ඩොලරය 310 පනී; ඊළඟට මොකද වෙන්නෙ...?

ඩොලරය 310 පනී; ඊළඟට මොකද වෙන්නෙ...?

2026/1/7 දිනට Central Bank of Sri Lanka විසින් නිකුත් කළ එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු 310.02 ක් ලෙස සඳහන් වූ අතර එදින වෙළඳපළ ගැනුම් මිල 306.2 ක් ලෙසත් විකුණුම් මිල 313.8 ක් ලෙස සඳහන් වුණා .

ඩොලර් ඉල්ලුම වැඩි වුණ හේතුව

මාධ්‍ය අවදානය මේ සදහා යොමුවීම නිසා ගොඩක් දෙනෙක් මේ පිළිබදව විමසන්න යොමු වුණා . අපි විවිධ අවස්ථාවල විවිධ වීඩියෝවලින් මේ පිළිබදව හොඳ පැහැදිලි කිරීම් සිදුකළා ඒවා පහළින් අමුනන්නම්. ගොඩක් දෙනෙක් පටලවා ගත්ත කාරණය තමා සංචිත හා විනිමය අනුපාතික අතර සම්බන්ධතාව; සාමාන්‍යයෙක් ගොඩක් දෙනෙක් අනුමාන කරන්නේ ඩොලර් සංචිත අඩුවෙන කොට විනිමය අනුපාතික වැඩි වෙනවා කියලා . විදේශ සංචිතවල සම්බන්ධතාවක් තිබුනත් එය සෘජු නෑ; වක්‍රව ක්‍රියාත්මක වන්නේ. මූලික කාරණය තමා වෙළදපළ ඩොලර් ඉල්ලුමට අනුව සැපයුම නැති නම් ඩොලර්වල මිල ඉහළ යනවා . ඒක තමා ඕනෑම වෙළඳපළක පොදු න්‍යාය වන්නේ. 2025/ 1/9 වෙනිදා විනිමය අනුපාතිකය පැවතුණේ 296ක අගයක. එය ක්‍රමයෙන් මැයි මාසේ වෙන කොට 300ක අගයකය ආවා . ඔයාලට මතක ඇති ආර්ථික අර්බුදයෙන් පසු නැවත වාහන ගෙන්වීමට ක්‍රමයෙන් 2025 පෙබරවාරි මාසෙ ඉඳන් විවෘත කළා. ඒ සමග වෙළඳපළ තුළ විශාල ඉල්ලුමක් හා උද්‍යෝගයක් ඇති වුණා වාහන ගෙන්වීමට. මේ නිසා ඩොලර් ඉල්ලුම ක්‍රමයෙන් වැඩි උණා. ඒවගේ ම නැවත ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. කර්මාන්ත නැවත ආරම්භ කරනවා. එහෙම වෙද්දි ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා . අපි බලමු එහෙනම් අර්බුද කාලේ සංචිත හිඳිලා ඩොලර් එකත් අහස උසට නැග්ගෙ කොහොමද කියලා .

විනිමය අනුපාතික ඉහළ නොයෑම

2022 මැයි මාසයේ දී විනිමය අනුපාතිකය ඉතිහාසයේ වැඩිම අගය වෙච්ච 364 ඉක්මවා ගියා. හැබැයි අපි වාහන අනයන තහනම් කරලා තිබ්බේ. බඩු ගෙන්න රටේ සල්ලි තිබ්බෙ නෑ. එතකොට කොහොමද ඩොලරයට එච්චර ඉල්ලුමක් ඇති උණේ, අරගලේ නිසා ද? මේ කාලෙ තමා අර්බුදයේ උච්චතම කාලේ. තෙල් නෑ, ගෑස් නෑ, ලයිට් නෑ, බෙහෙත් නෑ, මිනිස්සු පෝලිම්වල මැරිච්ච කාලේ. මේකට මූලික අඩිතාලම වැටුණේ 2019 රජය විසින් ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) 7.00% දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතය (SLFR) 8.00% දක්වා පහත හෙළීම. මේ නිසා ඩොලරයට ඇති ඉල්ලුම වැඩි වෙන්න ගත්තා. මිනිස්සු වැඩිපුර ආනයන කරන්න පටන් ගත්තා. ඒ වගේම රජය සල්ලි අච්චු ගහලා වැඩිපුර පද්ධතියට එකතු කරන්න ගත්තා. මේ සමග කොවිඩ් වසංගතය පැමිණියා; ඒ සමග ආර්ථික සහ නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටියා. පද්ධතිය තුළ රුපියල් ප්‍රමාණය වැඩි වීම නිසා ක්‍රමයෙන් ඩොලරයට ඇති මිල ඉහළ යමින් තිබ්බා. 2020 -21 අතර පොලී අනුපාතික 5% මට්ටම්වල පැවතීම මේ කාරණය උග්‍රකරන්න හේතු වුණා. ඒවගේ ම රජය ඩොලරය රු 200 මට්ටමේ පවත්වා ගන්න රටේ සංචිත දිය කර කර වෙළඳපළට යොමු කරන්න ගත්තා. විනිමය අනුපාතික ඉහළ ගියේ නෑ. ගොඩක් දෙනෙක් උන්ඩියල් හවාලා ක්‍රමයට සල්ලි ගනුදෙනු කරන්න පටන්ගත්තා. බැංකු පද්දතිය තුළ තව තවත් ඩොලර් හිඟ වුණා.

