ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම හරහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංචා කිරීමේ චෝදනාවට අදාළ නඩු විභාගය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (03) කැඳවූයේ ය.
එහිදී ඉදිරිපත් වූ ප්‍රධාන සාක්ෂි සහ කරුණු මෙසේ සාරාංශ කළ හැකි ය.
1. ඖෂධ ඇගයීම් කමිටුවේ හදිසි රැස්වීම්
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය පැවති සමයේ මෙරට පැවති දැඩි ඖෂධ හිඟයට පිළියමක් ලෙස, 2023 ජනවාරි මාසයේ දී ඖෂධ ඇගයීම් කමිටුව දෙවරක් රැස්වී හදිසි මිලදී ගැනීම් සඳහා සාකච්ඡා කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා ය.
2. වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්
* එන්නත්වල භාවිතය: හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත රුධිර පට්ටිකා අඩුවීම, ස්නායු රෝග සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන අතර, රිටොක්සිමැබ් (Rituximab) එන්නත පිළිකා රෝගීන් සඳහා භාවිත කරන බව අනාවරණය විය.
* සංකූලතා: ඖෂධයක ගුණාත්මකභාවය පමණක් නොව, රෝගියා ගේ ශරීර ස්වභාවය, මත්පැන් භාවිතය සහ වෙනත් අසාත්මිකතා මත ද සංකූලතා ඇතිවිය හැකි බව සාක්ෂියේ දී සඳහන් විය.
* හදිසි අවස්ථා: මාරාන්තික රෝගියෙකු ගේ ජීවිතය බේරාගැනීම සඳහා ඇතැම් රෙගුලාසි නොසලකා කටයුතු කිරීම නීති විරෝධී නොවන බවත්, ඇතැම් විට රෝගියා දැනුවත් කර කල් ඉකුත් වූ ඖෂධ පවා ලබාදීමට සිදුවන අවස්ථා පවතින බවත් මෙහි දී සාකච්ඡා විය.
3. පරිපාලන සහ නීතිමය ක්‍රියාවලිය
*NMRA කාර්යභාරය: ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ප්‍රසම්පාදන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ නොවන බවත්, එය වෛද්‍ය සැපයුම් ඒකකය (MSD) මගින් සිදුකරන බවත් මහාචාර්යවරිය සඳහන් කළාය.
*දේශපාලන බලපෑම් පිළිබඳ සාක්ෂි: 45 වන සාක්ෂිකරු ලෙස පෙනී සිටි NMRA සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ, 2021 දී තම නම අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ කළ ද එවකට අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල එම පත්වීම සිදු නොකළ බවයි.
4. නඩුවේ වත්මන් තත්ත්වය
* විත්තිකරුවන්: පළමු විත්තිකරු වන අයිසොලස් බයෝටෙක් සමාගමේ හිමිකරු මී උණ රෝගය වැලඳී රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔහු නොමැතිව නඩු විභාගය ඉදිරියට ගෙන යෑමට අධිකරණය අවසර ලබා දුන්නේ ය.
* අධිකරණ මඩුල්ල: ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග වේ.
නඩු වාර්තාව /03/03/2026
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය ඇති වූ කාලයේ දී ලංකාවේ ඇතිවූ බරපතළ ඖෂධ හිඟයට පිළියමක් ලෙස හදිසි මිලදී ගැනීම සිදු කිරීම සඳහා ඖෂධ ඇගයීම් කමිටුව 2023 වසරේ ජනවාරි මාසයේදීත් දෙවරක් රැස්වූ බවට ඊයේ (03) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කෙරුණි. ඖෂධවල පවතින තත්ත්වය මතම නොව රෝගියකු ගේ ශරීරය ඊට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ද විවිධ සංකූලතා ඇති වන බව ද එහි දී සදහන් කෙරුණි

එසේම මාරාන්තික රෝගවලට ගොදුරු වී සිටින රෝගියකු ගේ ජීවිතය ගලවා ගැනීම සඳහා යම් යම් රෙගුලාසි නොසලකා කටයුතු කිරීම නීති විරෝධී නොවන බවත් කල් ඉකුත් වූ ඖෂධ රෝගියා දැනුම්වත් කර යම් යම් අවස්ථාවල දී ලබාදීමට සිදුවන බව ද එහි දී සඳහන් කෙරුණි .
