Language Switcher

V2025

හාර්ට් ඇටෑක්........

මේ ලෙඩා ආවේ දවල් 1ට විතර.

හදිසි ප්‍රතිකාර ඒකකය එහෙමත් නැතිනම් ETU එකේ දී ගහපු ECG එකකුත් එක්කයි මෙයා ඇවිත් හිටියේ. පපුවෙ කැක්කුමයි ලු. වම් අත දිගේ කැක්කුම පැතිරෙනවා ලු. ඒ මදිවට දාඩියත් දාලා.

මේවා හාට් ඇටෑක් එකක රෝග ලක්ෂණ හන්ද අපි පමා නොකර ම ගහල තිබ්බ ECG එක දිග ඇරගත්තා.

දරුණු හාට් ඇටෑක් එකක දී පෙන්වන ලක්ෂණ සියල්ල ම මේ ECG එකේ සටහන් වෙලා තිබ්බා.

ඒ කියන්නේ මේ ලෙඩාට දරුණු හාර්ට් ඇටෑක් එකක් ඇවිත්... !

මෙන්න මෙයා ඒ පාර කලන්තෙ වගේ කියලා කියනවා.

pressure එක බැලින්නම් 60/40යි. අපි මෙයාගෙ pressure එක වැඩි වෙන්න ප්‍රතිකාර කළා. නාඩි වේගෙ විනාඩියට 37යි. හොඳටම අඩුයි. (සාමාන්‍යයෙන් මේක විනාඩියට 60-100 අතර තියෙන්න ඕනි.)

ජයවර්ධනපුර කියන්නේ විශේෂිත හෘදරෝග ඒකකයක් තිබෙන රෝහලක්.

මේ වගේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න ඕනි පහසුකම් සියල්ල අපේ රෝහලේ තිබෙනවා.

මේ වෙලාවට කරන්න ඕනි නිවැරදි ම ප්‍රතිකාරය තමයි නාඩි වේගය පාලනය කරන මැශින් එකක්, සරලව කීවොත් pace maker එකක් තාවකාලිකව ලෙඩාට සවිකරන එක.

ඉතින් අපි ලෙඩාව ඉක්මනට ම operation theater එකට (හරියට ම කිව්වොත් cath-lab එකට ) ඇරන් ගිහින් මෙයාට මේ කියන pace maker එකක් සෙට් කලා.

කියන්න අමතක උනා. මේක කරන්න හිරිවට්ටලා කකුලෙ බල නහරෙන් පොඩි වයර් එකක් ඇතුල් කරලා ඒක හදවත ට එනකන් යවලා.

ඒක දැම්මා විතරයි මෙයාගේ නාඩි වේගය ආපහු හරි වේගයට ආවා.

ඒ ප්‍රශ්නෙ දැන් හරි.

අපි මෙයාගේ හාට් ඇටෑක් එකට මුකුත් ම කලේ නැහැනේ.

හාට් ඇටෑක් එකකදී වෙන්නේ ලේ කැටියක් ගිහින් හදවතේ නහරයක් block කරන එක. එතකොට හදවතේ එක පැත්තකට යන ලේ ප්‍රමාණය නැවතිලා හදවතේ පේශි මියයනකොට තමයි ලෙඩාට කැක්කුම එන්නේ. හාට් ඇටෑක් එකකදී බෙහෙත් දෙනවා කියලා ප්‍රධාන වශයෙන් ම කරන්නේ මේ කියන ලේ කැටිය දිය කරන එක. මේකෙදි වඩා සාර්තක වන්නේ මේ ලේ කැටිය හයි වෙන්න කලින් එතෙන්න කම්බියක් යවලා ලේ කැටිය ඉවත්කරලා දාන එක. මේකට තමයි stent දානවා කියලා කියන්නේ. එතකොට අරකියන අවහිරය ඉක්මනටම ඉවත් වෙන හන්දා ආය රුධිර ගමනාගමනය පටන් ගන්න හන්දා හදවත ට වෙන damage එක අඩුයි. හැබැයි මේ ක්‍රමයේ තියෙන අවාසිය තමයි ලෙඩා හාට් ඇටෑක් එක හැදිච්ච ගමන් ම වගේ රෝහලට එන්න ඕනි. ඒ වගේම ඒ රෝහලේ මේ කියන stent දාන පහසුකම තියෙන්නත් ඕනි. කියන්න කනගාටුයි. ලංකාවේ සීමිත රෝහල් ප්‍රමාණයක තමයි මේ පහසුකම තියෙන්නේ. කොළඹ ජාතික රෝහල, මහනුවර, ශ්‍රී ජයවර්ධනපුර, ගාල්ල කරාපිටිය වගේ...

වාසනාවට වගේ අපේ රෝහලෙත් මේ පහසුකම තියනවා.

ඉතින් තවත් ප්‍රමාද නොකර අපි මේ රෝගියාට stent දාන්න කලින් එයාගේ block එක තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න angiogram පරීක්ෂණයක් සිදු කරනවා.

එහිදී අනාවරනය වන්නේ නම් ටිකක් විතර දුක හිතෙන දෙයක්.

මෙයාගේ හදවතේ ප්‍රධාන රුධිර නාල සියල්ලම වගේ හොඳටම block වෙලා.

බයිපාස් එකක් කරනවා ඇරෙන්න වෙන කිසිම විසඳුමක් නැති තරමට ම මේ block වීම දරුණුයි.

stent එකක් දාන එක හීනයක් විතරයි.
ඉතින් අපි මේ ලෙඩාව බයිපාස් list එකට දැම්මා...

ඇයි ඉතින් මෙයාට මෙහෙම වෙලා තියන්නේ ...

