Image

සජිත් ගේ දේශපාලන සතිය - මානුෂීය ධනවාදය ගැන සජිත් කියාදුන් පාඩම

 සජිත් ගේ දේශපාලන සතිය - මානුෂීය ධනවාදය ගැන සජිත් කියාදුන් පාඩම

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අඛණ්ඩව සටන් කරමින් සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙවුණු සතිය ආරම්භ කළේ, මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන පීඨයේ පාඨමාලා හැදෑරූ විද්‍යාර්ථීන්ගේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට එක්වෙමිනි. පසුගිය 31වන දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පැවැත්වුණේ මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ ආචාර්ය දයාන් ජයතිලක ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසකගේ ද සහභාගීත්වයෙනි.

WhatsApp Image 2026 09 07 at 3.38.05 AM

ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අමතමින් සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ…, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇති බලය තුලනය කිරීමටත් ව්‍යවස්ථාව තුළම මගපෙන්වීම් ලබාදී තිබියදී, 22වන සංශෝධනය ඉදිරිපත් කිරීමත් සමග යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සමූල ලෙස ඝාතනය කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවය.

“පවුල් පාලනය පරාජය කරමින් යුක්තිය හා විමුක්තිය උදාකරන බවට පොරොන්දු ලබාදුන්නත්, වර්තමාන ආණ්ඩුව මෙරට ඉතිහාසයේ අසාර්ථක ම ප්‍රතිඵල පෙන්වපු රජයක් බවට පත්වෙලා. ලී ක්වාන් යූ අගමැතිවරයා සිංගප්පූරුව දියුණු කළේ ලංකාව දෙස බලලා. නමුත් දැන් අපිට සිංගප්පූරුව දෙස බලලා ලංකාව ගොඩනගන්නයි සිදුවෙලා තිබෙන්නේ. අපිට මොකක්ද වෙලා තියෙන්නේ කියලා කල්පනා කර බැලිය යුතුයි. එහිදී අපි තේරුම් ගන්න ඕන අන්ත සමාජවාදී ක්‍රමයට ධනය උත්පාදනය කරන්න බෑ. රට දියුණු කළ හැක්කේ ධනවාදයෙන් විතරයි. ධනවාදය තුළ කියවෙන පොහොසතා උග්‍ර පොහොසතා වී දුප්පතා තවතවත් දුප්පත් වන ක්‍රමය වෙනුවට ධනය උත්පාදනය කරලා ඒ  ධනය සාධාරණ ලෙස බෙදී යාමේ ක්‍රමවේදයක් සහතික කරන මානුෂීය ධනවාදය වෙතයි අපි රට යොමු කරන්න ඕන.”

WhatsApp Image 2026 09 07 at 3.38.07 AM

ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයෙන් අනතුරුව සජිත් වටකර ගත් ඩිප්ලොමාලාභීන් විවිධ දේ සම්බන්ධයෙන් කරුණු විමසන්නට විය.

“සර්, අපි මානුෂීය ධනවාදය ගැන එතරම් ගැඹුරට ඉගෙනගෙන නෑ. ඇත්තට ම මේක ගැන රටට ම හරියට කියලා දෙන්න ඕන මාතෘකාවක් නේ. මේ ගැන මෙහෙම ගැඹුරින් කතා කරන්නේ ඔබතුමා විතරයි. සර් මේ ගැන රටට කියනකම් අපි මේ ගැන අහලවත් තිබුණේ නෑ. සර් අපිට මේ ගැන තවදුරටත් හදාරන්න අවස්ථාවක් හදලා දෙන්න පුළුවන් ද?”

ඒ මොහොතේ තමන් අසල සිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන පීඨයේ අධ්‍යක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණට සජිත් යෝජනා කළේ, ආර්ථිකය සම්බන්ධයෙන් පුළුල්ව දැනුම ලබාදෙන පාඨමාලාවක් ද සැලසුම් කරණ ලෙසය.

