ෆිදෙල් කැස්ත්‍රෝ, චේ ගෙවේරා, රාවුල් කැස්ත්‍රෝ යනාදි යුගයේ දැවැන්තයින් ලෝකය පුරා අතිශය ජනප්‍රිය වෙද්දී, ඒ සියල්ලට ම පිටුපසින් හිඳිමින් කියුබානු විප්ලවයේ දෘඩතම සහ බලසම්පන්න ම නිහඬ භූමිකාවට පණ පෙවූ ඒ අසහාය සෙන්පතියා රමීරෝ වැල්ඩෙස් (Ramiro Valdés) දිවි සැරිය නිම කරමින් ඉතිහාසයට එක්ව තිබේ.
ලෝක මිලිටරි ඉතිහාසයේ නොමියෙන පාඩම
රමීරෝ වැල්ඩෙස්
රමීරෝ යනු සරලවම ධනවාදී අධිරාජ්‍යවාදී සතුරාට එරෙහිව යුගයක නැගී සිටි සෙන්පතියෙකි. තරුණ අවධියේ දී සටන්බිමේ අවි අතට ගත් ගරිල්ලා භටයෙකු ලෙසත්, පසුව නව කියුබානු රාජ්‍යයේ අභ්‍යන්තර ආරක්ෂක සහ බුද්ධි යාන්ත්‍රණය යකඩින් සහ ලෙයින් ගොඩනැගූ මූලික නායකයා ලෙසත් ඔහු කියුබානු ඉතිහාසයේ නොමැකෙන ලේඛනයක් තබා ඇත.

රමීරෝ වැල්ඩෙස්ගේ ජීවිතයේ වීරත්වය සහ මිලිටරි දක්ෂතාව උපරිමයෙන්ම සනිටුහන් වූයේ 1961 අප්‍රේල් මාසයේ දී ය. ඇමරිකානු සී.අයි.ඒ. (CIA) ඔත්තු සේවයේ මෙහෙයවීමෙන්, කියුබානු විප්ලවය පරාජය කර ෆිදෙල් ඇතුළු පිරිස ඝාතනය කිරීම සඳහා ලංකාවේ අප ‘ඌරුබොක්ක’ ලෙස හඳුන්වන, සුප්‍රසිද්ධ ප්ලායා ගිරොන් (Bay of Pigs) වෙරළ තීරයට සතුරු සේනා කඩා වැදුණි. එම මාරාන්තික සටනේදී වීර සෙන්පතියෙකු ලෙස සටන්බිමට කෙළින්ම බැස, සජීවීව ප්‍රහාර මෙහෙයවූයේ රමීරෝ වැල්ඩෙස් ය. සතුරා ගේ ගුවන් සහ නාවික බලයට නොසැලී මුහුණ දෙමින්, පැය 72 ක් බඳු කෙටි කාලයක් තුළ ඇමරිකානු කුලී හේවායන්ව අන්ත පරාජයට පත් කර, කියුබාවේ ස්වෛරීභාවය රැකගැනීමට ඔහු දුන් ඒ සජීවී යුද නායකත්වය අදටත් ලෝක මිලිටරි ඉතිහාසයේ නොමියෙන පාඩමකි.
යුගයේ නිහඬ සෙන්පතියා
රමීරෝ වැල්ඩෙස් සහ ෆිදෙල් කැස්ත්‍රෝ
සැබවින්ම ඔහු විප්ලවයේ යකඩ මිනිසා ය. 1959 විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු ගෙවුණු දශක කිහිපය පුරාම ලෝකයේ බලසම්පන්නම රාජ්‍යයන් පවා රමීරෝ කෙරෙහි දැක්වූයේ දැඩි බියක් මෙන්ම නොනිල ගෞරවයකි. කියුබාවේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ලෙස ඔහු නිර්මාණය කළ බුද්ධි තොරතුරු ජාලය කෙතරම් ප්‍රබලද යත්, ෆිදෙල් කැස්ත්‍රෝව ඝාතනය කිරීමට සී.අයි.ඒ. සංවිධානය දැමූ සිය ගණනක් කුමන්ත්‍රණ ව්‍යර්ථ කිරීමට ඔහු සමත් විය. ඔහු ගේ ජීවිතය විප්ලවයේ දෘඩබව මෙන්ම සංකීර්ණ පැති දෙකම එකට කැටි කළ එකකි. ඒ නිසාම, ඔහු පිළිබඳව ඉතිහාසය තුළ ඉහළම අගය කිරීම් මෙන්ම, ඔහුගේ දැඩි පාලන ක්‍රමවේද පිළිබඳව බටහිර ලෝකයෙන් එල්ල වූ දැඩි විවේචන ද එකට ගලා යයි.
එහෙත් ඒ සියල්ල මැද, ඔහු තමන් ජීවිතය පුරාම විශ්වාස කළ සමාජවාදී විප්ලවයට සහ මාතෘභූමියට අඛණ්ඩවම, අවසන් හුස්ම තෙක්ම කැපවුණේය.
රමීරෝ වැල්ඩෙස් සෙන්පතියා අප අතර නැත. ඔහු ගේ ජීවිතය හරහා අපට නැවත වරක් මතක් කර දෙන්නේ, සැබෑ විප්ලවය යනු මනුෂ්‍යයන්ගේ මහා සිහින, මරණීය භීතිය සහ අභියෝගයන් එකට ගැට ගැසුනු ඓතිහාසික නවාතැන් පොළක් බවයි. ඒ රුදුරු ඉතිහාසය තුළ, රමීරෝ වැල්ඩෙස් බඳු චරිත තබා ගිය සලකුණ කිසිදා මැකී නොයනු ඇත.

ධනවාදයේ පරම සතුරා වූ, යුගයේ නිහඬ සෙන්පතියාණෙනි, ඔබට අපගේ විප්ලවීය ගෞරවය!

සටහන - ගාමිණී මුතුකුමාරණ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
