Language Switcher

V2025

හරීන් 98% ක් හරිය - සුදේශ්.එස්.කුරුවිට !

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගිය දා මැදිරිගිරියේදී දේශපාලන රැස්වීමක් අමතමින්, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ දේශපාලන ක්‍රියාකලාපය විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශය මේවනවිට මැතිවරණ වේදිකාව උණුසුම් කරණ මාතෘකාවක් බවට පත්වී ඇත. 
 
විසි වසරකට ආසන්න කාලසීමාවක අත්දැකීම් ඇති ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස, ලංකාවේ කතෝලික සභාවේ දේශපාලන හැසිරීම පිළිබඳව මා හට ඇත්තේ ඉතා සුබවාදී සහ මධ්‍යස්ථ ආකල්පයකි. නමුත් වත්මන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ආකල්පයකි. 
 
මැල්කම් කාදිනල් රංජිත් යනු සමස්ත ලාංකීය කතෝලික සභාව නොවන බව මෙහිදී මතක් කළ යුතුව ඇත.
 
මැල්කම් කාදිනල් රංජිත් හිමි යනු රාජපක්ෂ ජුන්ටාවේම, අතකොලුවක් බව හරීන් අමුතුවෙන් කිවයුතු නැත. 
 
ඊට අදාල සාක්ෂි සහ කරුණු මා සතුව ඕනෑ තරම් ඇත. හැරත් මධ්‍යස්ථ කිතුණු පූජක පැවිදි වරුන්ගෙන් විමසුවහොත් ඇත්ත අතිසැටියෙන්ම දැන ගැනීමටද හැකිය. 
 
මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ දේශපාලන භාවිතය පිළිකුල් කරමින්, කතෝලිකයින් විසින්ම පළකරන ලද වාර්තා, සමාජජාල වල ඕනෑ තරම් ඇත. 
 
හරීන් ප්‍රනාන්දු මේ ප්‍රකාශය සිදුකළ ස්ථානය සහ ස්වභාවය වැරදිය. මා 98% ක් හරි කියා ප්‍රකාශ කළේ එබැවිනි. 
 
මැල්කම් රංජිත් ට කතෝලිකයින් තුළින්ම විශාල ප්‍රතිරෝධයක් :
 
මැල්කම් රංජිත් ට කතෝලිකයින් තුළින්ම විශාල ප්‍රතිරෝධයක් ගොඩ නැගී ඇති බව හරීන් නොදන්නවා විය නොහැක. හරීන්⁣ට ඔවුන් සමග එකතු වී, මෙය කරුණු කාරණා ඇතිව, වැදගත් ආකාරයෙන් ඉදිරිපත් කරා නම්, මැල්කම් රංජිත් හිමියන්ට කටඋත්තරත් නැතිවෙනවාට සැක නැත. 
 
අවසානයේ සිදුවුයේ පොහොට්ටුවට වාසි සහගත මාතෘකාවක් නිර්මාණය වීමත්, මැතිවරණ වේදිකාවේ කියැවෙන නිශ්ථල ප්‍රකාශයක් වීමත් පමණකය. 
 
මැල්කම් රංජිත් හිමියන්ගේ ඥාති දියණියක වන රුවිනි කුරේව තානාපති සේවයට යැවීමත්, සහෝදරයෙකු අමාත්‍යාංශ උපදේශකයකු ලෙස පත් කිරීමත්, රාජපක්ෂවරුන්ට පින්සිදු වන්නට කර ගත් හැටි මීට ඉහත දී මාධ්‍ය වාර්තා වල සඳහන් ව තිබිණ.
 
එමෙන්ම 2015 ජනාධිපතිවරණයේ කතෝලික ඡන්ද පදනම මහින්දට දිනා දීම අරඹයා,  අති උතුම් පාප්වහන්සේව ලංකාවට වැඩමවා ගෙන ඒමට කටයුතු සැලසුම් කළේ ද මැල්කම් රංජිත් හිමියන්ය.
1558686802
 
පෝට් සිටි ව්‍යාපෘතියට විරුද්ධව කිතුනු සංවිධාන එකා ලෙස පෙළගැසෙද්දී මහින්දගේ උවමනාවට ඒ සියල්ල නිහඩ කළේ  මැල්කම් රංජිත් හිමියන්ය. ඒ සම්බන්ධයෙන් කොළඹ රදගුරු කාර්යාලයේ එකල මහින්ද රාජපක්ෂ හා මැල්කම් රන්ජිත් පියතුමන් සාකච්ඡා කල ආකාරය එවකට එහි සේවය කළ පියතුමෙකු විසින්ම මා සමග පවසා ඇත. 
 
හලාවත ඇන්ටනීලා, රොශේන් චානකලා සේම, රතුපස්වල කතෝලිකයින්ට රාජපක්ෂ වරුන් වෙඩිපිට වෙඩි තබා ඝාතනය කරද්දී මැල්කම් රංජිත් හිමියන් වචනයකින් හෝ විරෝධයක් පල නොකළ ද, යහපාලන රජයෙන් අදෝවාතයක් පිටවුණත් ඊට එරෙහිව මාධ්‍ය සාකච්ඡා තැබීමට පසුබට නොවිය.
 
මැල්කම් රංජිත් හිමියන්ට එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග මෙන්ම හිටපු ඇමති මංගල සමරවීර සමග කලක පටන්ම පුද්ගලික කෝන්තරයක් තිබුණු බව නොරහසකි. එම නිසා එහි වාඩුව පාස්කු ප්‍රහාරය පිටින් දමා, එජාපයට රිදවීමට මැල්කම් රංජිත් හිමියන් කටයුතු කළ ආකාරය ඉතා පැහැදිලිය.
 
