Image

රනිල් කොළම : තායි නියෝජ්‍ය අගමැතිනියත් පුදුම කළ රනිල්ගේ කතාව

රනිල් කොළම : තායි නියෝජ්‍ය අගමැතිනියත් පුදුම කළ රනිල්ගේ කතාව

මිහින්තලේ චෛත්‍යයේ කොත් පැළඳවීමේ උත්සවයට ආරාධනා ලැබුණු පසු රනිල් කිසිදු මස් මාංශයක් අනුභව නොකර ඒ සඳහා පේ විය.

අනුරාධපුරයට ගිය රනිල් ප්‍රථමයෙන්ම වැඩ බලන අටමස්ථානාධිපති ඊතලවැටුන වැවේ ඥානතිලක නා හිමි බැහැ දැක විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ට පූජා කරන පළතුරු පවා කොළඹ සිට රැගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබිණ.

මිහින්තලා රජමහා විහාරයේ උත්සවයට රනිල් සහභාගී වූයේ එහි විහාරාධිපති වලවා හැංඟුණු වැවේ ධම්මරතන නාහිමියන්ගේ ආරාධනාවක් අනුවය.

 

තායි නියෝජ්‍ය අගමැතිනියත් පුදුම කළ රනිල්ගේ දේශනය

එම උත්සවයේදී රනිල් ථෙරවාදී බුදුදහමේ අතීතය, ව්‍යාප්තියත් මෙන්ම තායිලන්තය සමඟ ඇති සම්බන්ධය ගැන ගැඹුරු දෙසුමක් කළේය. ඒ කතාව ඉතාමත්ම සාවධානයෙන් අසා සිටි උත්සවයේ ප්‍රධාන ආරාධිතිනිය තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනිය ඉංග්‍රීසි බසින් රනිල් අමතමින් පැවසූයේ " බුදු දහම සම්බන්ධයෙන් ඔබට තියෙන දැනුම පිළිබඳවත්, ඔබ සතු මතකය සම්බන්ධයෙනුත් මම පුදුමයට පත් වුණා" යනුවෙනි.

ඊට පිළිතුරක් ලෙස රනිල් "හැමදාමත් තායිලන්තය අපිට අමාරු අවස්ථාවලදී උදව් කරලා තියෙනවා.ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔබතුමිය මේ අවස්ථාවට සහභාගි වීම මම විශේෂයෙන්ම අගය කරනවා"යැයි පැවසීය.

රනිල් එම උත්සවයේ කළ කතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මෙන්න විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දී තිබිණි. ජනාධිපති හිටපු මාධ්‍ය අධ්‍යක්ෂක ශානුක කරුණාරත්න නාලිකාව හරහා රනිල්ගේ කතාව ලබාගත් අතර Viii වැනි විධායක ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය මගින් එය පැය එකහමාරක පමණ කාලයක් ඇතුළත සමාජ මාධ්‍යයටත්, පුවත්පත් වලටත් සිංහ භාෂාවෙන් නිකුත් කිරීමට පියවර ගත්තේය.

පැය කිහිපයක් ඇතුළත රනිල්ගේ කතාව මුළු ලෝකයටම ගියේය.

 

"මෙහෙම පුළුවන්ද විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්න"

මේ උත්සවයේදී රනිල්ට තවත් විශේෂ කාරණාවක් ගැන දැනගන්නට ලැබිණි.

ඒ මිහින්තලේ පින්කමට ආ තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට කිසිදු ආරක්ෂාවක් හෝ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් රජය ලබා දී නැති බවයි.

මේ පිළිබඳව දැඩි නොසතුටු පළ කළ රනිල් "මේ ආණ්ඩුවට මොනවා වෙලාද මම දන්නේ නැහැ. මෙහෙම පුළුවන්ද විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්න. තායිලන්තය අපට හැම අමාරු අවස්ථාවකදීම උදව් කරලා තියෙනවා. මම තායිලන්තයත් එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුමකට පවා අවතීර්ණ වෙන්න කටයුතු කළා. ආණ්ඩුවට මොලේ නරක් වෙලාද මන්දා " යනුවෙන් පැවසීය.

අනතුරුව මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් ද නිකුත් කළේය.

ඒ නිවේදනයට තායිලන්ත මාධ්‍ය වලත් විශාල ප්‍රචාරයක් ලබා දී තිබිණි.

ඩේවිඩ් කැමරන් ලංකාවට පැමිණි විට ආරක්ෂාව සපයන්න රනිල් දුන් උපදෙස

කොළඹ පැමිණි රනිල් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමග හමුවකට සහභාගී විය.

එහිදී රනිල් පළමුවෙන්ම තමා ජනපති සමයේ විදේශ නායකයන්ට ආරක්ෂාව දුන් අවස්ථාවක් ගැන කරුණක් පැහැදිලි කළේය.

" බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මා ජනාධිපති ධුරය දරන අවස්ථාවේදී ලංකාවේ දකුණු වෙරළ තීරයට පෞද්ගලික සංචාරයකට පැමිණෙන බව දැනගන්න ලැබුණා. ඔහු කිසිම ආරක්‍ෂාවක් ඉල්ලා නොතිබුනත් මම ඔහුට නොදැනෙන්න සිවිල් ඇඳුමින් ආරක්ෂකයන් යොදවන ලෙස උපදෙස් දුන්නා.

රටින් පිටවෙන්න කලින් කැමරන් මට ස්තුති කළා." ඔබතුමා මේ මටත් නොදැනෙන්න ආරක්ෂාව දෙන්න උත්සාහ ගෙන තිබුණා. නමුත් මට ඒ බව දැනගන්න ලැබුණා. ඒක මම ඉතාමත්ම ඉහළින් අගය කරනවා කියලා කැමරන් මට පැවසුවා. රාජ්‍ය නායකයන් ලංකාව එන විට සම්ප්‍රදායක් විදියට එදා සිටම ඔවුන්ට ආරක්ෂාවක් දුන්නා." රනිල් පැවසීය.

 

රනිල්, ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ දේශපාලන සාකච්ඡාවක්

අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ දේශපාලන කතාබහ අරඹමින් රනිල් කීවේ ගම් මට්ටමින්, පන්සල් කේන්ද්‍ර කර ගනිමින් සංවිධාන ජාල හදන්නට පටන් ගත යුතු බවයි.

මෙහිදී අදහස් දක්වමින් ජී.එල් පැවසූයේ Online Safety Bill භයානක එකක් බවයි. මාධ්‍ය ආයතනවලට එයින් මරු පහරක් එල්ල වෙන බවද ජී.එල් කීය.

මහින්ද අමරවීර හිටපු ඇමතිවරයා සඳහන් කළේ රටේ හැම ප්‍රදේශයකම වගේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගමන ගැන උනන්දුවක් ඇති වී තියෙන බවයි. ආණ්ඩුවේ ගමන ගැන ජනතාවගේ යම් බිය මුසු චකිතයක් තිබෙන බවද අමරවීර කීය.

"වරාය නගරයෙන් චයිනා මර්චන් චීන සමාගම ඉවත් වෙමින් යනවා. ඇමරිකාව නම් ඒකට කැමති වෙයි. මේක ඉස්සරහට යනකොට චීනුන් සම්පූර්ණයෙන්ම වරාය නගරයෙන් ඉවත් වෙයි. මේ යන විදිහට පිටින් ඇවිල්ලා කවුරුත් අපිට උදව් කරයි කියලා හිතන්න එපා. අපි ගම් මට්ටමින් ආගමික කමිටු හදලා පන්සල් කේන්ද්‍රස්ථාන කරලා අපේ වැඩපිළිවෙළ සකස් කරමු"රනිල් පැවසීය.

ප්‍රසන්න රණතුංග මෙහිදී පැවසුවේ ඉස්සෙල්ලා ජනතාව අතර තියෙන බය අරින්න පක්ෂ වල ඉහළ අය අතර එකමුතුවක් තියෙනවා යැයි පෙන්විය යුතු බවයි.

"ලබන සතියේ ඉඳන්ම පක්ෂ නායකයන් එක්ක කතා ආරම්භ කරන්න මම හිතාගෙන ඉන්නේ" යැයි රනිල් කීය.

 

පාඨලීගෙන් දේශපාලන විග්‍රහයක් සහ නුවර පා ගමන

පාඨලී චම්පික අදහස් දක්වමින් පැවසූයේ ආණ්ඩුවේ හොරු අල්ලන සටන් පාඨයේ හුළං දැනටමත් හොඳටම බැස තිබෙන බවයි. "ජනාධිපතිවරයාගේ කතාවට "හා හා පෝස්ට්" 1,60,000ක් තිබ්බා. ලයික් තිබුනේ 12,000යි.අපි දේශපාලඥයෝ හැටියට සම්බන්ධ වෙන්නේ නැතුව සිටිය යුතු අවස්ථා තියෙනවා. සමහර දේශපාලඥයන් නුවර පා ගමනටත් සම්බන්ධ වීම අවාසියක් වුණා.

ඒ වගේ අවස්ථාවලට යන්නේ නැතුව පැත්තකට වෙලා මේ අයට සංවිධානය වෙන්න ඉඩ දෙමු " පාඨලී තම අදහස ගෙන හැර දැක්වීය.

අදාල පා ගමන සඳහා කෑගල්ලේදී මෙන්ම ගම්ප හ දී සමගි ජන බලවේගයෙන් ලොකු සහයක් දී තිබුණත් කොළඹින් සජබෙන් කිසිම සහයක් නොලැබුණු බව මෙහිදී සාකච්ඡා විය.

භික්ෂූන් වහන්සේලාගේ පා ගමනින් පසු ඇති වූ තත්ත්වය නිසා ආණ්ඩුව කැළඹීමට පත්ව සිටින බවත් දේශපාලකයන්ටවත් එය කරගන්නට නොහැකි වූ බවත් මෙහිදි කථිකාවට ලක් විය.

 

“ආගමික නායකයින් සමග කරන සාකච්ඡාවලට මා මාධ්‍ය කැඳෙව්වේ නැහැ”

මේ අතර සති අන්තයේදී රනිල් සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන් සහ අනුනාහිමියන් අතර හමුවක් ද පැවැත්විණි.

කෝට්ටේ පාර්ශවයේ මහනායක හිමියන් සහ අනුනායක හිමියන් අතර පැවැත්වෙන හමු සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් දිනිත් චින්තක කරුණාරත්නට කීවේ මා සිතා සිටින්නේ කිසිම මාධ්‍යයකට මේ අවස්ථා විවෘත නොකරන්නයි. බලය තිබෙනකොටත් ආගමික නායකයින් සමග කරන සාකච්ඡාවලට මා මාධ්‍ය කැඳෙව්වේ නැහැ. මහනායක හිමිවරුන් තමන්ගේ ආගමික වැඩකටයුතු අවශ්‍ය ආකාරයට කරාවී. දේශපාලනඥයන් විදිහට අප අපේ වැඩේ කරමු. රනිල් වැඩිදුරටත් දිනිත්ට කීවේය.

 

ථෙරවාද බුදුදහමේ ඉතිහාසය ගැන රනිල්ගේ දේශනය

ථෙරවාදී සම්ප්‍රදාය සම්බන්ධයෙන් රනිල් පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශයක් කළේ ඔවුන්ගේ ද ඉල්ලීමකට අනුවයි.

සර්, මිහින්තලේ කරපු කතාව ගැන සමාජයේ ලොකු ප්‍රසාදයක් තියෙන්නේ. ඇත්තෙන්ම අපටත් ඒ ගැන අවබෝධයක් ගන්නන උවමනයි. පක්ෂ නායකයෝ කීහ.

"ථෙරවාද බුදු දහමේ ආරම්භය සිදුවන්නේ තුන් වැනි ධර්ම සංඝායනාවෙන් පසුව. මහා විහාරය ඇති කළ පසු මහා විහාරවාසී සංඝරත්නය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. විනය පිටකයේ අයිතිය ඇත්තේ මහා විහාරයට. විනය පිටකයේ තිබෙන ආකාරයට වර්තමානයේ භික්ෂූන් වහන්සේ ක්‍රියා කළ යුතුයි.

බාගල් (BAGAL) රාජධානියට විනය පිටකය හඳුන්වා දෙනු ලබන්නේ විජයබාහු රජතුමා. මියන්මාරයේ පැතිර තිබෙන රාමඤ්ඤ සහ අමරපුර නිකාය වලටත් පැතිර ගියේ මේ විනය පිටකයමයි.

තවද ත්‍රිපිටකය තායිලන්ත සුඛතායි රාජධානියටත්, එතැනින් තායිලන්තයේ අගනුවර වු අයුක්තියට පැමිණියා. ශ්‍රී ලාංකේය ස්වාමීන් වහන්සේලා නැවත උපසම්පදාව ලබා ගන්නෙත් අයුත්ථයාවෙන්. මේ හරහා නිකාය ගණනාවක් ඇති විණ. ඒ සමගම නිකාය පාර්ශ්ව බිහි වුණා.ඒ කාලයේ සිටියේ ස්වාමීන් වහන්සේලා ස්වල්පයයි.

 

මොහොමඩ් නෂීඩ්ගේ මැදිහත්වීම සහ මල්පාරේ හෙළිදරව්ව

සතියේ දිනක මල්පාර දේශපාලන කාර්යාලයට පැමිණි පැවැති රජයන්වල ඉහළම පරිපාලන තනතුරු හෙඹවූ නිලධාරීන් අපූරු තොරතුරක් රනිල් හමුවේ අනාවරණය කර සිටියේය.

"සර්, සෞදියේදී මරණයට නියම වෙලා සිටි අනෝජන් බේරා ගැනීමට මේ රජයේ කිසිඳු මැදිහත් වීමක් බලපෑවේ නැහැ. මේ වැඩේ කළේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්. ඔහු සෞදි රජතුමාගේ හොඳ මිත්‍රයෙක්. නෂීඩ්ගේ ඉල්ලීමට අනුව සෞදි රජතුමා අනෝජන්ට සමාව දෙන්න එරට අභියාචනාධිකරණයට දැනුම් දෙනකොට අපේ රටෙන් ගිය නියෝජිතයන් සිටියේ ගුවන් යානයේ. ඒ තුන් දෙනා සෞදියට ගොඩ බහිනකොට සියලු වැඩ කෙරිලා අවසානයි."

මේ කතාව ඇසු රනිල් නළල රැළි කරගනිමින් බලා සිටියේ පුදුම ආණ්ඩුවක් තමයි පවසමිනි.

 

ඥානසාර හිමිගේ සමාව සහ ජී.එල්.ගේ ස්ථාවරය

ඒකාබද්ධ විපක්ෂයේ නායක හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස් පැවසූයේ ඥානසාර හිමියන්ට සමාව දීම ජනවරමට පටහැනි බවට ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කය පිළිගත හැකි එකක් නොවන බවයි.

” නඩු විභාගයකින් අනතුරුව දඬුවමක් දීම සඳහා උසාවිය අනුගමනය කරන කරුණු තියෙනවා. ජනපති සමාව දීම සඳහා අනුගමනය කරන කරුණු ඊට හාත්පසින් වෙනස්. සමාව දීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තිබෙනවා. ජනාධිපතිවරයාගේ තර්කය අනුව කිසි විටෙක සමාව දෙන්න බැරිද? ව්‍යවස්ථාවේ එවැනි බලයක් තිබෙන්නේ එයින් යම් ප්‍රයෝජනවත් අරමුණක් ඉටුවන නිසයි.

ඒ වගේම මුල ඉඳන්ම ඥානසාර හිමියන්ට සමාව දීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියා පිළිවෙත බෞද්ධ සමාජයට හිත රිදෙන එකක්. බුදු දහම සහ සංස්කෘතිය එකට ගැටගැහී තිබෙන දෙයක්.රාජ්‍ය බුද්ධ ශාසනයෙන් ඈත් කිරීම කිසිසේත් අපේ ජනතාව පිළිගන්නේ නැහැ.ඒ තුළින් බෞද්ධ සමාජයේ ලොකු කලකිරීමක් ඇතිවෙලා"

 

"සත පහක් අරන් නෑ" - අල්ලස් කොමිසම හමුවේ ජී. එල්. කියයි

ඉකුත් සතියේ ජී.එල් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ගියේය. ඒ කොමිසමේ කැඳවීමකට අනුවයි. එහිදී කොමිසම සඳහන් කර ඇත්තේ ඔහුට කිසිදු චෝදනාවක් නැති බවයි.

" මගේ කාර්යභාරය වුනේ විදේශ ඇමතිවරයා හැටියට. විදේශ ඇමතිවරයාට අයත් එක කාර්යයක් වන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමයි. 2010 වන විට ආයෝජන පිළිබඳ තත්ත්වය ඉතා දුර්වලයි.යුද්ධය අවසන් වෙලා මාස කීපයයි. රජයේ සුබදායී ප්‍රතිචාරය තිබෙනවා නම් රටට එන්න කැමති බව ෂ්‍රැංගිලා හෝටලය පැවසූයේ ඒ වකවානුවේදීයි. මෙය රටට අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

මහා බ්‍රිතාන්‍යයේ, පළවෙනි ගණයේ විශ්වවිද්‍යාලයක ඉතාමත් ඉහළ තනතුරක් දැරීමට මට අවස්ථා තිබුණා. මම ඒක කළේ නැහැ, මට ඕනේ වුණේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නීති අධ්‍යාපනය ලබා දෙන්න, එතකොට පරම්පරා දෙකකට මම ඒ නීති අධ්‍යාපනය සපයා දුන්නා, විදේශ විනිමය ඕන තරම් මට හොයන්න තිබුණා, හරි ඒ ගැන මම කිසිම උනන්දුවක් දැක්වුවේ නැහැ.

ඒ හින්දා සල්ලි පස්සේ මම කවදාවත් ගියේ නැහැ, අපේ පවුල පරම්පරා ගණනක් මේ රටට විවිධ දේවල් පරිත්‍යාග කරලා තියෙනවා, විශාඛා විද්‍යාලය හැදුවේ කවුද? ශ්‍රීපාලි විද්‍යාලය හැදුවේ කවුද?

ඒවා අපේ පරම්පරාවේ මුතුන් මිත්තන් කරපු දේවල්, අපි මේ රටට දේවල් දුන්නා මිසක් සත පහක් මේ රටෙන් අරන් නැහැ" යනුවෙන් ජී.එල් කොමිසම හමුවේ ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න