ඩොක්ටර් මං කිසිම ලෙඩකට බෙහෙත් ගත්තේ නැහැ. අරක්කු සිකරට් කටේ තියලාවත් නෑ...

එතකොට ???

මේ විදියට නහර නහර block වෙන්නට එහෙමත් නැතිනම් අවහිර වීමට හේතු බොහොමයක් බලපානවා.

රුධිරයේ කොලෙස්ටෙරෝල් අගය වැඩිවීම, විශේෂයෙන් ම LDL කොලෙස්ටෙරෝල් එහෙමත් නැත්නම් නරක කොලෙස්ටෙරෝල් වැඩි වීම් සහ හොඳ HDL කොලෙස්ටෙරෝල් අඩු වීම් මෙසේ රුධිර නාල අවහිර වීමට බලපාන එක් ප්‍රධාන හේතුවක්.

අවාසනාවට කිසිම ලෙඩක් නැහැ කියලා කීවාට මෙයා කවදාවත් ම රුධිරයේ කොලෙස්ටෙරෝල් අගය පරීක්ෂා කරලා තිබුණේ නැහැ.

ශාරීරිය ව්‍යායාම මදකමත් මෙසේ රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම ඉහල නැංවීමට සහ ඒ ඔස්සේ නහර අවහිර වීම වැඩි කරන්නට බලපාන තවත් හේතුවක්. අපේ මේ ලෙඩා හවසට කඩේට යන්නත් තමන්ගේ යතුරු පැදිය එහෙමත් නැතිනම් කාර් එක භාවිත කල කෙනෙක්. ව්‍යායාම කෙසේ වෙතත් නිකමට ඇවිදින්නේවත් නැතිලු. ඒ මදිවට කොහෙ හරි ගියොත් එතැන lift එකක් තියනවා නම් එක තට්ටුව වුණත් යන්නෙ lift එකෙන් ම ලු !

අහිතකර ආහාර පුරුදු නිසාත් ඔබගේ රුධිරයේ කොලෙස්ටෙරෝල් අගය වැඩිවනවා මෙන්ම රුධිරයේ සීනි මට්ටම සහ අධි රුධිර පීඩනය ඇතිවීමට බලපාන සාධක වනවා. මේ ලෙඩා කාලා තියෙන්නේ ම තෙල් වැඩි කෑම, ඒ මදිවට ඔය ලොකු ලොකු නම් තියන බටහිර අවන්හල් වලටත් නිතරම යනවාලු...

ඉතින් මේ හේතු හන්දා තමයි අපේ මේ කිසිම ලෙඩක් නැතුව හිටපු ලෙඩා එයා දන්නේවත් නැතිවම heart patient කෙනෙක් වෙලා තියන්නේ.

ඔයාලත් කොලෙස්ටෙරෝල් එහෙම චෙක් කරලා නැතිනම් හෙට ම චෙක් කරලා දාන්න... තවත් ප්‍රමාද කරන්නේ නැතිව...

මීට අමතරව මෙසේ රුධිර නාල අවහිර වීමට

1. අධිරුධිර පීඩනය
2. දුම් පානය සහ මත්පැන් පානය
3. දියවැඩියාව
4. ස්ථුලතාවය
5. වයස් ගත වීම මෙන්ම

පවුලේ කෙනෙකුට අඩු වයසින් මෙවන් රෝග තත්ත්වයකට ගොදුරු වී තිබීම ද හේතු වනවා.

ඉතින් ආයෙත් කියන්නම් ඔයාට කිසි ලෙඩක් නැහැ කියන්න කියා ඉන්නේ නැතිව වසරකට වතාවක් වත් සීනි, කොලෙස්ටෙරෝල්, ප්‍රෙශර් එක පරීක්ශා කරගන්න.

සිගරට් බොනවා නම්, අරක්කු බොනවා නම් ඒක නවත්වලා දාන්න.

අමතක උනා. ඔය මොන දේ නොකලත් එක්සයිස් කරන එක දැන්ම ම පටන් ගන්න. අඩු ගානේ දවසට පැය භාගයක් වත්, දවසක් ඇර දවසක් වත්...

ඒවාගේ ම කෑම පාලනය කරන්න. විශේෂයෙන් ම තෙල් කෑම, අධිකව සීනි සහ ලුණු සහිත කෑම ගැනීම අඩු කරන්න.

මේ තත්ත්වය කලින් හඳුනා ගන්න තියන රෝග ලක්ෂණ මොනවද.

වෙනදා නැති මහන්සි ගතියක් දැනෙනවා නම් වැඩක් කරන්න බැරි තෙහෙට්ටු ගතියක්, පපුව රිදෙන ගතියක් තියනවා නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න පුළුවන් නම් ඒක තමයි සුදුසු ම. මොකද මේ තත්ත්වයට බලපාන තවත් හේතුන් බොහොමයක් තියනවා ... එහෙම බෑ වගේ නම් අඩුම ගණනේ සීනි, cholesterol වත් බලා ගන්න. තවත් ප්‍රමාද වෙන්න කලින්.

හැබැයි අමාරු මුකුත් නැහැ කියලා මේ සරල පරීක්ෂණ වසරකට වතාවක් වත් නොකර ඉන්නත් එපා. ලෙඩක් තියෙනවා කියලා ඔයාට තේරෙනකොට පරක්කු වැඩිවෙයි. හරියට අපේ ලෙඩාට වගේ...

පොස්ට් එක හොඳ නම් like කරන්න comment කරන්න වගේ ම තව කෙනෙක් ට කියවන්න පොස්ට් එක share කරන්න අමතක කරන්නත් එපා...

උපුටා ගැනීම
-වෛද්‍ය ජයසංඛ නවෝද් -
 ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල