ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යානා 10ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යානා 10ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10, නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී සිදුවිණි.

WhatsApp Image 2026 06 24 at 3.42.19 AM

ඊයේ (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි. අනතුරුව හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක් වූ අතර කාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරූපයකට ද එක් විය.  

handovering US Helicopters 14

මෙහිදී ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීම ද සිදු කෙරුණු අතර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් (General Kevin Schneider) විසින් ඊට අත්සන් තබන ලදී.  

handovering US Helicopters 27

මෙම TH-57 ‘සී රේන්ජර්’ යානා සතු බහුකාර්ය හැකියා හේතුවෙන් ඉදිරියේ දී ඒවා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කෙරේ.  

මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම TH-57 බළඇණිය මගින් ආපදා සහන සේවා, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සඳහා ද විශාල සහායක් හිමි වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ගුවන් කාර්ය මණ්ඩල පුහුණු කිරීමද මෙමඟින් සිදු කෙරෙන අතර, එය ගෝලීය සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇත.  

WhatsApp Image 2026 06 24 at 3.42.04 AM

ඇමරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් ඔස්සේ 2026 ජූනි 01වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යානා, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ඉංජිනේරු අංශයේ දී එකලස් කෙරුණු අතර, ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් සීමාවට සහ දේශගුණයට ගැළපෙන පරිදි සිදු කෙරෙන සියලු ම තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීමේ පියාසැරිය අවසන් කිරීමෙන් පසුව නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිත ය.

WhatsApp Image 2026 06 24 at 3.42.18 AM 1

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන අය ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නියෝජනය කරමින්,  දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් Paul Kapur, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති Jayne Howell සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී මෙන්ම ආරක්ෂක උපදේශක ලෙෆ්ටිනන්ට් කර්නල් Matthew House යන අය ඇතුළු උසස් නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න