විරුද්ධ පක්ෂයේ සියලුම කණ්ඩායම් සියයට 57 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවත්, ඒ අනුව සමගි ජනබලවේගයේ පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන සමඟ ඊළඟට පැමිණෙන ඕනෑම මැතිවරණයක දී ජයග්‍රහණය සඳහා අඩිතාලම දමා අවසන් යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (20) සමගි ජනබලවේග පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර…
ඡන්ද මධ්‍යස්ථාන 671ක රැස්වීම් 671ක්
‘‘සමගි ජනබලවේගයේ පක්ෂ ප්‍රවර්ධන වැඩපිළිවෙළ අනුරාධපුරයෙන් මේ මාසයේ 22ත් 23ත් ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ කටයුත්ත සඳහා සමගි ජනබලවේගයේ සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ,සියලු ම ආසන සංවිධායකවරු අනුරාධපුරයට යන්න සැලසුම් කර තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 671ක රැස්වීම් 671ක් පවත්වන්න කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා.
ඉදිරි මාස 3 ඇතුළත පක්ෂයේ සියලු ම ශාඛා, සංවිධාන ප්‍රවර්ධනය කරන වැඩිපිළිවෙළ සමස්ත රටම කේන්ද්‍ර කරමින් සිදුකරන්න වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කර තිබෙනවා. සමගි ජනබලවේගයේ තරුණ සංවිධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 43 ක් ඡන්ද ලබාගත්තා. ඒ වගේම ආසන 51 ක ජයග්‍රහනය ලබා ගන්න සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව ලැබුණා. ඊළඟ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති සමඟ ගැළපෙන පක්ෂ සමග එක්ව කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒ වගේම මෙවර ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක ජනාධිපතිවරයා සියයට 43 ක ඡන්ද ප්‍රතිශයක් ලබා ගත්තා. නමුත් මේ වනවිට එම ප්‍රතිශතය අඩුවී තිබෙනවා. විරුද්ධ පක්ෂයේ සියලුම කණ්ඩායම් සියයට 57 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන සමඟ ඊළඟට පැමිණෙන ඕනෑම මැතිවරණයක දී ජයග්‍රහණය සඳහා අඩිතාලම දමා අවසානයි.
තනි පක්ෂ ක්‍රමයක් රට තුළ ඇති කරන්න උත්සහ කරනවා
වර්තමාන ආණ්ඩුව මැතිවරණ නොපවත්වමින් ඒකාධිපති පාලනයකට යන්න සූදානම් වෙනවා. තනි පක්ෂ පාලනයක් රට තුළ ඇති කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂ මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ආණ්ඩුව ගෙන එන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥවරු , සිවිල් සංවිධාන , ආගමින නායකයින් , ජාත්‍යන්තර සංවිධාන විරෝධය පළ කර තිබෙනවා. ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු නොකර අධිකරණයේ ස්වාධීනත්වය දේශපාලනීකරණය කරන්න සූදානම් වෙනවා.
ඉතිහාසයේ මෙවැනි දේවල් සිදුවෙලා නැහැ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙනාවේ අගොස්තු 18 වැනිදා, ඒ වගේම 1987 අගෝස්තු 18 වැනිදා රට පාලනය ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න කටයුතු කරනු ලැබුවා. ආණ්ඩුව එදා බෝම්බ ප්‍රහාරය එල්ල කළේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයට. අද ආණ්ඩුව බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ අධිකරණයට.
ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර තනි පක්ෂ ක්‍රමයක් රට තුළ ඇති කරන්න උත්සහ කරනවා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මහානායක හිමිවරු විරෝධය පළ කර ලිපියක් යොමු කර තිබුණා. නමුත් අධිකරණ ඇමැතිවරයා එම ලිපිය නොදුටු බව ප්‍රකාශ කර තිබුණා. ආණ්ඩුව බෞද්ධාගමට ලබාදෙන ස්ථානය පිළිබඳව මෙම සිද්ධිය හරහා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ජනාධිපති අනුර දිසානායක මහතා තනි ගමනක් යන බවයි පෙනෙන්නේ. ඒකාධිපති ගමනක් යන්නේ. ඒ වගේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ වංචා දුෂණ හොරකම් කළ පිරිස් බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් රටේ විනිසුරුවන් ද විශාල ප්‍රමාණයක් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වී තිබෙනවා. එසේ නම් ඔවුන් දුෂිතයන්ද , වංචාකරුවන්ද , හොරුන්ද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ආණ්ඩුවේ ඒකාධිපති පාලනටයි මෙම පිරිස් විරුද්ධ වන්නේ. ආණ්ඩුව සිදුකරන්නේ පුද්ගලයන් ඉලක්ක කර ගත් සංශෝධනයක්.
රටේ සියලුම ක්ෂේත්‍ර තර්ජනයෙන් මර්දනයෙන් පාලනය කරන්න හදනවා
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවබෝධයක් ලබා දීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කළත් එය වළක්වන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ තත්ත්වයට රට පත්වී තිබෙනවා. ඒ වගේම යහපාලන ආණඩුව පවරපු නඩු කැඳවමින් නඩු විභාග කරනවා. රටේ වංචාවලට දුෂණයන්ට සම්බන්ධ පිරිස්වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. කෙසේ නමුත් රටේ සියලුම ක්ෂේත්‍ර තර්ජනයෙන් මර්දනයෙන් පාලනය කර ගමනක් යන්න ආණ්ඩුව කටයුතු කරනු ලබනවා.
