දුරකතනයේ සහ පරිගණකයේ "මුරපද" password නොදී අපරාධ තොරතුරු වසන් කිරීමත් අපරාධ වරදක් නොවේ ද..........?
පාස්කුදින මහා අපරාධයට වසර 07 යි. මාස 02 යි. අදත් 21 දාවක්...!!
ජීවිත 278 ක් බිලිගත් , තවත් ජීවිත 500 ක් පමණ සදාකාලික ආබාධිතයන් කළ සහාසික අපරාධයක සැකකාර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී "සුරේෂ් තුවාන් සලේ" මේ කරමින් සිටින්නේ එකී අපරාධයේ විමර්ශනවලට සෘජුවම බාධා කරමින් රඟ දක්වන බහුරු කෝලමක නිරත වීම ය.
තමන් ගේ කිසිදු සම්බන්ධයක් නොමැති නම් විමර්ශන කඩාකප්පල් කරනේ ඇයි...?
ඉහත අපරාධයට දැන් වසර හතකුත් මාස 02 ක් ඉකුත්වී තිබේ. තමන් මේ අපරාධයට සෘජුවම හෝ වක්‍රව කිසිදු සම්බන්ධයක් නොමැත්තේ නම්, රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙවරක් ම අධිකරණයට ඉදිරිපත් කරමින් සිය රැදවුම් භාරයේ තබාගෙන සිදුකරන විමර්ශනයට සුරේෂ් සලේ තමන් ගේ උපරිම සහාය දැක්විය යුතු ය.
එහෙත් සුරේෂ් සලේ නැමැති ඉහත අපරාධ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ දවසේ සිට එකී විමර්ශන කඩාකප්පල් කිරීමට මිස ඊට සහාය දැක්වීමක් සිදු කරන්නේම නැත. එමගින් තහවුරු වන්නේ ඉහත අපරාධයට කවරාකාරයෙන් හෝ "සුරේෂ් සලේගේ" සහ සම්බන්ධයක් පවතින බව ය. රැදවුම් භාරයේ සිටි පළමු දින 90 තුළම ඔහු සිය ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ තොරතුරු පරීක්ෂා කිරීම පිණිස එහි "මුරපද" (password) ලබා දුන්නේ නැත.
එහි දී ඔහු දිගින් දිගට ම විමර්ශකයන්ට ප්‍රකාශ කර ඇත්තේ එම password මේ මොහොතේ මතකයට නොඑන බවත් , එය ආවර්ජනය වූ සැණින් ලබා දෙන බවත් ය. ඔහු එකී කල් මැරීම කළේ සහතික වශයෙන්ම එහි password අමතක වීමෙන් නොව , එමගින් පරිගණකයේ සහ දුරකථනයේ දත්ත ගබඩාව ප්‍රවිෂ්ට වූ පසු ඉහත අපරාධය පිළිබද මෙතෙක් සගවා ගෙන සිටි සියලු රහස් එළියට එන බව සක් සුදක් සේ දන්නා නිසා ය. ඊට දයාසිරි ජයසේකර වැනි නිර්ලජ්ජිත මිනිසුන් ලවා සලේ ගේ දුරකතන සහ පරිගණකයේ මුරපද ලබා දුනහොත් ජාතික බුද්ධි තොරතුරු නිරාවරණයවන බව කියෙව්වේ ය.
රාජ්‍ය බුද්ධි සේවයේ සිටියකු විශ්‍රාම යන දවසේ ම ඒ සියල්ල ඊළග අනුප්‍රාප්තිකයාට ලබාදිය යුතු ය. ජාතික බුද්ධි තොරතුරු යනු ඔහුට අයිති පෞද්ගලික බූදලයක් නොවේ. ඒවා රාජ්‍යයේ පැවැත්මට අවැසි රාජ්‍යයේ රහස් දේපළකි. දැන් ඔහුගේ නීතිඥයා කියා සිටින අලුත් ම "කුණුහරුපය" නම් දැනට සලේ සතු ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකතනය 2024 මිලට ගත් එකක් බැවින් ඒවායේ ඉහත තොරතුරු නොමැති බවය. ඕනෑම අයෙකු අලුතින් දුරකතනයක් හෝ පරිගණකයක් මිලට ගන්නා විට තිබූ පැරණි දුරකතනයේ සහ පරිගණකයේ තොරතුරු අලුත් ඒවාට මාරුකර ගන්නා බව මේ විහිළුකාරයන් නොදන්නේ ද ?
සලේ ගේ උපවාස "මගෝඩිය" ආරම්භ කළේ කාගේ වුවමනාවට ද...? මැදමුලන චෞර "කඩිගුල" වහා ඇවිස්සුණේ ඇයි...?
සලේ ගේ සියලු ඇවතුම් පැවතුම් උඩි යටිකුරු වූයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ ගේ විදේශ ගමන් තහනමක් ලබා ගැනීමෙන් පසුව ය. සුරේෂ් සලේ දින 90 ක් රැදවුම් භාරයේ සිටියදී ඉඳහිට උදය ගම්මන්පිල, විමල් වීරවංශ යනාදි කැනහිළුන්ගේ හීන් කෙදිරිලි ඇසුණත් භූමිතෙල් ගෑවුණු ගැරඬින්සේ මුළු චෞර රැළම හතර අත දිව යන්නට පටන් ගත්තේ ගෝඨාභය ගේ ගමන් තහනම සමග ය. සුරේෂ් ගේ මුඛවාඩම ගැලවා ගැනීම තරමක් අපහසු වුව ද, ගෝඨාභය ගේ මුඛවාඩම ගලවා ගැනීමට සීඅයිඩීයට පැය විසි හතරක්වත් ගත නොවන බව මැදමුලන චෞර රැළ සේම, සුරේෂ් සලේ ද හොඳින්ම දැන සිටී. ගෝඨාභය ගේ විදේශ ගමන් තහනමෙන් පැය දෙක තුනක් යද්දී සියලු සහාසිකයන්ට "උණ" ගැනුණේ ඒනිසා ය.
