LTL සමාගමෙන් විශේෂ ප්‍රකාශයක් ; 'අප සමාගමේ ගිනුම් විගණකාධිපති දෙපාර්තමේන්තුවට විගණනය කිරීමට ඉඩ දීම පිළිබඳ ප්‍රශ්නයක් නෑ'

මුත්තුසාමි ආනන්දවේල්

තම සමාගමේ ගිනුම් විගණකාධිපතිවරයා වෙතින් විගණනය කිරීම මඟහැර නොමැති බවත් තම සමාගමේ ගිනුම් විගණකාධිපති දෙපාර්තමේන්තුවට විගණනය කිරීමට ඉඩ දීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එය පවතින නීති රීති වල ඇති දුර්වලතාවයක් යැයි මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන LTL සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මුල්‍ය සහ අනුකූලතා) මුත්තුසාමි ආනන්දවේල් ප්‍රකාශ කළේය.

දශක කිහිපයක් තිස්සේ විදුලි බල මණ්ඩලය සමඟ එක්ව කටයුතු කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන LTL සමාගම, නිසි විගණනයකට ලක් නොවන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වී තිබීම සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් මුත්තුසාමි ආනන්දවේල් මහතා එසේ සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය...

අප LTL සමාගම ආරම්භ වූයේ මීට වසර 45කට පෙර කුඩා ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදකයෙකු ලෙසයි. සමාගමේ පළමු වසර 25 තුළ, විදේශීය කොටස්කරුවන් වූ , මුලින් ස්කොට්ලන්තයේ Low and Bonar, පසුව ABB නෝර්වේ සමාගම් විසින් කොටස්වලින් 30%ක් දැරීමත් සමඟ, ශක්තිමත් ව්‍යාපාරික පදනමක් ගොඩනඟා ගත්තා.

පසුව සමාගම ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනයේ සිට ගැල්වනයිසින්, වානේ නිෂ්පාදන සහ බලශක්ති උත්පාදනය දක්වා විවිධාංගීකරණය වූ අතර, 1997 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධිත තාප බලාගාරය විවෘත කළා.

දේශීය ඉංජිනේරු හැකියාවන් යොදා ගනිමින් කෙරවලපිටියේ විශාල බලාගාර ඉදිකිරීම LTL සමාගම ලංකා ආර්ථිකයට දැක්වූ විශාලතම දායකත්වය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තරගකාරී ලංසු තැබීම් හරහා ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩව ලබා ගැනීමට අප සමත් වුණා. යුගදනවි සහ සෝබදනවි වැනි ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් දේශීය වෘත්තිකයන් යොදා ගනිමින් සම්පූර්ණ කළා.

සමාගම ජාත්‍යන්තරව ව්‍යාප්ත වෙමින් බංග්ලාදේශයේ තාප බලාගාර තුනක්, ඉන්දියාවේ ස්විච්ගියර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් සහ නේපාලයේ ජල විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කරනවා.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ද සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙරට විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා නායකත්වය ලබාදෙනවා. අද වන විට, LTL සමාගම ආදර්ශවත් රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයක් සහ ජාත්‍යන්තරව ප්‍රශංසාවට ලක්වන සාර්ථක ශ්‍රී ලාංකීය සමාගමක් බවට පත්ව තිබෙනවා.

වසර 40කට අධික කාලයක් තිස්සේ, LTL සමූහයේ ගිණුම් ලෝකයේ විශාලතම විගණන ආයතන 4න් එකක් වන Ernst & Young (E&Y) විසින් විගණනය කරමින් සිටිනවා. E&Y විසින් ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (IFRS) අනුගමනය කරමින් අඛණ්ඩව පැහැදිලි විගණන මත (unqualified audit opinions) පළ කර තිබෙනවා.

ඒ සමඟ LTL සමාගම දේශීය හා ජාත්‍යන්තර බැංකුවලින් රු. බිලියන 100කට අධික ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර (2025 මාර්තුවේදී සෝබදනවි ව්‍යාපෘතිය සඳහා බැංකු 9කින් ලබාගත් රු. බිලියන 44.5ක සාමූහික ණයද ඇතුළත්), මෙය සමාගමේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ගෝලීය විශ්වසනීයත්වයට සාක්ෂියක්.

ඒ විතරක් නෙවෙයි, LTL සමාගමෙහි මූල්‍ය ප්‍රකාශන වසරකට දෙවරක් E&Y විසින් විගණනය කර CEB වාර්ෂික ගිණුම්වලට ඇතුළත් කෙරෙනවා. 2021 වසරේ සිට, විගණනය නොකළ ඒකාබද්ධ ත්‍රෛමාසික ප්‍රකාශන ද කොළඹ කොටස් වෙළඳපොළ හරහා ප්‍රකාශයට පත් කරන CEB හි ත්‍රෛමාසික වාර්තාවලට ඇතුළත් වෙනවා.

(ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න