හරීන්ට පමණක් ආකෝශ පරිභව කිරීම හාස්‍යට කරුණකි !
 
අගමැති රනිල් වික්‍රමසිංහට බුද්ධි තොරතුරු ඇතුලත් දැනුම් දීම තබා, පාස්කු ප්‍රහාරය සිදුවන දින දක්වා මාස 6ක් පමණ ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගිවීමට අවස්ථාව අහුරා තිබූ බව මැල්කම් රංජිත් හිමියන් හොදින්ම දන්නා කාරණයකි. 
 
නමුත් විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ ඇතුළු සියළු ප්‍රභූවරුන්ට එම ලිපිය ලැබී ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දීත්, මහින්ද යාපලා , තමන්ද ඒබව දැන සිටි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දීත්, මැල්කම් රංජිත් හිමියන්, හරීන් ප්‍රනාන්දුට පමණක් ආකෝශ පරිභව කිරීම හාස්‍යට කරුණකි. 
 
සහරාන් ඇතුළු අන්තවාදීන් සියයකට වැඩි ප්‍රමාණයක්,  2007- 2008 රාජ්‍ය බුද්ධි සේවයට බඳවාගෙන, වැටුප් ගෙවා පෝෂණය කර ඇති බව දැන් කරුණු ඇතුව ඔප්පු වී තිබියදීත්, ඔවුන් පෝෂණය කළ රාජපක්ෂවරුන්ට වචනයක් හෝ පැවසීමට මැල්කම් රංජිත් හිමියන් ඉදිරිපත් නොවන්නේ ඇයි ?
 
දේශපාලන සිරකරුවන් ලෙස, උතුරේ සිවිල් වැසියන් දහස් ගණනක් තවමත් සිරගෙවල් වල අපා දුක් විඳිද්දීත්, තම දුවා දරුවන් හා නෑ හිතමිතුරන්, දෙමාපියන් අහිමිව කඳුළු සළණ ජනතාව දහස් ගණනක් සිටිත්දීත්, යුධජයග්‍රණ  සමරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඉදිරියෙන්ම සිට ගත්තේද මැල්කම් රංජිත් හිමියන්ය.
 
උදම් ඇණීමට යොදාගෙන අති උදාන වාක්‍ය !
 
දැං සමාජජාල වල මැල්කම් රංජිත් හිමියන් ගැන උදම් ඇණීමට යොදාගෙන අති උදාන වාක්‍ය වන්නේ " ලේ විලක් වීමට ගිය රට, බේර ගත්තේ මැල්කම් රංජිත් හිමියන්"  ලෙස කියාය. 
 
මේ පිළිබඳව මා පාස්කු ප්‍රහාරයෙන් පසුව, එම පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සක්‍රියව දායක වූ පියතුමෙකුගෙන් විමසූ විට කිව්වේ අපූරු කතාවකි. 
 
මිනිස්සුන්ව මෙල්ල කරේ සහ ඒ හික්මීම ඇති කරන්න ඇත්තටම දිවා රෑ නැතුව, කෑමක් බීමක් නැතුව වෙහෙස මහන්සි වෙච්ච, පූජක වරු සහ සිස්ටර් ලා සිය ගාණක් ඉන්නවා. කව්රුත් කියලා නෙමෙයි ඒ අය ඒ සේවාව කරේ. ඒ මිනිස්සුන්ට තමයි ඒකෙ සම්පූර්ණ ගෞරවය යන්න ඕනෙ. මෙතුමා මාධ්‍ය ඉස්සරහට ඇවිත් හැමදාම සංදර්ශන දානවා. 
 
අපේ සභාවේ ප්‍රසිද්ධියේ නායකත්වය විවේචනය කරන්නෙ නෑ සාමාන්‍යයෙන්, නමුත් පියතුමන්ලා බහුතරයගෙන් ඇහුවොත් ඕක තමයි යථාර්ථය. මෙයා ගිය ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කරලා, දැං පාස්කු සිද්ධියට මේ ආණ්ඩුව ඇතුලෙ ඉන්න අය තමයි වගකියන්න ඕනෙ කියලා සාක්ෂි ඔප්පු උනාට පස්සේ , වෙන වෙන පියතුමන්ලාට කියලා ප්‍රකාශ නිකුත් කරවනවා. අර බළල්ලු ලවා කොස් ඇට බාවනවා කියන්නෙ ඕකට.
 
එයා කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ දැං ක්‍රියාකලාපය ගැන සතුටුයි ලු. එහෙනං අහන්න තියෙන්නේ ඇයි මෛත්‍රිපාලව අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ කියලා, එයාව ගත්තා නම් හැමදේම එළිය⁣ට එනවා. අපි එළියට බැහැලා සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන්න ලෑස්තියි , නමුත් ඒක කරන්න දෙන්නෙ නැත්තෙ එයාම තමයි, මොකද එහෙම උනොත් එයාගෙ දේශපාලන සගයින්ට බලය නැති වෙනවා කියලා එයා දන්න නිසා. මට එක විශ්වාසයක් තියෙනවා , අපේ දෙවියන් වහන්සේ හරි වෙලාවට මේ හැම එකටම උත්තර දෙනවා. 
 
අවසානයට කිවයුත්තේ , මහානායකලාගේ සිට අපේ බෞද්ධ සංස්ථාව සේම, වර්තමානයේ මැල්කම් රංජිත් වැන්නවුන් නියෝජනය කරන කතෝලික සංස්ථාවද , දේශපාලන වන්දනාවේ යන තවත් එක් දූෂිතම සංස්ථා වලින් එකක් පමණක් බවයි. 
(සුදේශ්.එස්.කුරුවිට)