2022 වුණේ මොකක් ද...?

අපි ආනයන කරන්නේ සංචිතවලින් නෙමෙයි; අපිට ලැබෙන ඩොලර්වලින්. අපේ කට්ටිය එවන සල්ලි, සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදල් , සෘජු විදේශ ආයෝජන සහ අපනයන වලින් ලැබෙන ඩොලර් බැංකු පද්දතිය තුළ තියනවා. මහබැංකුව මිලදී නොගත්තොත්, වැඩිපුර ඩොලර් රටට ලැබුනොත්, ඩොලරයේ අගය පහත වැටෙනවා. අඩුවෙන් ලැබිලා ඉල්ලුම වැඩි උනොත් අගය ඉහළ යනවා . ඩොලර් පද්ධතිය තුළ වැඩි වෙන වෙලාවට මහ බැංකුව කරන්නේ ඩොලර් මිලදී ගන්න එක. ඔවුන් ඒකෙන් තමා සංචිත ගොඩනගන්නේ; ඒවලින් තමා ණය (බැදුම්කර) ගෙවන්නේ. ඉතින් පද්ධතියට ඩොලර් එන්නෙ නැති කොට මිල ඉහළ යෑම ස්වාභාවිකයි. ඒ වගේ ම බලෙන් විනිමය අනුපාතික අඩු කරලා තියාගෙන නිදහස් කරාම ඉතා ඉහළ අගයකට එය ගමන් කරනවා. 2022 වුණේ පෙර වැරදිවල ප්‍රතිපලයක්.

වැඩි බරක් දෙන්න වෙන්නෙ මොනවට ද...?

දැන් වර්තමාන තත්ත්වයට එමු. 2025 අගෝස්තු මාසේ වෙනකම්ම රටේ උද්ධමනය පැවතුණේ සෘන අගයකයි. ඒකෙන් යම්තාක් දුරකට පෙන්වන්නේ ආර්ථිකයේ හැකිළීමයි. ක්‍රමයෙන් උද්ධමනය වැඩිවෙලා තියනවා. දැනට 2.1 (CCPI) අගය පවතින උද්ධමන මහබැංකුව අදහස්කරන්නේ 5% මට්ටමක පවත්වාගෙන යෑමයි. වෙළඳපළ විවෘත වෙලා ක්‍රමයෙන් ආර්ථිකය දුවන්න ගන්න කොට ඩොලර් අවශ්‍ය වෙනවා. වාහන ආනයනය වෙනදා මෙන් විවෘතයි. කර්මාන්ත ශාලාවලට අමුද්‍රව්‍ය ගෙන්වීමට අවශ්‍යයි. මේ හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යනවා . අපි දත්ත බැලුවොත් මෙය ක්‍රමිකව වෙලා තියෙන්නේ. එම නිසා මහබැංකුව 2020 -21 වගේ සංචිතවලින් ඩොලර් වෙළඳපළට නිකුත් කරපු බවක් පෙන්න නෑ; එහෙම අවශ්‍යතාවකුත් නෑ. ඉතින් වෙළඳපළ බලවේගයවලට නිදහසේ ක්‍රියාකරන්න ඉඩ දුන්නොත් මෙය ස්ථාවර වේවි. දත්තවලට අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය Overnight Policy Interest Rate ස්ථාවර 7.75 මට්ටමේ පවත්වා ගැනීමට මහ බැංකුව අදහස් කරනවා. එම නිසා කවුරුවත් කලබල විය යුත්තක් නෙමෙයි. ඇත්තට දැන් රටත් ජනතාවත් මාධ්‍යත් මේ ආර්ථික විද්‍යා කරණු මත යම් හෝ අවධානයක් ලබාදීම ඉතා හොඳ දෙයක්. එමගින් ආර්ථිකය මෙහයවන ආයතන සහ රජයට නිරන්තර බලපෑමක් සිද්ධ වෙනවා. ඔවුන් දැන් දන්නවා ජනතාව ආර්ථිකය පිළිබඳ අවධානයෙක් පසුවෙන බව. එම නිසා ඔවුන්ට ආර්ථික කාරණාවලට වැඩි බරක් දෙන්න සිද්ද වෙනවා.

වචන Janath perera

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න