''අප රටෙන් ගෙවන්නට තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වුණ බවත්, මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
තැන්පත්කරුවන්ට මුල්තැන ලබා දෙන නව චක්‍රලේඛයක් දියත් කරන්න
''අප රටෙන් ගෙවන්න තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වුණා. මෙහි බර රටේ බදු ගෙවන්නන්ට, දරන්නට සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නැහැ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම යි.
රජය මූල්‍ය අපරාධ ක්‍රියාත්මක කරනවා සේම මූල්‍ය ආයතන පද්ධතිය තුළ මූල්‍ය වංචා හා අක්‍රමිකතා සිදුවීම නිසා අහිංසක තැන්පත්කරුවන් බරපතළ වින්දිතයන් බවට පත්වෙලා. උදාහරණයක් ලෙස මහබැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්ම්න්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ බලපත්‍රය අහෝසි කරන වෙලාවේ තැන්පත්කරුවන් 4200කට ආසන්න ප්‍රමාණයකට අසාධාරණයක් වුණා. ආයතනය බංකොලොත් වූ පසු අදියර දෙකකින් ලක්ෂ 5 හා 6 බැගින් යම් මුදල් ප්‍රමාණයක් ගෙව්වත් ඈවර කිරීමේ දී තැන්පතුකරුවන්ට ඉතාම ඛේදනීය ඉරණමක් අත් වෙලා තිබෙනවා. පළමුව ඈවරකරුගේ වියදම්, දෙවැනුව මහබැංකුවට අයවිය යුතු මුදල්, තෙවනුව ආයතනයේ සෙසු අයගේ බැඳීම් සහ ඉන් පසුවයි තැන්පත්කරුවන්ට අවස්ථාව ලබා දී තිබෙන්නේ. දැන්වත් මේ තැන්පත්කරුවන්ට මුල්තැන ලබා දෙන නව චක්‍රලේඛයක් දියත් කරන ලෙසත් එය කළ නොහැකි නම් තැන්පතු හා පොලි ආදායමට විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
තැන්පතුකරුවන්ට මුදලත් නැහැ; පොලියත් නැහැ
CIFL ආයතනය සේම මේ වන විට නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 1000කට වැඩි ප්‍රමාණයක් ද මෙවැනිම අසරණභාවයට ලක් වෙලා. සිංහපුත්‍ර ෆිනෑන්ස් සමග ඒකාබද්ධ වූ මේ ආයතනය 2022 දී නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනය කැන්ඩ්රිච් ෆිනෑන්ස් ආයතනය සමඟ ඒකාබද්ධ වෙලා. මේ ආයතන සියල්ලකගේ ම අධ්‍යයක්ෂ තනතුරු දරා තිබෙන්නේ එක් කණ්ඩායමක් පමණයි. පොරොන්දු පත්‍ර හරහා ගිණුම් හුවමාරුවක් සිදු වුවත් මේ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයේ අදාළ ලිපිනය තුළ එවැනි ආයතනයක් නැහැ. මහබැංකුව තැන්පත් එකතු කිරීම තහනම් කර තිබියදී අලුතින් මුදල් එකතු කර තිබෙනවා. දැන් මේ තැන්පතුකරුවන්ට මුදල් සහ පොලිය නැහැ. දැන් අධිකරණ ක්‍රියමාර්ග පවා ගෙන තිබෙනවා. මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග සිදුවන්නේ ඉඹි ගමනින්. මෙය මූල්‍ය අපරාධයක්. විවිධ බලගතු පිරිස් මෙයට සම්බන්ධ නිසා සත්‍ය අනාවරණය කිරීමටත් මේ අගතියට පත් තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටුවිය යුතු යි. මොවුන්ට එරෙහිව නිවැරදිව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්.''

