පසුගිය දින කිහිපය පුරාම අගවිනිසුරුවරයාට තවත් වසර දෙකක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුව පිඹුරුපත් සකස් කර තිබිණි. නමුත් මෙහිදී විපක්ෂයෙන් හඬක් මුලින්ම නැගුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ය.
2026.07.07 දින විපක්ෂනායකවරයාට ලිපියක් යවමින් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ හිතුවක්කාරී ලෙස ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ දරමින් නීතියේ ආධිපත්‍ය බිඳ දැමීමට එරෙහිව සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය අගයන පක්ෂ නැගී සිටිය යුතු බවයි.

තවදුරටත් මේ සඳහා මේ වනතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දේශපාලන පක්ෂවල නායකවරුන් හා අනෙකුත් සුදුසු යැයි හැඟෙන දේශපාලන පක්ෂ නායකයින් කැදවීම සුදුසු බව අපගේ විශ්වාසය බවත් මෙම වැදගත් කරුණ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ගේ ඉක්මන් අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරන බවත් දන්වා තිබිණි.
සජිත්ට අවනත වූ නාමල්
කෙසේ වෙතත් මේ සඳහා කඩිනම් ප්‍රතිචාරයක් විපක්ෂ නායකවරයාගෙන් ලැබී තිබුණේ නැත. අනතුරුව නාමල් සජිත් ප්‍රේමදාසට පසුගිය සතියේ දුරකතන ඇමතුමක් ලබාදෙන විට සිටියේ යාල ගොසින් ය.
නාමල්, තමා එවූ ලිපිය පිළිබඳව සජිත් ප්‍රේමදාසගෙන් විමසී ය.
''මම විපක්ෂය කැඳවන්නම්... හැබැයි විපක්ෂනායක කාර්‍යාලයේ දී තමයි රැස්වීම තියෙන්නෙ,'' යැයි සජිත් පැවසීය.
''හරි... ඕනෙ තැනක තියන්න... මම එන්නම්,'' යැයි නාමල් සජිත්ට පැවසී ය.
මේ අනුව ජූලි විසිතුන් වැනිදා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විපක්ෂය සෙසු පක්ෂ එකතුකර ගනිමින් සාකච්ඡාවක් සංවිධානය කර තිබිණි.

මේ සඳහා නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස, නිමල් සිරිපාල, දිනේෂ් ගුණවර්ධන, සාගර කාරියවසම්, රංජිත් මද්දුම බණ්ඩාර, දිලිත් ජයවීර ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහි දී නාමල් ප්‍රකාශ කළේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පරිපාලනමය ක්‍රියාවක් නොව දේශපාලනික වුවමනාවක් බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා සිටියේ මේ කරන්න හදන්නෙ ආණ්ඩුවට ඕනෙ විදියට අධිකරණය හැසිරවීමට යන බවයි.
මේ අතර රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පවසා සිටියේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවයි. මේ අනුව දැවැන්ත විරෝධතාවයක් පවත්වන ලෙසට ද තීරණය විය.
මෙහි දී විපක්ෂ මේ මොහෙතේ සිදුකළ යුතු කාර්‍යයභාරය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
නාමල් කලින් ම එළියට

නාමල් හදිසියේ ම නැගිට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාට කුමක්දෝ රහසින් මුමුනා එතැනින් පිටත් විය. කවුරුත් ඒ දෙස බලා සිටියහ.
නාමල් මන්ත්‍රීතුමාට හදිසියේම යන්න වෙලා සජිත් ප්‍රේමදාස පැවසී ය.
නාමල් එළියට පැමිණි පසු නාමල් ළඟට මාධ්‍යවේදීන් වේගයෙන් පැමිණියේ ය.
''කලින් ම පැන්නා නේද...?" යැයි මාධ්‍යවේදීන් නාමල්ගෙන් විමසී ය.
''අනේ නෑ අද හවස ලක්ෂ්මන් කදිරගාමර් සෙන්ටර් එකේ විද්වතුන්ගෙ සමුළුවක් තියෙනවා. ඒක පක්ෂෙන් සංවිධානය කරපු එකක්. හරිනම් ඉන්න ඕනෙ තුනයි තිහට දැන් පහහමාරත් පහුවෙලා හොඳ වෙලාවට මගෙ කතාව පස්සට දාගත්තෙ...,'' යැයි නාමල් සිනාසෙමින් පැවසී ය.
''මම හිටපු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි විපක්ෂනායකතුමාට කියලා තමයි එළියට ආවෙ. අපේ සාගර මහලේකම්තුමා නම් ඉන්නවා...'' යැයි ද නාමල් පැවසී ය.
''අන්න ඊයෙ රංජිත් මද්දුමබණ්ඩාර මහත්තයා කියනවා අපි බලය ගත්තම නාමල්ට නිකන්ම විපක්ෂ නායක වෙන්න පුළුවන් කියලා...,'' යනුවෙන් මාධ්‍යවේදියකු ඇසී ය.
''ඔව් ඉතින් එතුමට මම ජනාධිපති වෙනවා කියලා කියන්න බෑ නෙ... එහෙම කිවුව නම් එතුමා ගෙ මහලේකම්කමත් නැති වෙනවා...,'' යැයි නාමල් ඇඟට පතට නොදැනී පවසන විට සියල්ලෝ ම සිනාසෙන්නට වූහ.
''හරි මම එහෙනම් යන්න ඕනෙ...,'' යැයි පවසමින් නාමල් එතැනින් පිටත් වුණේ විද්වත් සමුළුවට සහභාගීවීමට ය.
රහසේම ගිය ඉන්දියානු ගමන

නාමල් පසුගිය අඟහරුවාදා හදිසියේම ඉන්දියාව බලා පිටත් විය. නාමල්ට ඉතා සමීප අය හැරුණු විට මෙම ගමන ගැන කවුරුත් දැන සිටියේ නැත. නාමල් ඉන්දියාවට පැමිණි පසු මුලින්ම විපක්ෂ දේශපාලඥයින් කිහිප දෙනෙකුද හමුවිය. ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂ දේශපාලඥයින් පිරිසක් හමුවූ අතර නාමල් වෙනුවෙන් මස් මාංසයෙන් තොර නිර්මාංශ රාත්‍රී භෝජනයක් ද සංවිධානය කර තිබිණි.
නාමල් මෙහි දී සාකච්ඡා කළේ මොනවා ද, හමුවූ දේශපාලඥයින් කවුරුන් ද යන්න කාටවත් ම සොයාගත නොහැකි විය. නාමල් ඉන්දියාවේ ගතකළේ එක දිනක් පමණක් වූ අතර පසුදා රාත්‍රියේම නැවත දිවයිනට ළඟා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
