්‍යාපනය ලබන තම දරුවාට දිය යුතු අධ්‍යාපනය තීරණය කිරීමට නුඹලා කවු ද යන්නයි.
ආගම විද්‍යාවක් නොවේ
ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩු පාඩු තිබෙන බව ඇත්තකි. ලිංගික අධ්‍යාපනය යනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක් කොටසකි. තාමත් ලංකාවේ බොහෝ නූගත්කමේ ගිලී සිටින සහ බයියන් සිතා සිටින්නේ ලිංගික අධ්‍යාපනය යනු ප්‍රජනනක පද්ධතිය ගැන පමණක් උගන්වන ක්‍රියාවක් කියා ය. ලෞකික මිනිසුන් සහිත සමාජයකට ප්‍රජනන පද්ධතිය ගැන ඉගෙනීමට වඩා වැඩි යමක් තිබේ. ලිංගික අධ්‍යාපනය යනු විද්‍යාවකි. විද්‍යාවක් ඉගෙන ගැනීමට ඇති අයිතියට සහ ඒ විද්‍යාවේ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය ගැන තීන්දු තීරණ ගැනීමට පූජකයින්ට ඇති අයිතිය කුමක් ද? ආගම විද්‍යාවක් නොවේ.
සරසවිවල කාමසුත්‍රය උගන්වමු ද...?
ලිංගික අධ්‍යාපනය පාසලෙන් පටන් ගෙන විශ්වවිද්‍යාල දක්වා ගමන් කළ යුතු ය. නමුත් මා දන්නා අන්දමින් විශ්වවිද්‍යාලවල ලිංගික අධ්‍යාපනයක් කියා දෙයක් ඇත්තේ නැත. කට පාඩම් කොට ගිරවා දමා විභාග සමත් වූ ආචාර්ය- මහාචාර්ය රොත්තක් බහුතරයක් වී සිටින ලංකාවේ විශ්වවිද්‍යාලවලින් ඊට වඩා යමක් බලාපොරොත්තු විය හැකි ද? අඩුම වශයෙන් මීට වසර 1700 කට කලින්, ක්‍රි.ව. 200-300 ලියවුණු ඉන්දියාවේ සම්භාව්‍ය ග්‍රන්ථයක් වන වාත්ස්‍යානගේ කාම සූත්‍ර ( Vātsyāyana’s Kama Sutra) විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වනවා ද, ආචාර්ය මහාචාර්යවරු කී දෙනෙකු ඒ ග්‍රන්ථය ගැන දන්නවා ද, කියවා තිබෙනවා ද? විශ්වවිද්‍යාලයකට තේරී පත්වූ නවක ළමුන් හට දේශනයක් පැවැත්වීමට ඊයේ-පෙරේදා ජනප්‍රීය වූ ඊනියා භික්ෂුවක් ගෙන්වන බව පුවතක් පළවීමෙන් පෙනෙන්නේ මේ විශ්වවිද්‍යාලවල ගතානුගතික බවේ, අතාර්කික බවේ, නව්‍ය-නවීකාරක නොවීමේ සෙලුව නොවේ ද? ඉඳින් අර ලංකාවේ කට හැකරයන් කියන විදිහට අවුරුදු 78ක් තිස්සේ ම රටක් විනාශ වන්නට මේවා ද හේතු නොවෙන්නේ ද?
21 වන සියවසේ දී පවා දරුවන් ගන අන්ධකාරයේ තබනවා ද...?
ආහාර අවශ්‍යතාවයෙන් පසුව ලිංගික අවශ්‍යතාව මානවයා ගේ අත්‍යාවශ්‍යම බෞතික සහ මානසික අවශ්‍යතාව යි. එය විද්‍යාත්මකව ලබා දීමෙන් සමාජය වඩාත් යහපත්, නිරෝගී සහ දියුණු එකක් බවට පත් කළ හැකි ය. ප්‍රජනන පද්ධතිය ගැන දැනුම, ළමයින්ට ලිංගික අපරාධ වලින් ගැලවීමට අවශ්‍ය දැනුම, ලිංගික රෝගවලින් ගැලවී සිටීමේ දැනුම, නිසි වයසට පත් වූ පසු ලිංගික ක්‍රියාකාරකම්වල දී අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළකී සිටීමේ දැනුම, මනුෂ්‍ය සමාජයේ සෑම කෙනකුටම වෙනස් ආකාරයේ ලිංගික අනන්‍යතාවක් ඇතැයි යන්න ගැන දැනුවත් වීම, සුළුතරයක් වූ සම-රීසි අයට ද මනුෂ්‍යයින් ලෙස සැලකීමට ඉගෙන ගැනීම වරදක් වන්නේ කෙසේ ද? මේවා විද්‍යාත්මකව ඉගෙන ගන්නේ නම් මනුෂ්‍ය සමාජයේ ගැටලු කොතරම් ප්‍රමාණයක් අවම කරගත හැකි ද? මේ 21 වන සියවසේ දීත් අප අපගේ දරුවන් ලෞකික ජීවිතයට අවශ්‍ය දැනුමෙන් ඉවත් කොට ගන අන්ධකාරයේ තබන්නේ ද?
ආණ්ඩුව පූජකයින් ඉදිරියේ දණ නැමූ දා සිට...
විපක්ෂ බයියන් ගැහැණු සහ පිරිමි ද, අවස්ථාවාදී දේශපාළඥයින් ද එක රැළට දරුවන් ඥානනය කිරීමට ගන්නා උත්සහයට එරෙහි වෙමින් සිටී. එය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරි මාවතට ගන්නට ගන්නා උත්සහයක් නොවේ. මේ වනාහී ලංකාවේ කල දුටු තැන වළ ඉහගන්නා දේශපාලන තක්කඩිකමයි. විප්ලවාදී, රැඩිකල් ආණ්ඩුවක් යයි සිතූ මේ ආණ්ඩුව පූජකයින් ඉදිරියේ දණ නමන්නට ගත් දා සිට අපි තත්ත්වය තේරුම් ගත්තෙමු. මේ සෑම ආගමකට ම අයත් පූජකයින්ට එරෙහිව ළමා හා කාන්තා කාර්යංශයේ, පොලීසිවල, උසාවිවල ගොඩ ගැසී ඇති ලිංගික අපචාර චෝදනා ආණ්ඩුව විසින් මහජනයාට නිරාවරණය කරන්නේ නම් මුන් ගේ තරම දැන ගත හැකිය.
මගේ දරුවාට දෙන අධ්‍යාපනය තීරණය කිරීමට නුඹට ඇති අයිතිය කුමක් ද? මා පූජකයින් ගෙන් අසන ප්‍රශ්නය එය යි. නූගත් බයියනි. පූජකයින් සමග ඊළඟ ආත්මය ගැන නොව මේ 21 වන සියවසේ මේ ආත්මයේ නුඹලාගේ දරුවන් ගැන සිතපල්ලා. අහෝ දේශපාලන තක්කඩියන්ට, පූජකයින්ට යටවන උඹලාට කවාද පායයි ද සූර්යයා.
අතුල දිසානායක