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී තිස් හත්වන සාක්කිකාරිය ලෙස කැඳවා සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති)විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනෙයි.
පළමු වන විත්තිකරු නොමැතිව නඩුව විභාගයට
ඊයේ එම නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදී පළමු වන විත්තිකරු, අයිසොලස් බයෝටෙක් සමාගමේ හිමිකරු වන හේවගේ සුදත් ජානක නමැත්තාට මී උණ රෝගය වැලඳී ඇති බව ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ හරේන්ද්‍ර බානගල විනිසුරු මඩුල්ලට දන්වා සිටියේ ය. ඔහු නොමැතිව මෙම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් තමා ගේ විරුද්ධත්වයක් නොමැති බව ඔහු සඳහන් කර සිටියේ ය.
පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම එම ඉල්ලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ නොවන බවද සඳහන් කළා ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියන ගේ ඒ පිළිබඳ සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේ පළමු වන විත්තිකරු රෝහල් ගතව සිටීම නිසා ඔහු නොමැතිව නඩුව විභාග කිරීමට නියෝග කරන අතර ඔහු ගේ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙස ය.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත යනු...
අනතුරුව සාක්ෂි ආරම්භ කළ අතර මෙම නඩුවේ තිස් හත්වන සාක්කිකාරිය ලෙස කැඳවා සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කෙරුණි
එහිදී නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේනාරත්න වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත කවර රෝග ලබා සඳහා ලබා දෙන්නේ ද යන්න පිළිබඳව සාක්ෂිකාරියගෙන් විමසා සිටියේ ය.

රුධිර පට්ටිකා අඩු වීමේ රෝගී තත්ත්ව, රුධිරය අධික රුධිර වහනය වීමේ තත්ත්ව, ස්නායු රෝග , දෙපා පණ නැති වීමේ රෝගී තත්ත්ව, මෙන්ම ශල්‍ය කර්මවලදී ද මෙම එන්නත භාවිත කරන බවට සාක්ෂිකාරිය එහිදී සඳහන් කළා ය. එමෙන්ම රිසොක්සිමැබ් එන්නත පිළිකා රෝගීන් ගේ ජීවිත ආරක්ෂාව සඳහා භාවිත කරන බව ද එහි දී සඳහන් කළා ය.
විත්තියේ නීතිඥවරයා
යම් ඖෂධයක් අඩු වී එය රෝගීන්ට දීමට නොහැකි වුවහොත් උදාවන තත්ත්වය කවරේ ද යන්න පිළිබඳව තමාට අවබෝධයක් තිබේ දැයි සාක්ෂිකාරයකින් විමසා සිටියේ ය.
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය ඖෂධය මත වෙනස් වන බව ය. වෛද්‍යවරියක ලෙස රාජකාරිය කිරීමේ දී ඖෂධ හිඟ වූ අවස්ථාවලටත් තමන්ට මුහුණ දීමට සිදුවී ඇති බව ඇය එහි දී සඳහන් කළා ය. ඇතැම් ඖෂධවලට ආදේශක ඖෂධ ඇති අතර එසේ නොමැති ඒවා සඳහා හදිසි මිලදී ගැනීම සිදුකිරීමට සිදුවන බව ද එහි දී ඇය සඳහන් කළා ය.
අවර්ණ ජලය බඳු ද්‍රාවණයක්
සාමාන්‍යයෙන් ඖෂධ සැපයුම්කරුවකු ලියාපදිංචි කිරීම සඳහා ගතවන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද සාක්ෂිකාරිය එහි දී හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළා ය. කෙසේ වුව ද ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ නොවන අතර වෛද්‍ය සැපයුම් ඒකකය එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකරන බව සාක්ෂිකාරිය එහි දී හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සටහන් කළා ය.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත අවර්ණ ජලය බඳු ද්‍රාවණයක් බව ද එහි ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම රසායනාගාර ජීව විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති අය විසින් සිදුකරන බව ද සාක්ෂිකාරිය එහි දී සඳහන් කළා ය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගනු ලබන තීරණය ඖෂධ නීතිගත සංස්ථාවට හෝ වෙනත් ආයතනයකට දන්වා යවන්නේ කෙසේ ද යන්න එහි දී නීතිඥවරයා සාක්ෂිකාරයගෙන් විමසා සිටියේ ය.