 

උණුසුම් වූ 22 සටන

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 67ක් පිළිබඳ විභාගය පසුගිය පළමුවැනිදා ආරම්භ කෙරුණේ, එය ඉතිහාසයේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතකට එරෙහිව ඉදිරිපත් වූ වැඩිම පෙත්සම් ගණන ලෙස වාර්තාවක් ද තබමින් ය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය ආරම්භ වූ අතර, එය එදින රාත්‍රි 10.30 දක්වා පවත්වා පසුදිනට ද කල්දැමීමට සිදුවිය. ඉන් පැහැදිලි වුණේ, ආණ්ඩු සිදුකරන්නට යන මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති සංකීර්ණ බවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජනබලවේගය ඇතුළු පාර්ශව 67ක් 22 ට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර තිබු අතර, විපක්ෂ නායක සජිත් ද එම අවස්ථාවට එක්වූයේ සිය පිරිවර සහ නීතිඥවරුන් ද සමග ය. පෙත්සම් විභාගය අතරතුර ද 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බරපතළකම, අනතුරුදායක බව සහ එවැනි සංශෝධනයකින් රටට ඇති විය හැකි දිගුකාලීන බලපෑම් ආදිය ගැන නීතිඥවරුන් සමග පුළුල්ව කරුණු සාකච්ඡා කිරිමට ද සජිත් කටයුතු කළේ ය.

WhatsApp Image 2026 09 07 at 3.38.0 AM

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් කීවේ, 22 යනු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් බව ය.  ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිපේ රජය මේ විනාශයට වගකිව යුතු බවත් මෙම අත්තනෝමතික ක්‍රියාවලිය මගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය හිතමතා ම ජනවරම පාගා දමමින්, ජනතා අයිතිය උල්ලංඝනය කර ඇති බවටත් සජිත් චෝදනා කළේ ය. 

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන වැදගත්ම කුලුනක් වන ගරු අධිකරණයට එරෙහිව ක්‍රියාත්මක වන විධායකයේ වියරුව පරාජය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් සජිත් කීවේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවය.

 

යෞවන සමාජයෙන් ඇරඹි ඒකාධිපති ආක්‍රමණය

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය දා සජිත් මුණ ගැසීමට විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ දැවෙන ගැටලු කිහිපයකට විසදුම් සාකච්ඡා කිරීමට ය. පැෆ්රල් සංවිධානය ඇතුළු සංවිධාන 20ක පමණ නියෝජිතයින් ඊට එක්වූ අතර, ඔවුන් පෙන්වා දුන්නේ ආන්දෝලනාත්මක 22වන සංශෝධනය සහ එමගින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවිය හැකි බලපෑම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම ප්‍රමුඛතම කාර්ය කළ යුතු බව ය.

WhatsApp Image 2026 09 07 at 3.38.08 AM

එහිදී කරුණු දැක්වූ සජිත්…,

“මේ ඒකාධිපති ගමනට මුලපිරුවේ පැලවත්තට අවශ්‍ය ආකාරයට යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටු පත්කිරීමෙන්. ඒ මොහොතේ මම රටට කිව්වා මේ ආරම්භ කරන්නේ ජනාධිපති ඇතුළු මාලිමාවේ ඒකාධිපති ගමනේ මූලාරම්භයයි කියලා. මම රටට කිව්වා සමාජයේ බොහෝ තැන්වලට මේ අය අතගහයි කියලා. හැබැයි ඒ වෙලාවේ සමහරු මට විරුද්ධ වුණා. නමුත් දැන් මේ වෙලා තියෙන්නේ මම එදා කියපු දේමයි නේද ?” යනුවෙන් සජිත් ප්‍රශ්න කරද්දී සිවිල් සංවිධාන නියෝජිතයින් ද හිස සලමින් එය අනුමත කළ ආකාරයක් දැකගන්නට හැකිවිය.