ආණ්ඩුව ජනතාවට දුන්න කිසිදු පොරොන්දුවක් ඉටු කරලා නැහැ. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් තිබෙනවා. උද්ධමනට දිනෙන් දින වැඩි වෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල වැට් බද්ද ඉවත් කරන බව ප්‍රකාශ කළත් එය සිදුකරන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. විදුලි බිල අඩු කරන බව ප්‍රකාශ කළා නමුත් ඉන්ධන මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන නැවෙන් ගොඩබාලන මිලට ලබාදෙන බව වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් අද ඉන්ධන ලීටරයකට විශාල බද්දක් අය කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. රැකියා විරහිත පිරිස් විශාල ලෙස වැඩි වී තිබෙනවා. සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැසි ගොස් තිබෙනවා. ඒ වගේම විශාල තරුණ තරුණියන් පිරිසක් රට හැර යන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව මහා පරිමාන වී මෝල් හිමියන්ට අවශ්‍ය ආකාරයට වී මිල පාලනය කරන්න කටයුතු කර තිබෙනවා. පිටරටින් සහල් ගෙන්වන්නේ නැති බව ප්‍රකාශ කළ ආණ්ඩුව මේ වනවිට පිටරටින් සහල් ගෙන එන්න කටයුතු කර තිබෙනවා. ආණ්ඩුව පිටරටින් සහල් ගෙන එන්නේ වී අස්වැන්න ලබා ගන්නා කාලයේදී. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී ගොස් තිබෙනවා. වෙඩි තැබිම් සෑම තැනකදීම සිදුවෙනවා. මේ නිසා ආණ්ඩුව කෙරෙහි ජනතාව විශාල කලකිරීමකින් කතා කරනවා. ජනතාව ගේ කැමැත්ත අවදානය සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු වී තිබෙනවා.
ආණ්ඩුව මැතිවරණවලට බය යි
ආණ්ඩුවේ ජනප්‍රියතාවය දිනෙන් දින පහළට බැස ගොස් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මැතිවරණ පවත්වන්න කටයුතු කරන්නේ නැහැ. ආණ්ඩුව දිනෙන් දින පළාත් සභා මැතිවරණය කල් දමන්න කටයුතු කර තිබෙනවා. පළාත් සභා මැතිවරණය සඳහා වන පනතේ සුළු වෙනස්කම් කිහිපයක් සිදුකර මැතිවරණය පවත්වන්න හැකියාව තිබෙනවා. ඒ වෙනස්කම් කිහිපයක් සිදුකරන්න ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබා දෙන්න සමගි ජනබලවේගය සූදානම්. නමුත් ආණ්ඩුව ඒ සඳහා කිසිදු සූදානමක් නැහැ. තර්ජනයෙන් රට පාලනය කරන්නයි ආණ්ඩුව උත්සහ කරන්නේ. විනිසුරුවන්ට පමණක් සේවා දිගුවක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. නමුත් වෛද්‍යරුන්ගේ විශාල හිගයක් තිබෙනවා. නමුත් වෛද්‍යවරුන්ගේ කාල සීමාව දීර්ඝ කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම රටේ ක්ෂේත්‍ර රැසක පුරප්පාඩු ගණනාවක් තිබෙනවා. ඒ පුරප්පාඩු පුරවන්න හෝ සේවයේ සිටින නිලධාරීන් ගේ සේවය දීර්ඝ කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව ගමන් කරන ගමන සුදුසු ගමන් නෙවෙයි. ආණ්ඩුවේ සිටින්නේ දෙවතාවක් ආයුධ බලයෙන් පාලනය ලබා ගන්න උත්සහ කළ පිරිසක්. ඒ නිසා ඒකාධිපති පාලනයක් රටේ ඇතිකරන්න ආණ්ඩුව උත්සහ කරනවා. ඒ වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න සියලු ම ජනතාව පෙළ ගැසිය යුතුයි.
ඕනෑම මොහොතක මැතිවරණයකට සමගි ජනබලවේගය සූදානම්. නමුත් ආණ්ඩුව මැතිවරණවලට බියක් දක්වනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ , අභියාචනාධිකරණයේ , සිවිල් මහාධිකරණයේ , වාණිජ මහාධිකරණයේ නඩු තිබෙන්නේ 23,533 ක්. දිසා අධිකරණයේ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් සහ මහේස්ත්‍රාත් අධිකරණයේ ලක්ෂ 8 කට වැඩි ප්‍රමාණයක් නඩු තිබෙනවා. එසේ නම් මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ විනිසුරුවන් ප්‍රමාණය වැඩි කළ යුතුයි. යහපාලන ආණ්ඩුව විනිසුරුවන් වැඩි කරන්න කටයුතු කළා. නමුත් වර්තමාන රජය එවැනි තින්දු තිරණ ගෙන නැහැ. ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට අධිකරණය පාලනය කරන්නයි ආණ්ඩුව උත්සහ කරන්නේ. මෙවැනි වැරදි තින්දු තිරණ ගත්ත ආණ්ඩුව ගෙදර යවන්න රටේ ජනතාව කටයුතු කළා. කෙසේ නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.''