එහි දී සඳහන් කළේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ගේ අත්සන සහ මුද්‍රාව සහිතව එය දන්වා යවන බවය.
දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ගේ හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නඩුවේ 12 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල සාක්ෂිකාරිය ගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරමින් විමසා සිටියේ ඖෂධ හිඟ අවස්ථාවකදී පාස්ට්‍රැක් ක්‍රමයක් පිළිබඳව අධිකරණයේ දී මතු වූයේ ද යන්න පිළිබඳව යි.
එහිදී සාක්ෂිකාරිය ඔවු යනුවෙන් පිළිතුරු ලබා දුන්නා ය.
ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු, ඉන්දියානු ණය ආධාර ක්‍රමය ආදිය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධ විශේෂ ක්‍රමයක් පවතින්නේ ද යනුවෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ දී සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් ඒ පිළිබඳව විශේෂ නොදන්නා බව ය.
ඖෂධවලින් සංකූලතා ඇතිවන්නේ ඇයි...?
පළමුවන විත්තිකරුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරින්ද්‍ර බානගල සාක්ෂිකාරිය ගෙන් හරස් ප්‍රශ්න විමසමින් ප්‍රශ්න කර සිටියේ ඖෂධ මිලදී ගැනීම ප්‍රවාහනය ආදිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරි කටයුතු කරන බවට අවබෝධයක් තිබෙන්නේ ද යන්නයි.
එය එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව සිදුකරන බවට සාක්ෂිකාරිය එහි දී සඳහන් කළා ය.
ඖෂධවලින් සංකූලතා ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් දැයි එහි දී නීතිඥවරයා සාක්ෂිකාරිය ගෙන් ප්‍රශ්න කර සිටියේ ය.
ඖෂධ නිෂ්පාදනයේ තත්ත්වය වැරදි සහගත වීම, ගබඩා කිරීමේ දුර්වලතා, ප්‍රවාහනයේ දුර්වලතා මෙන්ම නිසි උෂ්ණත්වය පවත්වාගෙන නොයෑම ආදිය මට විවිධ ගැටලු ඇතිවිය හැකි බව ඇය එහි දී සඳහන් කළා ය. ඖෂධයේ තත්ත්වය මතම නොව ඊට පරිබාහිර හේතුන් මත ද සංකූලතා ඇතිවිය හැකි බව ද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළා ය.
ඇතැම් රෝගීන් ගේ අසාත්මික තත්ත්ව සහ ඔවුන් ගේ ශරීර එම ඖෂධයට ප්‍රතිචාර දක්වන ආකාරය, මත්පැන් පානය කිරීම ආදිය මත ද රෝගීන්ට සංකූලතා ඇතිවිය හැකි බව සාක්ෂිකාරිය සඳහන් කළා ය. එහිදී මරණින් සිදුවිය හැකි සංකූලතා සහ නොසලකා හැරිය හැකි සංකූලතා වශයෙන් සංකූලතා වර්ග දෙකක් ඇති බව සාක්ෂිකාරිය තවදුරටත් සඳහන් කළා ය. දහඩිය දැමීම ඇඟ කැසීම වැනි දේ සංකූලතා ලෙස සැලකෙන බව ද සාක්ෂිකාරිය තවදුරටත් සඳහන් කළා ය.
ජලය බඳු ද්‍රව්‍යයක් එන්නත් කළහොත්...?
ජලය බඳු ද්‍රව්‍යයක් එන්නත් කළහොත් සිදුවන්නේ කුමක්දැයි නීතිඥවරයා හරස් ප්‍රශ්න යක් යොමු කරමින් විමසා සිටියේ ය.
