Image

කවිවරට දහය යි; පොත් දහය යි - කවිවර පියවර සොඳුරු සැඳෑව 10වන දා…

කවිවරට දහය යි; පොත් දහය යි - කවිවර පියවර සොඳුරු සැඳෑව 10වන දා…

පළමු පියවර…

කාන්චනා කරුණාරත්න හෙවත් කවි… ඇය සමග මම පළමුවෙන් ම කතා කරන්නේ 2017 වසදේ දී ය; ඒ, ඇරැව්වල අනුර ගුණතිලක ගේ ''සඳස, විරිත සහ අරුත'' කෘතිය ජනගත කළ මොහොතේ ය. (මා ඇය හඳුනාගන්නේ එදින වුව ද මා රචනා කළ ''සාහිත රසවිත'' කෘතිය ජනගත කළ දිනයේ ඇය ද එම අවස්ථාවට සහභාගි වූ බව ඇය මා හට පැවසුවේ පසු කලක ය.) එදින වුව ද මා ඇය සමග කතා බහ කළේ ඇරැව්වල අනුර ගුණතිලක ගේ ''සඳස, විරිත සහ අරුත'' කෘතිය පිළිබඳව එම ලේඛකයා සමග සම්මුඛ සාකච්ඡාවක් කළ යුතු යැයි තීරණය කළ බැවින් මිස ඇය සමග මෙතෙක් දුර ගමනක් පැමිණෙන්නට බලාපොරොත්තුවකින් නොවේ.

 

දෙවන පියවර…

දෙවන පියවර වූයේ එම හමුවීමෙන් වසරක් ඉක්ම යෑමට මත්තෙන් මා ඇය සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා, එම සම්මුඛ සාකච්ඡාව ඇත්ත පුවත්පතේ සහ සත්හඩ පුවත්පතට යොමු කිරීමෙනි.

ඒ සඳහා නිමිත්ත වූයේ ඇය එම කාලය ඇතුළත කාව්‍ය සංග්‍රහ කිහිපයක් ම ප්‍රකාශයට පත් කිරීම සහ ඇතැම් ලේඛක ලේඛිකාවන් වෙත ප්‍රණාම සම්මාන පුද කරමින් සහ කිසියම් මුදල් පරිත්‍යාගයක් ද සිදු කරන්නට තරම් ඇය කාරුණික වූ බැවිනි.

 

තෙවන පියවර; ප්‍රකාශිකා සහ ලේඛක සබඳතාව

2018 වසර වන විට සත්හඬ පුවත්පත වසා දැමුවේ ය. පුවත්පතෙහි සේවය කරන සමයේ මා එම පුවත්පතට කාව්‍ය සංග්‍රහ පිළිබඳ විචාර ලිපි පෙළක් සපයා තිබුණි. මේ අතර කාන්චනා හෙවත් කවි පොත් ජනගත කරන අවස්ථාවල දී කිහිප වතාවක් ම හමු විය. එබඳු දිනයක මා යට සඳහන් කළ විචාර සමූහය කෘතියක් ලෙස ප්‍රකාශ කළ හැකි දැයි කාන්චනා ගෙන් විමසී ය; ඇය නොපැකිළව ම ඒ සඳහා කැමැත්ත පළ කළා ය. ඒ, ''කවිවර ප්‍රකාශන'' ලෙස ප්‍රකාශයට පත් වූ (2018 අප්‍රියල්) මගේ ප්‍රථම කෘතිය යි.

ඊට පෙර මගේ: ''මකරන්ද කාව්‍ය විමංසා'' නැණිල ප්‍රකාශනයක් (2014) ලෙසත්,  ''ත්‍රිමාන කියවීමක්'' (මහාචාර්ය කුලතිලක කුමාරසිංහ සහ දීප්ති කුමාර ගුණරත්න සමග) බිසෝ ප්‍රකාශනයක් ලෙසත්(2015), ''සාහිත රසවිත'' ග්‍රැෆිකෙයාර් ප්‍රකාශනයක් ලෙසත් (2016) ප්‍රකාශයට පත්ව තිබිණ.

මේ වන විට මගේ පළමු කෘතිය වන ''මකරන්ද කාව්‍ය විමංසා'' කෘතියේ තෙවන මුද්‍රණය ද (පළමු මුද්‍රණය 2014 අගෝස්තු, දෙවන මුද්‍රණය 2015 අගෝස්තු, තෙවන මුද්‍රණය 2017 ජුනි - පාසල් පුස්තකාල සඳහා විශේෂිත මුද්‍රණයක් ලෙස) අවසන් වී තිබුණි. එබැවින් එම කෘතිය පුනර් මුද්‍රණයක් කරමු දැයි මම කවි ගෙන් විමසුවෙමි; ඒ සඳහා ද ඇය නොපැකිළව කැමැත්ත පළ කළා ය. ඒ, කවිවර සමග මගේ දෙවන (2018 අගෝස්තු) කෘතිය යි.