සජිත් එවැඩිදුරටත් අවධාරණය කළේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමස්ත ජනතාව එකට පෙළ ගැසිය යුතු යුගයක් උදා වී ඇති බව ය. ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන තැනක, පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා රටට පැහැදිලි කරන්න ලෙස සජිත්ට ආණ්ඩුවට අභියෝග කළේය.

 

නාමලුයි, අනුරයි අනුරපුරේ වඳින්න යයි

සමගි ජනබලවේගයේ වෘත්තීය සමිති නියෝජිතයින්ට සමාජ මාධ්‍ය භාවිතය පිළිබද වැඩමුළුවක් කෝට්ටේ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණේ පසුගිය බදාදා ය.

එය ආරම්භ කෙරුණේ, පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ වෘත්තීය සමිති ලේකම් අශෝක අබේසිංහ ඇතුළු නායකයින් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙනි. මෙම හමුවේ අදහස් දැක්වූ රංජිත් කීවේ සමගි ජනබලවේගය අභියෝග හමුවේ නොසැලෙමින් ජනතාවාදී ගමනක නිරතව සිටින බවත්, ඊට වැඩබිමේ සිට ශක්තියක් වූ වෘත්තීය සමිති නායකයින් කිසිදාක අමතක නොකරන බවත්ය.

“අපි දැන් ගමින් ගමට ගිහින් අපේ පණිවිඩය ජනතාවට ලබාදෙමින් ඉන්නේ. අපි ගිය සතියේ ඒ වැඩපිළිවෙල “එකම විකල්පය සජිත් & Team” කියලා අනුරාධපුරයෙන් ආරම්භ කළා. ඒ ගමනේ දී අනුරාධපුරයේ ආසන 07ම ආවරණය වෙන්න ඡන්ද කොට්ඨාසයක් කොට්ඨාසයක් ගානේ ගිහින් අපි ජනතාව මුණ ගැහුණා. මේ පාර මාළිමා ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වන්න අපි ලෑස්තියි කියල අනුරාධපුර ජනතාව අපට සහතිකයක් ලබාදුන්නා. දැන් ගැරඩියාට භූමිතෙල් වැදුණා වාගේ සමහරු හොඳටම කලබල වෙලා. අපි අනුරාධපුරේ ගියා විතරයි, දැන් පොහොට්ටුවත් අනුරාධපුරේ යන්න ලෑස්ති වෙනවලු. ඒ වගේම ජනාධිපතිත් යනවලු අනුරාධපුරේ. ඒ හැමෝටම අපි අනුරාධපුරයේ ගිහින් කරපු වැඩේ දැනිලා. ඒකයි මේ තකහනියේ අනුරාධපුරේ යන්නේ, නැතුව මේ අනුරාධපුරේ වඳින්න නෙමෙයි. ඒ කවුරු ගියත් ලබනපාර සජිත්ව දිනවන්න ජනතාව මේ වන විටත් තිරණය කරල ඉවරයි කියලා අපිට හොඳටම දැන් තේරෙනවා.”

එහෙම කියද්දී වෘත්තීය සමිති නායකයින්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක් ය.

අනතුරුව කථා කළේ තිස්ස අත්තනායකය. දැන් ටික ටික දේශපාලනය උණුසුම් වීගෙන යන්නේ. වැඩබිම්වල පීඩනය වැඩිවෙලා. ගොවීන් පැදුරට වට්ටලා. සාමාන්‍ය මිනිස්සු කන්නේ බොහොම අමාරුවෙන්. ඒ නිසා ඉතා පැහැදිලියි මාළිමා ආණ්ඩුව පැන්නීමේ ජනතා සටනක් දැන් මෝදු වෙමින් තිබෙන්නේ. ඒ සටන මෙවර ආරම්භ වන්නේ වැඩබිමෙන්, ගොවිබිමෙන්.” යනුවෙන් තිස්ස කීවේය.

 

විජය කුමාරතුංගයි, ගාමිණි ෆොන්සේකායි බුරියානි කාපු හැටි

වෘත්තීය සමිති නියෝජිතයින් අනතුරුව එක්වුණේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ වූ විශේෂ වැඩමුළුවට ය.