සුරේෂ් සලේ ගේ උපවාස "ජවනිකාව" ආරම්භ වන්නේත් , තමන්ට සීඅයිඩීය වද හිංසා පමුණුවන බවට වහසි බස් දෙඩීමට පටන් ගත්තේත්, ඔහුගේ බිරිය, පුතා සහ සහෝදරයකු සීඅයිඩීයට දුවගෙන ආවේත්, මාධ්‍ය ඉදිරියේ කන් කෙඳිරිලි දිග හැරුණේත් සුරේෂ් සලේගේ වුවමනාවට වඩා මේ අපරාධය අවශ්‍යවූ බලවියරුවෙන් පෙළුණු චෞරයන් ගේ වුවමනාවට බව තේරුම් ගැනීම එතරම් අපහසු කාරණයක් නොවේ.
දෙවරක් මහේස්ත්‍රාත් හමුවට ගෙනාවත් වධ හිංසා චෝදනාව ඉදිරිපත් නොකළේ ඇයි...?
ගෝඨාභය ගේ විදේශ ගමන් තහනමට පෙර අවස්ථා දෙකක දී සුරේෂ් සලේ මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවා ඇතත් , එකී අවස්ථා දෙකේ දී ම ඔහු ගේ නීතිඥයා දැන් කියන වධ හිංසා ගැන කිසිවක් ඉදිරිපත් කර නැත. ඒ අන් කිසිවක් නිසා නොව , එහි දී මහේස්ත්‍රාත්වරයා පෙරළා ඒ පිළිබඳව සුරේෂ් සලේ ගෙන් දීර්ඝව කරුණු විමසුවේ නම් ඔහු ස්ථීරවම නිරුත්තරවන නිසා ය. එමෙන්ම එක් වතාවක් පූර්වගාමී මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර සුරේෂ් සලේ රදවා සිටින රැදවුම් ස්ථානයට ගොස් නිරීක්ෂණයක යෙදුණු අතර , එහිදී ද සුරේෂ් සලේ එවැනි වධ හිංසා පැමිණවීමක් ගැන කිසිවක් ප්‍රකාශකර නැත.
මහේස්ත්‍රාත්වරයාට ඔහු අවසන් වශයෙන් ප්‍රකාශකර ඇත්තේ විමර්ශන නිලධාරීන් තමන් හොදින් බලා ගන්නා බවය. එසේ නම් සියලු වධ හිංසාවන් සිදුකිරීම ආරම්භ කර ඇත්තේ ගෝඨාභයගේ විදේශ ගමන් තහනමෙන් පසුව ද ?
"කටින්" පමණක් ආහාර වර්ජනය කරන අලුත් ම උපවාස නාඩගම සහ password සෙල්ලම
සුරේෂ් සලේගේ උපවාස "නාඩගම" දැන් මහා හාස්‍යයකට භාජනය වෙමින් තිබේ. ඔහු කටින් ආහාර නොගත්තාට වෙනත් විධි ක්‍රමයන් ගෙන් ජීවිත් වීමට අවැසි පෝෂණය ජාතික රෝහල විසින් අඛණ්ඩව ලබා දෙමින් සිටියි. ඔහුගේ බිරිඳ දිනපතා රෝහලට පැමිණ ආපසු යමින් ගමනේදී මුඛවාඩම පිටින්ම මොකක් හෝ හරුපයක් කියා පිටව යන්නීය. ඔහු මේ කරමින් සිටින්නේ මහා අපරාධයක විමර්ශන හමුවේ කට නොඇර සිටීමේ අමු කූට උපක්‍රමයකි. එය අපරාධයක තොරතුරු වසන් කිරීමේ තවත් අපරාධ වරදකි. අපරාධ සැකකරුවකුට මේ නාඩගම නැටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය තව කී කාලයක් ලබා දෙන්නේ ද ?
මරාන්තික උපවාසකරුවකුට පුවත්පත් කියවන්න ඕනලු...?
පෙර දින කොළඹ මහේස්ත්‍රාත්වරයා ඔහු නිරීක්ෂණය කිරීමට කොළඹ ජාතික රෝහලට ගිය අතර, දැන ගන්නට ලැබී ඇති අයුරින් තමන්ට පුවත්පත් කියවීමට අවශ්‍ය බවත්, නැවත සීඅයිඩියේ රැදවුම් කාමරයට යා නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයාට පැවසු බවයි. එය ප්‍රකාශවී ඇත්තේ ඔහු මහේස්ත්‍රාත්වරයාට එසේ ප්‍රකාශ කළා යැයි සිය බිරිඳ සහ ඥාතීන් ගෙනි. කෙසේ හෝ වේවා දින ගණනාවක් තිස්සේ ජාතික රෝහලටවී සුරේෂ් සලේ අවභාවිත කරමින් සිටින්නේ ඇත්ත රෝගියකුට ලබාදිය හැකි රෝහල් පහසුකම් ය. මහා අපරාධයක අපරාධ සැකකරුවකු එකී මහා අපරාධයේ විමර්ශනවලට පයින් ගසමින් නටන "නෛයියාඩමට" තවදුරටත් ඉඩ දෙන්නේ ද...?

Poddala Jayantha
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
