සිංහල නවකථා ඉතිහාසයේ මාර්ටින් වික්‍රමසිංහ ගේ බවතරණය විශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත. එය හුදෙක් කතාවක් පමණක් නොව, දර්ශනය, සමාජ විචාරය, බෞද්ධ චින්තනය සහ මානව විමුක්තිය පිළිබඳ ගැඹුරු බුද්ධිමය සංවාදයක් ලෙසත් බොහෝ විචාරකයින් කියවා ඇත. මේ නිසාම සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් රචිත බව තරණය විචාර කෘතිය, "නවකථාවක් පමණක් නොවන නවකථාවක් - බව තරණයේ යථාර්ථ රීතිය, දාර්ශනිකත්වය සහ සමාජ, විමුක්තිවාදී යොමුව" වනාහි අතිශය වැදගත් සාහිත්‍ය විචාරාත්මක, දේශපාලනික, සමාජ විද්‍යාත්මක, සහ දාර්ශනික සම්ප්‍රදානයක් වෙයි. එහි දී ඔහු බවතරණය සාම්ප්‍රදායික නවකථා වර්ගීකරණ ඉක්මවා යන බහුමානීය කෘතියක් ලෙස කියවීමට උත්සාහ කරයි.
පරිච්ඡේද සැලැස්ම
උයන්ගොඩ ගේ කෘතියේ පරිච්ඡේද සැලැස්ම ම ඒ සඳහා සාක්ෂියකි. ක්‍රිස්තු චරිතය සහ සිදුහත් බුදු සිරිත, වික්‍රමසිංහගේ යථාර්ථවාදයේ බුද්ධිමය මූලාශ්‍ර, සබුද්ධිකවාදය සහ සමාජ විමුක්තිය, බවතරණය සහ සමාජ විමුක්තිය වැනි මාතෘකා හරහා ඔහු උත්සාහ කරන්නේ මෙම නවකථාව සාහිත්‍ය කෘතියක් ලෙස පමණක් නොව, බුද්ධිමය ව්‍යාපෘතියක් ලෙස ද අවබෝධ කර ගැනීමට ය. එහෙත්, බවතරණය පිළිබඳ තවත් ප්‍රශ්නයක් ඇසිය හැකි ය. එනම්, මෙම කෘතිය තම යුගය ඉක්මවා යන සාර්වකාලික නවකථාවක් ද, නැතිනම් වික්‍රමසිංහ ජීවත් වූ විසිවන සියවසේ ශ්‍රී ලාංකික බුද්ධිමය සංවාදයන්හි සීමා තුළ රැඳී සිටින කෘතියක්ද යන්නයි.
මිනිසුන්ට වඩා අදහස් නියෝජනය කරන රූපක
සාහිත්‍යයේ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ “සමකාලීනත්වයේ උගුල” (problem of contemporaneity) ය. බොහෝ කතුවරුන් ඉතිහාසය ගැන ලියන විට පවා අවසානයේ ලියන්නේ තමන්ගේම යුගය ගැන ය. ඔවුන්ගේ චරිත, සදාචාරය, දේශපාලනය සහ දර්ශනය තමන් ජීවත් වූ කාලයේ සීමාවන්ගෙන් නිදහස් වන්නේ කලාතුරකිනි. මෙම පසුබිම තුළ 'සිද්ධාර්ථ' සහ 'බවතරණය' අතර සැසඳීමක් සිත්ගන්නාසුලු ය. සිද්ධාර්ථ පුරාණ ඉන්දියාව පසුබිම් කර ගත්ත ද, එය ඉතිහාසය ගැන නවකථාවක් නොවේ. එය කාලය සහ ස්ථානය ඉක්මවා යන ආධ්‍යාත්මික ගවේෂණයක් බවට පත්වෙයි. එහි චරිත සහ සිදුවීම් විශේෂ යුගයකට බැඳී නොසිටින නිසා, එය කියවන සෑම පරම්පරාවකටම අලුතින් අර්ථවත් වෙයි. එයට සාපේක්ෂව බවතරණය තුළ අපට දැකිය හැක්කේ වික්‍රමසිංහගේ ම බුද්ධිමය ලෝකය යි. බෞද්ධ ප්‍රතිසංස්කරණවාදය, සමාජ විමුක්තිය, තාර්කිකත්වය, සබුද්ධිකවාදය සහ නූතනත්වය පිළිබඳ විසිවන සියවසේ ශ්‍රී ලාංකික සංවාදයන් එහි ගැඹුරින් පවතී. මේ නිසා නවකථාවේ චරිත සමහර විට මිනිසුන්ට වඩා අදහස් නියෝජනය කරන රූපක බවට පත්වන බවක් ද දැනේ.