සමාජ මාධ්‍ය පරිශීලනය හා එහි වැදගත්කම, සමාජ මාධ්‍ය හා දේශපාලනය, ව්‍යාජ තොරතුරු, බොරුව සත්‍ය කිරීම යනාදි මාතෘකා සම්බන්ධයෙන් වෘත්තීය දේශණ සහිතව පැවැති එම වැඩමුළුවේ දී විශේෂ අවධානයක් යොමුවූයේ පක්ෂයේ ජයග්‍රහණ උදෙසා ධනාත්මක ලෙස සමාජ මාධ්‍යයේ දායකත්වය ලබා ගැනීම ගැන ය.

මෙහි දී සමාජවාදය සහ ධනවාදය අතර වෙනස සරල උදාහරණයකින් පැහැදිලි කළ මාධ්‍යවේදී මහේෂ් සේනානායක ඒ සඳහා උදාහරණ ලෙස යොදා ගත්තේ මෙරට ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනකු වන විජය හා ගාමිණී ය.

“දවසක් විජය චිත්‍රපට රූගත කිරීමකට ගියා. දහවල් ආහාර ගැනීමේ අවස්ඥාව උදාවුණා. ඉතිං විජයට බුරියානි‍. අනෙක් නළු නිළියන්ට හා crew එකට සාමාන්‍ය ආහාර වේලක් තමයි ලැබුණෙ.

එතැනදි ඇයි මේ මට විතරක් බුරියානි කියල අහපු විජය, බුරියානි කෑම එක පැත්තකින් තියලා අනෙක් අයට දුන්න සාමාන්‍ය ආහාර පාර්සලයක් අරන් කෑවා. තව දවසක් ගාමිණීත් චිත්‍රපට රූගත කිරීමකට එක්වුණා. එයාටත් දවල් කෑමට ලැබුණෙ බුරියානි. හැබැයි අනෙක් අයට දීල තිබුණේ සාමාන්‍ය ආහාර සහිත පාර්සල්. මේක ගාමිණීටත් විජයට වගේම දරාගන්න බැරිවුණා. හැබැයි මෙහි දී ගාමිණි කටයුතු කළේ විජය වගේ නෙමෙයි. ඔහු සියලු දෙනාට ම කීවේ මේ, මේ අපි හැමෝම අද බුරියානි කමු කියලා. එහෙම කියපු ගාමිණි අසළ සිටි අයෙකුට කතා කරල මෙන්න මේක අරන් ගිහින් හැමෝටම බුරියානි ගේන්න කියලා සල්ලිත් දුන්නා.

ඉතිං අපි ධනවාදි පක්ෂයක් හැටියට අපි දකින්නෙත් ගාමිණි දකින විදියමයි. අපි කියන්නෙත් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කනවනම් හැමෝම බුරියානි කන්න ඕන කියන එක. එක තමයි අපේ ප්‍රතිපත්තිය.” එලෙස ඔහු කරුණු කියද්දී සියල්ලන්ගෙන්ම ලැබුණේ අත්පොළසන් නාදයකි.

 

කිසිවෙකුට නොපෙනී වැඩමුළුවට පැමිණි සජිත්

WhatsApp Image 2026 09 07 at 3.38.10 AM

දිවා ආහාරයෙන් පසු අවසන් දේශනය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් හෙමින් සීරුවේ කිසිවෙකුටත් බාධා නොකර වැඩමුළුවේ අසුන් ගත්තේ ය.

