ශ්‍රී ලංකාව සඳහා ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම එළිදක්වයි

ශ්‍රී ලංකාව සඳහා ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම එළිදක්වයි

"ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම" (National Productivity Master Plan ) එළිදැක්වීම සහ ආසියානු ඵලදායිතා සංවිධානය විසින් ශ්‍රී ලංකාව වෙත ඵලදායිතා විශේෂඥයින් සඳහා වන ප්‍රතීතන සහතිකය (Accreditation certificate for productivity specialists) පිරිනැමීම අද (20 දා) කොළඹ දී සිදු කෙරිණ.

ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් Dr. Indra Pradana Singawinata විසින් මෙම ශ්‍රී ලංකාව සඳහා වන "ජාතික ළුලදායිතා ඉදිරි සැලැස්ම" සහ ප්‍රතීතන සහතිකය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර වෙත පිළිගන්වන ලදී.

කර්මාන්ත පහක් පිළිබඳ අවධානය

2023 වසරේ අග භාගයේ දී ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනයේ සහයෝගිතාවයෙන් "ශ්‍රී ලංකාව සඳහා වන ඵලදායිතා ඉදිරි සැලැස්ම" සැකසීමේ මූලික කටයුතු ආරම්භ කළ අතර, ශ්‍රී ලංකා ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාදෙන: කෘෂිකර්මාන්තය, සංචාරක, ධීවර, රෙදිපිලි සහ ඇඟළුම් යන කර්මාන්ත පාදක කර ගනිමින් මෙම ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම නිර්මාණය කර ඇත.

ආසියානු ඵලදායිතා සංවිධානය රටවල් 21ක සාමාජිකත්වයෙන් සැදුම් ලත් සංවිධානයක් වන අතර ශ්‍රී ලංකාව 1966 දී ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසුව 1994 දී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ස්ථාපිත කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ඵලදායිතා ප්‍රවර්ධනය සිදු කරන එකම රාජ්‍ය ආයතනය වන මෙය වර්තමානයේ දී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

ජාතික ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක්

ආසියානු ඵලදායිතා සංවිධානය සමග එක්ව මෙසේ ඵලදායිතා ඉදිරි සැලැස්මක් එළදැක්වීම අප ගේ ජාතික ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන බවත් මෙම කටයුත්තේ ප්‍රතිඵල අනාගතයේ දී නියත වශයෙන්ම දැකගත හැකි වනු ඇති බවත් මෙහි දී අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව සහ ආසියානු ඵලදායීතා සංවිධානය අතර ශ්‍රී ලංකාව සඳහා උපායමාර්ගික හවුල්කාරිත්ව වැඩසටහනට අත්සන් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ශ නිරන්ංජ ජයකොඩි, ආසියානු ඵලදායිතා සංවිධානයේ නිලධාරීන්, කොරියානු සංවර්ධන ආයතනයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

(ලක්ෂ්මි ද සිල්වා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න