මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේ දී ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය ජාතික රැඳවියකු වන උම්නිතාත් සරත්චන්ද්‍රන් නමැත්තාගේ මෘත දේහය අධිකරණයෙන් ලද නියෝගය අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදහත්වීම මත මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී සැප්තැම්බර් 02 දින විශේෂ ආරක්ෂාවක් යටතේ මිහිදන් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ ය.
මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් නඩුකරය ඊයේ (08) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඉදිරියේ කැඳවනු ලැබී ය. එහි දී අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ නඩු භාණ්ඩ වශයෙන් ඔහු ඇඳගෙන සිටි ඇඳුම සහ පාවහන් යුගල රස පරීක්ෂක වාර්තාවකට යැවීම සඳහා අධිකරණයට භාර දෙන බවයි. එම මෘත දේහය රජයේ වියදමින් මිහිදන් කළ බව ද සඳහන් කළේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 11 දෙනෙකු නම් කළ අතර එම සැකකරුවන් එකොළොස්දෙනා මෙම මස 10වන දාට ආවරණය කළ ඇඳුම් සහිතව හඳුනා ගැනීමේ පෙරටුව සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට මීගමුව බන්ධනාගාර අධිකාරිට නියෝගයක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය. ඒ අනුව මේ වන විට සැකකරුවන් 81 දෙනෙකු නම් කර ඇති බව නිලධාරීහු සඳහන් කළහ.
මෙම සිද්ධියට අදාළව 2200ක ගෙන් පමණ ප්‍රකාශන ලබාගෙන ඇති බවත් නඩු භාණ් වශයෙන් පොලිස් භාරයට ගෙන ආණ්ඩුවේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති එම භාණ්ඩ සඳහා මේ වෙනතුරු කිසිදු වාර්තාවක් ලැබී නැතැයි ද කියා සිටියේ ය.
ඊයේ (08) සැකකරුවන් 05 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කළ අතර මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා හමුවේ මෙම හඳුනා ගැනීමේ පෙරටුවේ දී සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූ බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරුවන් හඳුනාගනු ලැබී ය. එහිදී ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මෙම නඩුකරයට සම්බන්ධ වීම සඳහා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හරහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. අධිකරණයේ අවසර හිමි වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දැක්වූයේ ය.
බන්ධනාගාරය ඇතුළට පිටින් වෙඩි තිබ්බේ ඇතුළෙ හිටිය නිලධාරීන්
''ස්වාමීනි…,
මේ සිද්ධියෙන් 32ක් මැරුණා බන්ධනාගාර ඇතුළෙ. මේ ඉතා බරපතළ අපරාධයක්. ජුලි 05 සිදුවුණ මේ සිදුවීම රැඳවියන් අතර වුණ සාමාන්‍ය සිදුවිමක්. එයින් 3ක් මැරුණා. ඒ තත්ත්වය පාලනය කරලා තිබුණේ. එදින අවිආයුධ පවා බන්ධනාගාරයෙන් ඉවත් කළා. නමුත් එදා රැඳවියන් කූඩුවලට නොදා නිදැල්ලේ තියලා තිබ්බා. එදින බන්ධනාගාරයේ ආරක්ෂාවට නිලධාරීන් කිපදෙනෙක් හිටියා. තුවක්කු අතැතිව. පහුවදා උදේ හයවෙනකං කිසිම අවුලක් තිබ්බේ නැහැ. නමුත් කිසිම ප්‍රශ්නයක් නැති තැනකට බන්ධනාගාර මූලස්ථානයෙන් බන්ධ පොලිස් නිලධාරීන් 89ක් තුවක්කු 10ක් එක්ක ගෙනත් දැම්මා සිවිල් ඇඳුමෙන්. ඒ අය ඉතා අමානුෂික ලෙස රැඳවියන්ට වදහිංසා කරන්න ගත්තා. ඒක දාරා ගන්න බැරි වුණ රැඳවියන් නිලධාරීන්ට පහර දුන්නා. එතන දි නිලධාරීන් 10ක් මැරුණා, රැඳවියොත් 19ක් මැරුණා. ගොඩක් අය තුවාල ලැබුවා. බන්ධනාගාරය ඇතුළට පිටින් වෙඩි තිබ්බේ ඇතුළෙ හිටිය නිලධාරීන් තමයි. වැඩි හරියක් රැඳවියන් මැරුණේ වෙඩිවලින්. අද කියනවා තුවක්කු 300ක් විතර රස පරික්ෂණයට යැව්වා කියලා. ඒ ගෙනාපු අවිවලින් තමයි වැඩි හරියක් මැරුණේ. ඒ අවි අරගෙන බැලුවනං බලන්න පුළුවන් මොකෙන්ද වෙඩි තිබ්බේ කියලා.
වෙඩි තියන්න අණ දිපු කොනාගේ ඉඳලා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න
කට උත්තර එක්දහස් ගානක් ගත්තලු. තව ඉවරයක් නැ. මේ නඩුව මෙහෙම ගෙනියන්න බැහැ. රජයේ බන්ධනාගාරයක් තුළ මැරුණ මිනිස්සු ගැන වගකීමක් රජයට තියනවා. ආණ්ඩුව මරුණ නිලධාරීන්ට විශාල මුදලක් වන්දි ගෙවනවා. රැඳවියන්ට මුකුත් නැහැ. මං අද පෙනී සිටින්නේ ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය වෙනුවෙන් සහ මිය ගිය රැඳවියකු වූ මෙහොමඩ් වෙනුවෙන්, ඔහුට දරුවන් 7ක් ඉන්නවා. දැන් ඒ පවුල ඉතා අසරණයි. චූටිම දරුවාට තාම මාස දෙකයි. 54 වගන්තිය යටතේ රස පරික්ෂක වාර්තා එනකං හිටිය කෙනෙක් මේ මැරුණේ. අපි කියන්නේ මේකට අර නිලධාරීන් 89 දෙනා වගකියන්න ඕන, ඒ අය අත්අඩංගුවට අරන් සැකකරුවන් කරන්න කියලා. මේකට වෙඩි තියන්න අණ දිපු කොනාගේ ඉඳලා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕන. මෙතන සමුල ඝාතනයයක් වොලා තියනවා. ඒ නිසා රැඳවියන්ට සාදාරනයක් වියයුතුයි. Cid එක ඒ අය වෙනුවෙන් හඬක් නගන්නැහැ. ඒ අය දැනටමත් වරදකරුවෝ කරලා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සාධාරණ පරික්ෂණයක් කරන්න කියලා. රැඳවියන් සාක්ෂි දෙන්න පවා බයයි. මොකද සාක්ෂි දීලා යන්න වෙන්නේ එතනට නිසා. ඒ නිසා බය නැතිව සාක්ෂි දීමට පරිසරයක් හදන්න ඕන.''
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ( 01 ) හි සහකාර පොලිස් අධිකාරී චන්දන කළුආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න ,උප පොලිස් පරීක්ෂක දුලිත මදුරංග, උප පොලිස් පරීක්ෂක මදුසංක,පොලිස් කොස්තාපල් දුලංග,සහ ජයසූරිය බණ්ඩාර අනිල් අසේල හේරත් යන නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩි දුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ ය.
ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 20 දෙනෙකු සහ රැඳවියන් 22 කු ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබීය.මෙම නඩුකරයට අදාළ මීළඟ නඩු කරය එළඹෙන සැප්තැම්බර් 10 වැනිදින පැවැත්වීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