ඔහු පැමිණි බව දුටුවේ දේශනයට එක්ව සිටි කිහිප දෙනෙකු පමණක් වූ අතර දේශකයා ද සජිත්ගේ ඉඟිය අනුව ඔහුගේ පැමිණිය උත්කර්ෂයට නැගුවේ නැත. ඔහු දේශණය අවසන් කරමින් කිව්වේ, “විපක්ෂ නායකතුමත් ඇවිල්ල දැන් බොහෝ වේලාවක්... එතුමා මට සංඥා කරගෙන ආවේ කාටවත් ඒක ඉඟි කරන්න එපා කියලා. මම ඒක නිසා දේශනය නතර කළෙත් නෑ.” කියා ය. එම අවස්ථාවේ වැඩමුළුවට එක්ව සිටි වෘත්තිය සමිති නියෝජිතයින් දනිපනි ගාගෙන සජිත් දෙසට හැරෙද්දී, පිටුපස අසුනගෙන සිටි ඔහු තැනින් නැගිට ඉදිරියට පැමිණ අසුන් ගත්තේ සිනාමුසු මුහුණින් යුතුව ය.

 

බලය වැඩිවූ සෑම විට ම සිදුවූ දේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 83 සහ 107 යන ව්‍යවස්ථා දිහා බලද්දී 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරාමාධිපත්‍යයට දැවැන්ත අභියෝගයක් එල්ල කරන කාරණයක් බව සජිත් පැහැදිලි කළේ, කාලීන උදාහරණ ද සහිතව ය.

WhatsApp Image 2026 09 07 at 3.38.11 AM

“දැන් බලන්න 3, 4, 83 සහ 107 යන වගන්තිවලින්ම කියල තියෙනවා උපරිමාධිකරණවල විනිසුරුවරුන් පත්කිරීම හා ඊට අදාළ තීන්දු තීරණ ගන්නා ආකාරය. නමුත් මේ ආණ්ඩුව වැඩ කරන්නේ ඒ කිසිවකට අනුව නෙමෙයි. මේක බරපතළ ලෙස ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. ‍එක්තරා කාලයක ව්‍යවස්ථාවේ තිබුණ අසීමිත බලය තුනී කරන්න 17වන ව්‍යවස්ථාව ගෙනාවා. ඊට පස්සේ නැවත බලය වැඩි කරන්න කට්ටියක් 18 ගෙනාවා. 2015 දී යහපාලන ආණ්ඩුව ඒ අසීමිත බලය සමතුලිත කරන්න 19 ගෙනාවා. ඊට පස්සේ 20ක් ගෙනැල්ලා ආයෙත් බල තල වැඩි කරගත්තා. පස්සේ 21 ගෙනල්ලා ආයෙත් ඒ බලය අඩු කළා. දැන් මේ මාලිමා ආණ්ඩුව 22 ගෙනැල්ලා අධිකරණයට අත තියමින් අත්තනෝමතික විදිහට අධිකරණය පාලනය කරන්නත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින් මිනිස් නිදහස අහිමි කරමින් තනි පක්ෂ පාලනයකට රට ගෙනියන්න උත්සාහ කරනවා.”

 

අනුර එක්ක ඇත්තටම ඩීල් දැම්මේ කවුද ?..

එලෙස කියා සිටි සජිත් පෙන්වා දුන්නේ, මෙම අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට එරෙහිව සමගි ජනබලවේගය ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන පසුබිමක තමන් ඩීල් දේශපාලනයක නිරත වන බවට ඇතමුන් සහ සමාජ මාධ්‍යකරුවන් කිහිප දෙනකු චෝදනා කරන බවය.

