අවුරුදු දහයකට සැරයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට දියවඩන නිලමේ පත් වන්නේ 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පණත අනුව ය.
සබරගම මහ සමන් දේවාලයේ මෙන්ම රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස සිටිය දී ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ 19 දියවඩන නිලමේ ලෙස 2005 දී පත්වන්නේ ය. ඒ, ඔහුගේ පියා වන ඩික්සන් සරච්චන්ද්‍ර දෑල ගේ එකම අභිප්‍රාය වූ තම පුතා එක වරක් හෝ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ කරලීමේ අවශ්‍යතාව මත ය.
ගල උඩ සටන
2005 දී පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව නිලංග දෑලට එරෙහිව ජනාධිපතිවරියගේ සමීප ඥාතියකු වන එවකට මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධුරය දැරූ මොහන් පානබොක්ක දියවඩන නිලමේ තරගයට ඉදිරිපත් කරලී ය. එතැන් සිට එය ගල උඩ සටනක් බවට පත්ව විය. එවකට ආණ්ඩුව විසින් මහාචාර්ය මහනාම දිසානායක මගින් ලබාගත් සමීක්ෂණ වාර්තාවක් අනුව ද බුද්ධි අංශ විසින් ලබාදුන් වාර්තා අනුව ද නිලංග දෑලට මෙහි පෙනෙන තෙක් මානයක නොවී ය.
ඒ තත්ත්වය පසුව වෙනස්වූ බවව දැනගත් චන්ද්‍රිකා ආණ්ඩුව ඔහු තරගයට එම වැළැක්වීමට විවිධ ආකාරයේ කුමන්ත්‍රණ දියත් කරන්නට විය. ඒ අතර ජනාධිපතිවරිය විසින් සුනාමි සහන මණ්ඩලයේ සාකච්ඡාවලට මුවාවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් ගෙන්වා නිලංග දෑලට ඡන්දය නොදෙන ලෙස දැන් වූ බවද වාර්තා විය.
නිලංග දෑල ගේ පළමු ජයග්‍රහණය
එම කාල සීමාව තුළ මහනුවර ප්‍රකට මහවැලි රීච් හෝටලය මෝහන් පානබොක්ක පවුලට අයත් වූ අතර දියවඩන නිලමේ තරගයේ සියලු සැලසුම් එහි සකස් කරන්නට විය. මහනුවර ප්‍රභූන් බොහොමයක් මෝහන් පානබොක්ක දියවඩන නිලමේ කිරීමේ තරගය සමග අත්වැල් බැඳගෙන සිටි අතර රත්නපුරේ දෑල සිට පැමිණි නිලංග දෑලට නුවර පිරිස නැති තරම් විය. ඔහුට සිටි පුද්ගලයින් අතර සූරියගොඩ හාමුදුරුවෝ, කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ හිටපු විදුහල්පති සේනානි හේවගේ, කෝසල රත්නායක, එවකට ගඩලාදෙණිය විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ආනන්ද හීන්කෙන්ද ආදී කීප දෙනෙක් විය.
නමුදු, නිලංග දෑල 2005 ජූලි 01 දින මහනුවර දී පැවැති දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී ඡන්ද 199 ක් ලබාගෙන ජයග්‍රහණය කළ අතර එහි දී ඊට පෙර දියවඩන නිලමේ ධූරය දැරූ නෙරන්ජන් විජේරත්නට ඡන්ද 44 ක් හිමි වූ අතර ජනාධිපතිවරියගේ ඥාති සහෝදරයා වූ මොහාන් පානබොක්ක ඡන්ද 42 ක් හිමි විය. තව ද දියවඩන නිලමේ වෙනවාමයි වහසි බස් දෙඩූ සුදන්ත සේනායක ඡන්ද 4කි. ඔහුගේ පියා වන මහින්ද සේනානායක 1995 වසරේ දී නෙරන්ජන් විජයරත්න හමුවේ පරාජයට පත් වූයේ ඡන්ද 66ක් ගනිමින්ය.