2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී මගේ කෘති තුනක් (''මම විඳි කවියක්'' - කාව්‍ය විචාර, ''සාහිත රසවිතෙන් ඔබ්බට'' - සාහිත්‍ය කලා විවේචනාත්මක විමර්ශනයක් සහ ''අක් දහර'' - මගේ පළමු ප්‍රබන්ධ කෘතිය) කවිවර ප්‍රකාශන ලෙස නිකුත් විය.

 

සිව්වන පියවර: ප්‍රකාශිකා, ලේඛක සබඳතාව ඉක්මවූ නිමේෂය

650038460 25557902310554748 5166703642244455582 n

 

2019 වසරේ ඔක්තෝබර් 01වන දා නොසිතු මොහොතක, නොසිතු ලෙස මා රිය අනතුරකට ලක් විය. එය හේතුවෙන් මා සයනගතව සිටි කාලය දෙවසරකි. ඒ දෙවසර පුරා පමණක් නොව තවත් වසරක් ඉක්ම යන තෙක් ම මා ඇතුළු මගේ සිය පවුල ම රක්ෂා කරන්නට ඇය කළ උපකාර අනන්තය; අප්‍රමාණ ය. මෙම කාල සීමාව තුළ මා හට උපකාර කළ බොහෝ පිරිස් ද මේ මොහොතේ සිහිපත් කළ යුතු මය; ඒ අතර ඒ වන විට මා සජීවීව මුණ නොගැසුණ ද මගේ ලියවිලි කියවීමෙන් පමණක් මා හඳුනාගත් අය ද සිටියහ.

සයනගතව සිටිය දී කාලයක සිට සිතේ සැඟව තිබූ සංකල්පයක් පාදක කරගනිමින් මගේ දෙවන ප්‍රබන්ධ කෘතිය වන ''තිත් මල්'' ප්‍රකාශයට පත් කළේ ද කවිවර ප්‍රකාශනයක් ලෙසිනි.

2021 වසර ද එළඹුණි; එම වසරේ දී: ''කළු රංජිත් සුදු මිනිසෙකි'' (පළමු මුද්‍රණය 2021 අප්‍රියල් සහ දෙවන මුද්‍රණය නොවැම්බර්), ''ආදරණීය පළිගැනීමක්'' සහ ''හිතුවක්කාර වරා මලක්'' (කාව්‍ය) කෘති ත්‍රිත්වය ප්‍රකාශයට පත් කරන්නේ කවිවර ප්‍රකාශන ආයතනය යි.

ඉක්බිති: 2022 වසරේ ''මතඟනා'' සහ 2023 වසරේ ''ගෞර ග්‍රන්ථ'' යන ප්‍රබන්ධ කෘති ද්වය ද ප්‍රකාශයට පත් කරන්නේ කවිවර ප්‍රකාශන ආයතනය යි.

පස්වන පියවර: පොත් ප්‍රකාශිකව පමණක් මතු නොව ඉතා ම සමීප මිතුරියක්, සොහොයුරියක් ලෙස…

යට සඳහන් කළේ කවිවර ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද මගේ කෘති ලයිස්තුව පමණක් නොවේ; ඒ මගේ ලේඛන ගමන් මගේ පියවර ය. මේ පියවර පසුකර එන විට කාන්චනා කරුණාරත්න හෙවත් කවි යනු හුදෙක් මගේ පොත් ප්‍රකාශිකව පමණක් මතු නොව ඇය මගේ: ඉතා ම සමීප මිතුරියක්, සොහොයුරියක් වූවා ය; ඒ බැඳීම හුදෙක් ප්‍රකාශිකාවක සහ ලේඛකයකු අතර පවත්නා ආයතනමය සබඳතාව ඉක්මවූ සබඳතාවකි; කිසිදා අමතක කළ නොහැකි, කිසිවකුටත් බිඳ දැමිය නොහැකි සබඳතාවකි.

ඉදින් ඒ: ප්‍රකාශිකාව, ළබැදි මිතුරිය, සොයුරිය මේ නිමේෂයේ සිය ප්‍රකාශන ආයතනයේ දසවන සංවත්සරය සමරන්නට සූදානමින් සිටින්නී ය; එය නිමිති කරගනිමින් නවතම කෘති දහයක් ප්‍රකාශයට පත් කරන්නී ය.

 

Kavivarawi

 

ඒ සුබ මොහොත එළඹෙන්නේ අනිද්දා ය; එනම් 10වන දා ය. ඒ, කෙළඹ 07 කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ය. ඉදින් මා ප්‍රිය පාඨක පාඨකාවනි…, මා වෙනුවෙන් මෙන් ම කවිවර ප්‍රකාශන ආයතනය වෙනුවෙන් එම අවස්ථාවට සහභාගි වන්නැයි මම ඔබ සැමගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

 

83819637 2441898579248448 4762237154866757632 n 1

 

 

 

 සටහන - ජයසිරි අලවත්ත      

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න