“අධිකරණයට කරන අත්තනෝමතික අතපෙවීම්වලට හැමදාම කරුණු සහිතව විරුද්ධ වුණේ අපි විතරයි. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය ගේ ගැටලුව අවස්ථාවේත්, පසුගිය ආණ්ඩු විනිසුරුවන් වරප්‍රසාද කමිටුවට ගෙන එන්න හදද්දී පවා අපි විරුද්ධව කටයුතු කළා. ඒ වගේම 17, 18, 19, 20, 21ට අත උස්සපු අය සමගිය ඇතුළේ නැහැ. ඒ නිසා අපි තමයි පිරිසිදුව, බය නැතුව මේ සටනට අවතීර්ණ වෙලා ඉන්න එකම කණ්ඩායම. සමහරු කියනවා මම ආණ්ඩුව එක්ක ඩීල් දාලලු. තවත් අය කියනවා මම නීතිඥ සංගමය එක්ක ඩීල් එකකලු. මේවා කියන අය ඇත්තටම පව්. අනුර එක්ක ඇයි මං ඩීල් දාන්නේ. සමගි ජනබලවේගයේ අපි කිව්ව ද අනුරට ඡන්දය දෙන්න කියලා. එහෙම කියපු අය තමයි නියම ඩීල් කාරයෝ. ඒ අයත් මේවට වගකියන්න ඕන.” යනුවෙන් සජිත් දැඩි ස්වරයකින් ප්‍රකාශ කළේ, 22වන සංශෝධනය පරාජය කිරීමේ සටනට එක්වන ලෙස සියලු දෙනාට විවෘත ආරාධනයක් ද සිදුකරමින් ය.

 

ආණ්ඩුව නිහඬ කළ කොටුවේ විරෝධය

WhatsApp Image 2026 09 07 at 3.3. AM

අධිකරණයේ ස්වාධීනත්වයට අත තබමින් ගෙන ආ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි  විරෝධතාවක් පසුගියදා (03) කොළඹ කොටුවේ දී පැවැත්වුණේ විශාල ජනකායක ගේ සහභාගීත්වය ද සහිතවය.

ජනාධිපතිවරණයේදී සජිත්ට සහය දැක්වූවන් මෙන් ම සජිත්ට විරුද්ධව කඳවුරු බැඳ සිටි පිරිස් පවා මේ විරෝධතාවයට සජිත් සමග එක්ක සිටීම විශේෂත්වයක් විය. වෙනදාට විවිධ කතා කියමින් මෙවැනි විරෝධතාවලට පරිභව කරන ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය පවා මේ විරෝධය ගැන කිසිදු අදහසක් ප්‍රකාශ නොකිරීමෙන් පෙනී යන්නේ, එය හිතාමතා ම සමාජයෙන් යටපත් කිරීමට බව පැහැදිලි ය.

“මේ වෙද්දී රටේ දුප්පතුන් ප්‍රමාණය වැඩි වෙලා. දිනෙන් දින බඩු මිල වැඩි කරනවා. විරැකියාව වැඩිවෙලා. ගොවියා අසරණ කරලා. ජනජීවිත අකර්මන්‍ය වෙලා. ඇඟලුම් කම්හල් වැහෙනවා. වෙනත් කර්මාන්ත වැහෙනවා. රටේ ජනතාවගේ ගැටලුවලට විසදුම් නෑ. රජය කරන්නේ ඒකාධිපති ආඥාදායක පාලනයක් වෙනුවෙන් පිඹුරුපත් සකස් කරමින් ඉන්න එක. ඒකෙ දි අධිකරණය තමන්ගේ යටතට අරගෙන එක පක්ෂයකට බලය තබා ගන්න ආණ්ඩුව ගේන මේ 22වන සංශෝධනය පරාජය කළ යුතුමයි.

WhatsApp Image 2026 09 07 at 3.38.13 AM

සජිත් එහිදී එක් දෙයක් පැහැදිලිවම කීවේ ය.

“පාර්ලිමේන්තුවේ බහුතරය තියාගෙන දිනන්න පුළුවන් කියලා මේ රජය සිතනවා ඇති. බලශක්ති ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයෙන් සජබ පරාජය වුවත් අවසානයේ ඇමතිට හා ලේකම්ට ගෙදර යන්න සිදුවුණා. ඒ වගේ තමයි මතක තියා ගන්න, ඒ විදයට ම මේ දුර්දාන්ත පාලනයටත් යන්න සිදුවෙනවා.” යැයි සජිත් කීවේ රැස්ව සිටි ජනකායේ ඔල්වරසන් මැද ය.