තම පවුලට දියවඩන නිලමේ ධූරය ලබා ගැනීමට නොහැකි වීම නිසා නිලංග දෑලට එරෙහිව විවිධ අපවාද මෙන්ම ගොතන ලද චෝදනා සුදන්ත සේනානායක විසින් මෙහෙයවන ලද අතර ඒවා අසත්‍ය බව දැන දැන ම ඔහු ගත් සමහර අධිකරණ ක්‍රියාමාර්ග ඔහුට ම පාරා වලල්ලක් වී වන්දි සහ නඩු ගාස්තු ද ගෙවීමට සිදුවිය. නිර්මාණය කර නිලංග දෑල වෙත එල්ල කරන ලද චෝදනා බොහොමයකට ඔහු විසින් අධිකරණය ක්‍රියාමාර්ග ගත් අතර ඒ සඳහා නිසි සාධාරණයක් ඔහු වෙත ලබාදීමට අධිකරණ ධුරාවලිය ක්‍රියාකර තිබුණි.
දෙවැනි වර තරග කිරීම
සිය පළමු ධුර කාලය තුළ නිලංග දෑලට නිර්මාණය කරන ලද දූෂණ චෝදනා රැසක් ම පළ විය. බොහෝ දෙනා ඒ පිළිබඳව සැක සංකා සහිතව සිටියත් ඒ පිළිබඳ නිලංග දෑල බිය නොවී ය. 2015 සැප්තැම්බර් 8වන දින පැවති දියවඩන නිලමේ ඡන්ද විමසීමට ඉදිරිපත් වෙන්නට නිලංග දෑල තීරණය කළේ කීපදෙනකු විසින් එල්ල කරන ලද අසත්‍ය චෝදනා වලට නිර්දෝෂ වීමට අවශ්‍ය නිසා බව ඔහු මෙම ලියුම්කරු සමග පැවසුවේ ය.
එවකට පැවැති යහපාලන ආණ්ඩුව නිලංග දෑලට දියවඩන නිලමේ ධුරයට තරග කිරීමට එපා යැයි බලපෑම් කළ ද ඔහු එය ගණන් ගෙන තිබුණේ නැත. ඔහු ඡන්දයට ඉදිරිපත් විය; ඔහු, එම ඡන්ද විමසීමේ දී ඡන්ද 205 ක් ලබාගෙන ජයග්‍රාහකයා විය. ඔහුව පරද්දන්නට යහපාලන ආණ්ඩුව විසින් ගෙන එන ලද හිටපු දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්නට ඡන්ද 31ක් හිමි වූ අතර එවකට මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ වූ ගයාන් හීන්කෙන්දට ඡන්ද 53ක් හිමි විය.එවර ද සියලු කුමන්ත්‍රණ පරාජයට පත් කරමින් මල්වතු- අස්ගිරි මහා නායක හාමුදුරුවරුන් ගේ ද ආශිර්වාදය ඇතුව නිලංග දෑලට ජයග්‍රහණය කිරීමට හැකි විය.
FCID පරීක්ෂණ
යහපාලන ආණ්ඩුවේ කීම අහන්නේ නැතුව ඡන්දයට ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක් ලෙස නිලංග දෑලට FCID පරීක්ෂණ එක පිට එක වැටෙන්නට විය. නිලංග දෑල හොරෙකු ලෙස සමාජගත කිරීමටත්, ඔහු නුවර අයකු නොවන බවත් ඒ නිසාම දියවඩන නිලමේ විය යුත්තේ නුවර කෙනෙක් යැයි කියමින් සමහරුන් ප්‍රචාරණ ව්‍යාපෘති දිගින් දිගට ම ක්‍රියාත්මක කළේය. මොහුගේ නිවැරදිභාවයත්, වැඩ කිරීමේ හැකියාවක් ඉතා හොඳින් හඳුනාගත් මල්වතු - අස්ගිරි විහාර දෙක නිරන්තරයෙන් නිලංග දෑල සමග විය.
නිලංග දෑලගේ දෙවෙනි දූර කාලය අවසන් වීමට වසර 2කට පමණ පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පෙර චෝදනා ම විවිධ දවටනවල ඔතමින් එළියට දමන්නට විය. එය 2025 මුල් කාලයේ දී ඉතා වේගවත්ව කළ අතර එයට ප්‍රතිචාර ලෙස ඒ සියල්ලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිලඟ දෑල පසුබට නොවී ය. එහි ප්‍රතිඵලයක් ලෙස අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින් 23 දෙනකුට පමණ අධිකරණය විසින් වාරණ නියෝග, අතුරු තහනම් නියෝග මෙන්ම රිට් ආඥා ද යනාදිය නිකුත් කරන ලදී.
මෙවර තරඟයට එන්නේ කවුද?
නිලංග දෑල ගේ දෙවැනි ධු කාලය අවසන් වෙනකම්ම දියවඩන නිලමේ ධුරයට සුදුසු පුද්ගලයකු සොයා ගැනීම මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ට වගේම විහාර දෙකේ හාමුදුරුවරුන්ට ද ගැටලුවක්ව පැවතුණි. ඒ නිසාම නිලංග දෑලට දියවඩන තරගයට පැමිණීමට මුල්ම ආරාධනාව ආවේ මල්වතු අස්ගිරි විහාර දෙකෙන් ම ය. පවතින රජය ද නිලංග දෑලට පවතින චෝදනා පිළිබඳ තක්සේරුවක යෙදුණහ. ඒ චෝදනාවල ගත හැකි කිසි දෙයක් නොමැති බව නීති අංශ තහවුරු කිරීමෙන් පසුව ආණ්ඩුවේ පෙර ස්ථාවරය වෙනස් විය.

නිලංග දෑල සල්ලි දීල දිනනවා යැයි සමාජගත වූ කාරණාවෙහි සැබෑ තත්ත්වය සොයා බැලීමට අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ වර්තමාන ආධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක විශේෂ වැඩපිළිවෙලක් යොදවා තිබුණු බව මෙම ලියුම්කරු දන්නා කරුණකි. එවැනි අල්ලස් දීමක් අසු වූ විට නිලංග දෑල කෙළින් ම තරඟයෙන් ඉවත් කළ හැකි බව අදහස විය.
එසේම විවිධ අපේක්ෂකයින් මෙම තරගයට ඉදිරිපත් වන බව ප්‍රකාශ වූ අතර ඉන් මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ සරත් බණ්ඩාරනායක තමා ආණ්ඩුවේ අපේක්ෂකයා යැයි ප්‍රකාශ කරමින් දියවඩන නිලමේ තරගයට එන බව කීවේ ය. ඔහුගේ එම අපේක්ෂාව වූයේ මල්වතු මහ නායක හාමුදුරුවන් සමග පැවති ඥාතිත්වය උලුප්පා වැඩ බලන දියවඩන නිලමේ ධූරයට පත්වීම ය. තවද මෙම තරගය සඳහා මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ එන බව ප්‍රකාශ වුව ද පවතින දේශපාලන වාතාවරණය යටතේ ඒ සඳහා ඉදිරිපත්වීමට ඔහු අකමැතිි විය. ඒ තැන මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවන ලබා ගැනීම සැලසුම විය.
දළදා මාලිගාවේ වැඩ බැලීම
2025 සැප්තැම්බර් ... දින නිලංග දෑලගේ අවුරුදු 20ක දියවඩන නිලමේ ධුරයේ නිල කාලය අවසන් විය. දැන් වැඩ බලන දියවඩන නිලමේ ධුරයට කෙනෙකු පනතට අනුව පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට පැවරෙන වගකීමක් විය. එය එසේ වුවත්, මල්වතු - අස්ගිරි මහ නායක හාමුදුරුවන් ඒ සඳහා කරන නිර්දේශය සලකා බැලීමට ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ට අනිවාර්යයෙන් සිදුවේ.
මෙහි දී පළමු යෝජනාව වූයේ, සතර දේවාල බස්නායක නිලමේ කෙනකු ඒ සඳහා පත් කිරීමට ය. නමුදු, මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවන්ගේ නිර්දේශ වූයේ මේ සඳහා පළපුරුදු මස් මාංසයෙන් සුරා සූදුවෙන් තොර නිලංග දෑල ම වැඩ බලන දියවඩන නිලමේ විදිහට පත්කිරීමට ය. මේ කටයුතු සියල්ල ම සිදු වූයේ රහසිගතව ය. ඒ අනුව අදාළ පත්වීම් ලිපිය සැප්තැම්බර් 4 දින නිකුත් කිරීම සිදු කරන බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් වෙත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබුණි.

මේ බව දැනගත් අටවාගත් රාජ්‍ය නොවන සංවිධාන වල සිවිල් ක්‍රියාකාරිකයින් යැයි හඳුනා ගත් කුඩා කණ්ඩායමක් නිලංග දෑලට දළදා මාලිගාවේ වැඩ බැලීමට නොදෙන ලෙස ඉල්ලා විරෝධතාවක් කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපස සංවිධානය කර තිබුණි. ඒ අතර ම වැඩ බලන පත්වීම අත්හිටුවිම සඳහා අභියාචනාධිකරණය විසින් පෙත්සමක් සලකා බලන බව ද වාර්තා විය. ඒ නිසාම නිලංග දෑලට වැඩ බැලීමේ පත්වීම් ලිපිය එදින උදෑසන ලබා ගැනීමට නොහැකි විය. ඒ අතර අභියාචනාධිකරණය විසින් නිලංග දෑලගේ වැඩ බලන පත්වීම අත්හිටුවා ඇතැයි දූශමාන ආරංචි පතුරුවන්නට විය.
ඒ අතරතුර එදින සවස හතරට සිය දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් විසින් නිලංග දෑලට දන්වන ලදුව ඒ වෙත එක් ආරක්ෂකයෙකු සමග සිය පෞද්ගලික වාහනයකින් පිටත් විය. කාර්යාල වේලාව අවසන් වන තෙක් රැඳී සිටි විරෝධතා කරුවන් පස් දෙනා ඉවත්ව ගොස් තිබූ අතර වැඩ බැලීමේ පත්වීම ඔහු වෙත ලැබුණේ සවස 4.45 ට පමණ ය.
මෙදිනම වැඩ බලන පත්වීම් ලිපිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වූයේ පසුදින රජයේ නිවාඩු දවසක් වීමත් ඊට පසුව සෙනසුරාදා හා ඉරිදා දින එළඹීම නිසා නිලංග දෑල දියවඩන නිලමේ ධුරයේ නිල කාලය සැප්තැම්බර් 07 දින අවසන් වන නිසා ය. නිලංග දෑල සිය වැඩ බලන පත්වීම් ලිපිය රැගෙන කෙළින්ම ගියේ බත්තරමුල්ල කොස් වත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙතය. එදිනම රාත්‍රියේ මහනුවරට පැමිණි ඔහු පසු දින උදෑසන මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවන් වහන්සේලා හමු විය.
ඡන්ද ගන්න රට වටේ ම ගිය ගමන
ඔහුගේ ඡන්ද දායකයින් වන ගරුතර මහා සංඝරත්නය බැහැදැකීමටත්, බස්නායක නිලමේවරු/ප්‍රාදේශීය ලේකම්වරු මෙන් ම ගිහි භාරකාරවරු හමුවීමටත් සැලසුම් සකස් කළේ ය. මේ සෑම හමුවීමක දී ම බුලත් හුරුල්ලක් පිළිගන්වා තමා එළැඹෙන දියවඩන නිලමේවරණයට ඉල්ලන බව නිහතමානීව ප්‍රකාශ කළේ ය. පැරණි උඩරට රාජධානියට අයත් දිස්ත්‍රික්ක 16 ක විසිරි සිටින ඡන්ද දායකයින් තමා විසින් ම හමුවීමේ අවශ්‍යතාව ප්‍රගුණ කර තිබූ නිලංග දෑල සමස්ත ඡන්දදායකයින් 267 හමුවීම සඳහා එක වටයක් තුළ වෙහෙස මහන්සිය නොබලා 12880 ක් පමණ ගමන් කිරීමට සිදු විය. ඔහු ඡන්දයට සතියකට පෙර එවැනි ගමන් වාර 4ක් සම්පූර්ණ කළ තිබූ අතර සිය ජයග්‍රහණය සහතික බව ද මෙම ලියුම්කරු සමග පවසා සිටියේ ය.
නිලංග දෑල තමන්ගේ ඡන්ද සටන කල් ඇතුව එලෙස අවසන් කළ ද දමින්ද උඩුරාවණ සහ එස්. බණ්ඩාරනායක බස්නායක නිලමේවරු රාත්‍රී 10 පසුව ද හාමුදුරුවරු බැහැදකිමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ගෙවල්වලට යමින් ජයග්‍රහණය අත්පත් කර ගැනීමට වෙහෙස මහන්සි වූහ. විශේෂයෙන් ම දමින්ද උඩුරාවන බස්නායක නිලමේ ඡන්දය පැවැත්වූ දින උදෑසන මෙන්ම පෙර දින රාත්‍රියේ මහියංගනය සහ බදුල්ල ප්‍රදේශවල ඡන්ද දායකයින් හමුවීම සඳහා රැඳී සිටීම ද විශේෂත්වයකි.
ඡන්දය දිනට පෙර දින (නොවැම්බර් 6) දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි දියවඩන නිලමේ නිල නිවස වෙත කොළඹ නාලන්ද විද්‍යාලයේ සිය මිතුරන් මෙන්ම රත්නපුරේ ඔහුගේ හිතවතුන් ද පවුලේ ඥාතීන් මෙන්ම මහනුවර පිරිස් ද බස්නායක නිලමේවරුන් ඇතුළු විශාල පිරිසක් රැඳී සිටියහ.

ආරක්ෂාව පතා සැඟව...
ඒ සැම දෙනා සමග ම ඉතා සුහදශීලීව කතාබස් කරමින් රාත්‍රී ආහාරය ගත් ඔහු එතනින් පිටත්ව වෙනත් ආරක්ෂිත ස්ථානයක් කරා යෑමට තීරණය කර තිබුණි. ඒ පෙර දිනයේදී සිදු කළ ආරක්ෂක සැලසුම්වලට අනුව ය. ඔහු, එම ගමන පිළිබඳව දැනුවත් කර තිබුණේ සිය බිරිඳ ව පමණි. එලෙස ම තමා සමග යෑමට වසර 20කට වැඩි කාලයක් ආරක්ෂාව සැපයූ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරි දෙදෙනා ගෙන් එක් අයෙකු සමග සාමාන්‍ය කාර් රථයක නැගී සිය නිල නිවසින් පිටත්වූයේ රාත්‍රිය මහනුවරට ආසන්න ස්ථානයක දී ගත කිරීමට ය.
පසුදින අලුයම අවදිව බුදුන් වැඳ තමා සිටින තැනින් වෙනත් ස්ථානයකට මාරු වූ අතර අදාළ ස්ථානයේ අවම පහසුකම් පවා නොමැතිව පැය ගණනාවක් රැඳී සිටීමට සිදු විය. ඔහු ඒ කාලය තුළ පසු දින සිය ඡන්ද දායකයින් වෙත යැවීමට සකස් කර තිබූ ස්තුතිය පුද කරමින් සැකසූ ලිපි 263කට අත්සන් තැබුවේ සිනාමුසු මුහුණෙන් ය.
තව ද ඔහු ළඟ තිබූ සැටලයිට් දුරකතන අංකය මගින් දළදා මාලිගාවේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අමතා "OiC මහත්තයා, කවුරු දිනුවත් කමක් නැහැ... කාටවත් රතිඤ්ඤා කරලක්වත් පත්තු කරන්න, කලබල කරන්නවත් ඉඩ දෙන්න එපා," යැයි පැවසී ය.
ජයග්‍රහණය කිරීමෙන් පසුව දළදා මාලිගාවට යෑම සඳහා කාර් එක ලෑස්ති කරලා තියෙනවා යැයි ආරක්ෂක නිලධාරි විසින් පැවසූ විට "පිස්සුද මට පයින් යන්න පුළුවන්... මම යන්නේ දළදා හාමුදුරුවෝ වඳින්න," යැයි පැවසී ය.
සටන ඇරඹෙයි
එදින උදෑසන වගේ ම දහවල සඳහා ද ඔහු කුඩා කාලයේ සිට දිගට ම අනුගමනය කර පරිදි නිර්මාශ ආහාර ලබා ගැනීම සිදුකළ අතර එම ස්ථානයෙහි ගත කළ පැය 7කට ආසන්න කාලසීමාව තුළ ඉතා නිදහසේ වගේම සිනා සෙමින් කල් ගෙවී ය. ඡන්ද මධ්‍යස්ථානයට යෑමට පෙර බුදුන් වැඳීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා ආරක්ෂක නිලධාරීන් විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබී ය.
හරියටම පස්වරු 1.39ට දියවඩන නිලමේවරණය පැවති මහනුවර එක්සත් බෞද්ධ බලමණ්ඩල ශාලාව වෙත කිසිවකුට නොදැනෙන පරිදි ඇතුළු වීමට පැමිණි අතර, ඒ වන විටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කාලිංග ඉන්ද්‍රතිස්ස, නවීන් මාරපන, කුවේර ද සොයිසා ප්‍රමුඛ කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ නන්ද ගුණරත්න, අනුර චන්ද්‍රසිරි, පියුම් පෙරේරා, ජෙරාඩ් නිල්ගිරි, පිටිදූව හේමන්ත, සම්පත් හේවාපතිරණ ආදී නීතිඥ මණ්ඩලයක් ශාලාව තුළ රැඳී සිටියහ. පොලිසිය විසින් වෙනත් ප්‍රවේශයකින් ශාලාව තුළට නිලංග දෑලව ගෙනියන්න උත්සාහ ගත්ත ද වෙනත් අපේක්ෂකයින් ඇතුළු වූ පරිදි කටයුතු කිරීමට ඔහු වග බලා ගත්තේ ය.
පස්වරු 2.20 ට පමණ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිල වර්ණයේ කටයුතු ආරම්භ කරන ලදී. අපේක්ෂකයින් නම් කරන අවස්ථාවේ දී සිරිපාදේ නායක හාමුදුරුවෝ විසින් නිලංග දෑලගේ නම යෝජනා කළ අතර ඒ අනුව ඔහුට ඡන්දය පාවිච්චි කිරීමේ දී අංක 01 හිමි වූ අතර මහනුවර කතරගම දේවාලයේ බස්නායක දමින්ද උඩුරාවනට අංක 02 හිමි වූ අතර අංක 3ට යෝජනා වූයේ එස් බණ්ඩාරනායක මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ය. ඉතිරි අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිලක් සුභසිංහ, ගාමිණී කළුහෙන්දිවල, රොෂාන් ප්‍රියදර්ශන, නන්ද මඩුගල්ලේ යන අපේක්ෂකයින්ගේ නම් යෝජනා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවී ය.
මෙහි විශේෂත්වය වනුයේ රජය විසින් තමාව අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කර ඇතැයි ප්‍රකාශ කළ මහාචාර්ය තිලක් සුභසිංහ පසුගිය කාලය පුරා ම NPP ආණ්ඩුව අපහසුතාවයට ලක් කළේ ය. මුල් අවස්ථාවේ දී ජනාධිපතිවරයා ගේ හිතවතකු බව පවසමින් මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ සරත් බණ්ඩාරනායක ද එලස හැසිරුණ ද ඒ තත්ත්වය පසුව වෙනස් විය.
ඒ අනුව, ඡන්දය ලබාදීම සඳහා ඡන්ද දායකයින්ගේ නම් කියවීමේ දී ඡන්ද ප්‍රකාශ කිරීමේ පළමු අවස්ථාව මහා නායක හාමුදුරුවරුන් දෙනම ඇතුළු හාමුදුරුවරුන්ට හිමි වූ අතර දෙවනුව බස්නායක නිලමේවරුන් /ගිහි භාරකාරවරුන් ද තෙවනුව ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ද හිමිවිය.
ජයග්‍රහණය සහ ආශිර්වාද වැස්ස...
දැඩි ආරක්ෂිත රැකවල් යොදා තිබූ මහනුවර එක්සත් බෞද්ධ බල මණ්ඩල ගොඩනැගිල්ල ආසන්නයට විශාල සෙනඟක් රැස්ව සිටියේ දළදා මාලිගාවේ මීළඟ දියවඩන නිලමේ කවුරුන්ද යන වග දැක බලා ගැනීමට ය. සවස 4.45 ට පමණ ඡන්දය ගණන් කිරීම ආරම්භ වූ අතර අංක 01 යටතේ වෙන් කරන ලද ඡන්ද ගොඩ විශාල විය. ඒ අනුව නිලංග දෑල ජයග්‍රහණය කළ බව ශාලාව තුළින් පණිවිඩ ලැබෙන්නට විය.
ටික වේලාවකින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් එක් එක් අපේක්ෂකයින් ලබාගත් ඡන්ද ප්‍රමාණය ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර නිලංග දෑල ඡන්ද 195ක් ද, දමින්ද උඩුරාවන ඡන්ද 50ක් ද, සරත් බණ්ඩාරනායක ඡන්ද 13ක් ද ලබාගෙන තිබුණි. නිලංග දෑලගේ ජයග්‍රහණය ප්‍රකාශ කරනවාත් සමග හොඳින් අව් රශ්මිය තිබූ අහස වෙනස් වීම් විනාඩි පහක් පමණ වැස්ස ඇද හැලෙන්නට විය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ගේ නිවේදනයෙන් පසු ජයග්‍රහණය කළ නිලංග දෑල වෙත ඡන්දදායකයින් ඇමතීමට පළමු අවස්ථාව ලබා දුන්න ද ඔහු එම අවස්ථාව සරත් බණ්ඩාරනායක වෙත ලබා දුන්නේ ය. ඉන් අනතුරුව සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ නිලංග දෑල තෙවැනි වරටත් දළදා හාමුදුරුවන්ගේ ගිහි භාරකාරීත්වයට පත් කළ සියලු දෙනාට ස්තුති කළ අතර තමා සමග දියවඩන නිලමේ වරණයට තරග කළ සියලු අපේක්ෂකයින්ට ද ස්තුති කළේ ය.
සංවේදී දසුනක්...
ඉන් පසුව ශාලාවෙන් පිටතට පැමිණි නිලංග දෑල පැමිණ සිටි මාධ්‍යවේදීන් ජයග්‍රහණය පිළිබඳ ඇසූ විට ඔහු "තමන්ගේ ජයග්‍රහණයට මීට මොහොතකට කලින් ස්වභාව දහම පවා ආශිර්වාද කළ බවත් ඉදිරියේ දී දළදා මාලිගාවෙන් පැවතියටත් වඩා ජන සමාජයට සේවය කිරීමට කැප වෙනවා," යැයි ප්‍රකාශ කළේය.
ඒ අවස්ථාවේදී ඉතා සංවේදී දසුනක් දැක ගැනීමට හැකි වූ අතර ඒ, නිලංග දෑල ගේ පියා වන ඩික්සන් සරච්චන්ද්‍ර දෑල සිය පුතුණුවන්ට ආශිර්වාද කිරීමට රෝද පුටුවෙන් පැමිණ සිටීම ය. එසේම නිලංග දෑල ගේ කුඩා පුතණුවන් සහ දියණිය ද මල් කලබ දෙකක් අතේ තබාගෙන සිය පියා පිළිගැනීමට බලා සිටියහ. ඉන් අනතුරුව එතැන් සිට පයින් ඇවිද දළදා මාලිගාව වෙත ගොස් උඩුමහලේ සිට දළදා හාමුදුරුවෝ වන්දනාමාන කිරීම සිදු කළේ ය.
වැඩිම කාලයක් දියවඩන නිලමේ දරන්නේ නිලංග දෑල
එය අවසානයේ දී නිලංග දෑල බිරිඳ සහ දරු දෙදෙනා සමග මල්වතු මහා නායක හාමුදුරුවෝ බැහැ දැකීමට ගිය අතර, ඔහු නැවත දියවඩන නිලමේ ධුරයට පත්වීම ගැන මහ නායක හාමුදුරුවෝ ආශීර්වාද කළහ. එතනින් නැවතත් අස්ගිරි මහනායක හාමුදුරුවෝ බැහැදැකීමට ගොස් ආශිර්වාද ලබා, නැවත ඔහුගේ නිල නිවස වෙත පැමිණෙන විට දහසකට අධික ප්‍රභූ පිරිසක් ඔහුව පිළිගැනීමට එහි රැස්ව සිටියහ.
ඒ අනුව, 2035 වසර තෙක් තවත් දස වසරක් දළදා හාමුදුරුවන් ගේ ගිහි භාරකාරීත්වය දැරීමට ප්‍රදීප් නිලංග දෑල වාසනාවන්ත විය.
(විශේෂ ලියුම්කරුවකු විසිනි)

