භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS) සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 අගෝස්තු 31 දින භූතානයේ පාරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූවා ය.

එහි දී භූතාන අග්‍රාමාත්‍යවරයා, භූතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා, අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා මෙන්ම භූතාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යතුමිය උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව (Global Conscious Food Systems Summit - GCFSS) 2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේදී පැවැත්න අතර ඒ හරහා තිරසාරබව, අවබෝධය සහ පුනර්ජනනීය ආහාර පද්ධති ප්‍රවර්ධනය කිරීම, සාරධර්ම, සංස්කෘතිය, අධ්‍යාත්මිකත්වය සහ අභ්‍යන්තර පරිවර්තනය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත ය.
“ආහාර පද්ධති පරිවර්තනය සක්‍රීය කිරීම” (Activating the Heart of Food Systems Transformation) යන තේමාව යටතේ භූතාන රජය, සවිඥානික ආහාර පද්ධති සන්ධානය (CoFSA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇති අතර අග්‍රාමාත්‍යවරිය 2026 සැප්තැම්බර් 01 දින ඩුන්කාර් ඩිසොං හිදී (Dungkar Dzong) පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවේ(Global Conscious Food Systems Summit - GCFSS) සමාරම්භක පූර්ණ සැසිය සඳහා සහභාගී වීමට නියමිත ය.
මෙහි දී අග්‍රාමාත්‍යවරිය “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැගී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ප්‍රධාන දේශනයක් සිදුකිරීමට ද නියමිතය.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතාන අග්‍රාමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් එමෙන්ම සමුළුවට සහභාගී වන එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයා ඇතුළු විදේශීය ඉහළ පෙළ නිලධාරීන් සමග ද සාකච්ඡා පැවැත්වීමටත් සැලසුම් කර ඇත.
තිරසාර, සියල්ලන් ඇතුළත් කරගත් සහ ජනතා කේන්ද්‍රීය ආහාර පද්ධති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදහස් සහ අත්දැකීම් බෙදා ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින දිගුකාලීන මෙන් ම සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද මෙම සමුළුව මහඟු අවස්ථාවක් වනු ඇත.



අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