 

පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් සජිත්ට සහතිකයක්

WhatsApp Image 2026 09 07 at 3.38.14 AM

22වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර නියෝජිතයින් සාකච්ඡා බොහෝමයක් සිදුකළේ සජිත් සමග ය. මේ සම්බන්ධයෙන් සජිත් දක්වන උනන්දුව, ඉදිරිපත් කරනු ලබන කරුණුවල විද්‍යාත්මක බව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ කැපවීම යන කරුණු සජිත්ගෙන් සැබෑ‌ ලෙස ම නිරූපනය වීම ඊට හේතුව ය. ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු මහතා ද පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ දී සජිත් හමුවී දීර්ඝ සාකච්ඡාවක නිරත වූයේ 22වන සංශෝධනය පිළිබද ඉදිරිපත්වී ඇති පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනිමින් තිබූ පසුබිමක ය.

ස්ටීවන් තිරු මෙහි දී අවධාරණය කළේ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ දේශපාලන අවශ්‍යතා මත සිදුනොවිය යුතු බව ය. දේශපාලන බලය වෙනස් වූ අවස්ථාවක පවා ජනතාවගේ සහ ආයතනවල ආරක්ෂාව තහවුරු වන ආකාරයට ඒවා සැලසුම් විය යුතු බව ඔහු පෙන්වා දුන්නේ, මෙවැනි අත්තනෝමතික ප්‍රතිසංස්කරණ මගින් විවිධ රටවලට අත්ව ඇති ඉරණමද උදාහරණ ලෙස දක්වමින්ය.

“අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණයේ කාර්යක්ෂමතාව සහ මහජන විශ්වාසය කියන්නේ එකිනෙකට සම්බන්ධ කරුණු. ඒවා එකිනෙක ශක්තිමත් කළ යුතු අංග. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බලතල බෙදීම සහ අධිකරණයේ ස්වාධීනත්වය, විනිවිදභාවය සහ වගවීම ගැන සාකච්ඡා කිරීමේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය මූලධර්ම වැදගත් ජාත්‍යන්තර මිනුම් දණ්ඩක් ලෙස භාවිත කරන්න පුළුවන්.” සජිත් කියා සිටියේ ය.

එහි දී සජිත් යෝජනා කළ තවත් වැදගත් කරුණක් වුණේ, කිසිදු අධිකරණ කටයුත්තකට බලපෑම් කිරීමකින් තොරව, දිගුකාලීන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයක් ලෙස විශේෂිත ව්‍යවස්ථා අධිකරණයක් හෝ වෙනත් විශේෂිත ව්‍යවස්ථාමය සමාලෝචන යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය ද යන්න සලකා බැලිය හැකි බව ය. ඊට ප්‍රතිචාර දක්වමින් තිරු මහතා කියා සිටියේ, “ ඔබට ඒ ගැන හොඳ දැනීමක් හා අවබෝධයක් තිබෙනවා. එවැනි වැඩපිළිවෙලක් රටට අවශ්‍ය නම් ඒක කරන්න ඔබට හැකි බව මට වැටහෙනවා.”

 

අලි සංවත්සරයට සජබයෙන් බළඇණියක්

WhatsApp Image 2026 09 07 at 3.38.15 AM

එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරය වෙනුවෙන් මහලේකම්වරයා ඇතුළු ජ්‍යේෂ්ඨයින් පිරිසක් සමගි ජනබලවේගය නියෝජනය කරමින් සහභාගී කරවන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේ ය.

ඒ අනුව, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක, සුජිත් සංජය පෙරේරා, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, ජේ.සී. අලවතුවල සහ දිලිප් වෙදආරච්චි සිරිකොතට ගියේ පැරණි මිතුදම් යළිත් අලුත්කර ගනිමින්ය.

සමගිය සහ එජාපයේ එකමුතුව ගැනත්, ඉදිරි දේශපාලන සැලසුම ගැනත් සුබවාදී බලාපොරොත්තුවක් මේ සමග ඇති වූ බව දේශපාලන විචාරකයින් මත පළකරන අයුරුද දැකගත හැකි විය.

මම | බංගලා හන්දියේ ලියුම්කරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න