අද දවසේ පාඨකයා බවතරණය කියවිය යුත්තේ කෙසේ ද?
මෙහිදී බවතරණය හි දුර්වලතාවයක් පෙන්වා දීම නොව, එහි ස්වභාවය හඳුනා ගැනීම වැදගත් ය. එය වික්‍රමසිංහ ගේ දාර්ශනික ව්‍යාපෘතියේ දිගුවකි. එය බෞද්ධ නූතනවාදය පිළිබඳ සාහිත්‍යමය ප්‍රකාශනයකි. එය සමාජ විමුක්තිය සහ පුද්ගල විමුක්තිය එකිනෙක සම්බන්ධ කිරීමට ගත් උත්සාහයකි. උයන්ගොඩ එම බුද්ධිමය ගැඹුර ඉතා සාර්ථකව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, අද දවසේ පාඨකයා බවතරණය කියවිය යුත්තේ 'සත්‍ය සහ නිවැරදි දර්ශනය' ඉදිරිපත් කරන ග්‍රන්ථයක් ලෙස නොව, වික්‍රමසිංහගේ යුගයේ බුද්ධිමය අරගල පිළිබිඹු කරන සාහිත්‍යමය ලේඛනයක් ලෙස විය හැකි ය. එවිට එහි සැබෑ වටිනාකම තවදුරටත් පැහැදිලි වෙයි.
උයන්ගොඩ ගේ 'බවතරණය: නවකථාවක් පමණක් නොවන නවකථාවක්' විසින් අපට මතක් කර දෙන්නේ බවතරණය හුදෙක් කතාවක් නොවන බවයි. එහෙත් තවත් ප්‍රශ්නයක් ද ඉතිරි වේ. නවකථාවක් 'නවකථාවක් පමණක් නොවන' විට, එය දර්ශනය, සමාජ න්‍යාය සහ විමුක්තිවාදය දරාගෙන යන විට, එය සාහිත්‍යයේ බලය වැඩි කරනවා ද? නැතිනම් එය නවකථාවේ කලාත්මක ස්වාධීනත්වය සීමා කරනවා ද? මෙම ගැටලු පිළිබඳව ද සාහිත්‍ය විචාරය අවධානය යොමු කර තිබිය හැකි ය.
බවතරණය අදත් වැදගත් වන්නේ එම ප්‍රශ්නයට තවමත් අවසන් පිළිතුරක් නොමැති නිසාය. එය සාර්වකාලික නවකථාවක් ද, විසිවන සියවසේ බෞද්ධ-නූතනවාදී ප්‍රකාශනයක් ද යන්න පිළිබඳ විවාදය තවමත් අවසන් වී නැත. ඒ නිසාම එය නැවත නැවතත් කියවිය යුතු කෘතියකි. මහාචාර්ය උයන්ගොඩ සමකාලීන ලාංකේය සංදර්භය තුළ බවතරණය ස්ථානගත කරන විට ම අපට එය නව අර්ථ බාහුල්‍යයක් ඉදිරිපත් කරයි.
Athulasiri Samarakoon
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