එහි දී සාක්ෂිකාරිය සඳහන් කළේ ජලයේ ප්‍රමාණය, එහි ඇති බැක්ටීරියා යනාදි ද්‍රව්‍ය, ඒ සඳහා බලපාන බවත් ජලය මිලි ලීටර් පහක් බඳු ප්‍රමාණයක් එන්නත් කිරීම ගැටලුවක් නොවන නමුත් ලීටරයක් බඳු ප්‍රමාණයක් එන්නත් කිරීම මගින් ගැටලු ඇතිවිය හැකි බව ය. එවැනි තත්ත්ව ඉහළ සංකූලතා තත්ත්ව ලෙස සලකන බව ද සාක්ෂිකාරිය තවදුරටත් සඳහන් කළා ය. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත මානව ප්ලාස්මවලින් සකසන ජීව විද්‍යාත්මක ඖෂධයක් බව ද සාක්‍ෂිකාරිය විත්තියේ නීතිඥවරයා ගේ පැනයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය .
ඖෂධයක ගුණාත්මකභාවය නොපවතින්නේ නම්...?
හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන සාක්ෂිකාරියට හරස් ප්‍රශ්න යොමු කරමින් විමසා සිටියේ යම් ඖෂධයක ගුණාත්මකභාවය නොපවතින්නේ නම් ඒ පිළිබඳව කටයුතු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බලය තිබේ ද යන්න පිළිබඳව ය. ඔවු යනුවෙන් සාක්ෂිකාරිය එහි දී පිළිතුරු ලබා දුන්නා ය.

ලංකාවට ඖෂධ ආනයනය කරන්න ලේඛන සලකා බලනවා ද යනුවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ තත්ත්ව සහතිකය එහි දී සලකා බලන බව ය. නිෂ්පාදනය කරන ආයතනය මෙන්ම නිෂ්පාදිත රටේ එම ඖෂධය භාවිත කරන්නේ ද එම ඖෂධ ලියාපදිංචි කර තිබේ ද යන්න පිළිබඳව එහි දී සලකා බලන බව සාක්ෂිකාරිය තවදුරටත් සඳහන් කළා ය.
ඖෂධ ඇගයීම් කමිටුව ආනයනයට ඖෂධ සම්බන්ධයෙන් තහවුරු කරගන්නේ කෙසේද යනුවෙන් විත්තියේ නීතිඥවරයා එහිදී ප්‍රශ්න කළ අතර සාක්ෂිකාරිය එහි දී ප්‍රකාශ කළේ ආනයනකරු හෝ ඔහුගේ නියෝජිතයා විසින් දෙනු ලබන ලේඛන අනුව එය තීරණය කරන බව ය.
ඖෂධ තුන්සියයක හිඟයක්...
2014 සහ 2023 අතර කාලයේ දී ලංකාවේ ඖෂධ හිඟයක් පැවති බවට සාක්ෂිකාරිය දැනුවත් දැයි එහි දී විත්තියේ නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ය.
ඔවු යනුවෙන් ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය සඳහන් කළේ ජනමාධ්‍ය මගින් ඒ බව තමන් දැනගත් බව ය. ඖෂධ ඇගයීම් කමිටුව ජනවාරි මාසයේ 2023 ජනවාරි මාසයේ දී දෙවරක් රැස්වූ බව ද ඒ වන විට ඖෂධ තුන්සියයක හිඟයක් පැවති බව ද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළා ය. එම ඖෂධ පිළිබඳව සලකා බැලීම සඳහා ඇගයීම් කමිටුව එම මාසයේ දී දෙවරක් රැස්වූ බව ද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළා ය. හිඟ ඖෂධ ආනයනයේදී ගතවන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද එය මාස හත අටක් පමණ විය හැකි බවද සාක්ෂිකාරි එහිදී තවදුරටත් සඳහන් කළාය.
සාක්ෂිකාරිය ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකාවක් ලෙස කටයුතු කරද්දී ජනාධිපති ලේකම්වරයකු ඖෂධ නිෂ්පාදන ආයතනයක් පරික්ෂා කිරීමට යෑමට අවසර ලබා දීමක් පිළිබඳව අත්දැකීමක් තිබේ ද යන්න පිළිබඳව නීතිඥවරයා එහි දී සාක්ෂිකාරයකින් විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පවසා සිටියේ තමන් ඒ පිළිබඳව නොදන්නා බව ය.
එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුර දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඖෂධ මිලදී ගැනීම, නිෂ්පාදන ලියාපදිංචි කිරීම පිළිබඳව දත්ත ඖෂධ නියාමන අධිකාරිය සතුව මෙන්ම සැපයුම් අංශය සතුව තිබෙන බව ය. ඖෂධ සම්බන්ධයෙන් බෆට් ටෙස්ට් හෙවත් සුරක්ෂක තොගයක් තබා ගැනීම වෛද්‍ය සැපයුම් අංශයට භාරව ඇති බව ද සාක්ෂිකාරිය එහි දී සඳහන් කළා ය. ඖෂධ වර්ගීකරණය කිරීම කළමනාකරණයේ පහසුව සඳහා සකස් කර ඇති බවද සාක්ෂිකාරිය එහි දී සඳහන් කළා ය.
නීතිඥවරයකු ගෙන් විරෝධයක්
විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව සාක්ෂිකාරිය ගෙන් නැවත ප්‍රශ්න විමසීම් සිදු කිරීම නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සිදු කළා ය.
ඖෂධයේ තත්ත්ව පරීක්ෂාව පිළිබඳව සාක්ෂිකාරිය ගෙන් විමසා සිටි අවස්ථාවේ දී දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊට විරෝධය පළ කළේ ය.
තමන් විසින් ප්‍රකාශ නොකළ දේවල් ප්‍රකාශ කළ බවට පවසමින් ප්‍රශ්න කිරීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සිදුකරන බව ද තමන් ඊට දැඩි ලෙස විරුද්ධ වන බව ද නීතිඥවරයා එහි දී සඳහන් කළේ ය.

එහි දී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කළේ නීතිඥවරයා කළ ප්‍රකාශ අනුව තමන් ප්‍රශ්න විමසීම් සිදු කරන බවත් මාධ්‍යවේදීන් ගේ අවධානය ලබා ගැනීම සඳහා නීතිඥවරුන් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන බවත් ය.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ. තමන් නීතිමය කරුණු ඉදිරිපත් කිරීම මිස ජනමාධ්‍යවල අවධානය ලබා ගැනීමට කටයුතු නොකරන බව ද නීතිඥවරු එහිදී සඳහන් කළහ.
එහි දී සභාපති විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට අවවාද කරමින් සඳහන් කළේ නීතිමය කරුණු ඉදිරිපත් කිරීමකින් හැර වෙනත් අනවශ්‍ය ප්‍රකාශ සිදු කිරීමට කටයුතු නොකරන ලෙස ය.
අධිකරණය විසින් සලකා බලන්නේ අධිකරණයට ඉදිරිපත් වන නීතිමය කරුණු පමණක් බව ද සභාපති විනිසුරුවරයා එහි දී අවධාරණය කළේ ය.
ලියාපදිංචි නොකළ ඖෂධ ලබා ගැනීමට හැකි අවස්ථා
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ගේ හරස් ප්‍රශ්න විමසීමේ අනතුරුව මෙම නඩුවේ හතළිස් පස් වන සාක්කිකරු ලෙසට කැඳවා සිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍යය ආනන්ද විජේවික්‍රම ගෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරිණ.
එහි දී ඔහු සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මුල සිට ම තමන් කටයුතු කළ අතර 2021 වසරේ දී තමන්ගේ නම ඊට නිර්දේශ කළ ද ඇමතිවරයා විසින් එම පත්වීම සිදු නොකළ බව ය. එවකට ඇමතිවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයේ සිටින බව ද සාක්ෂිකරු එහි දී හඳුනාගත්තේ ය. 2022 වසරේ ජූලි මාසයේ දී පෙර සිටි අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කළ බව ද ඔහු සඳහන් කළේ ය. ඖෂධ මිලදී ගැනීමේ දී ලියාපදිංචි නොකළ ඖෂධ ලබා ගැනීමට හැකි අවස්ථා ඇති බව ද සාක්ෂිකරු එහි දී සඳහන් කළේ ය.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුවන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී සභාපති විනිසුරුවරයා එම පනත සම්බන්ධයෙන් තම අධිකරණයට අර්ථකථන දිය නොහැකි බව ත් සාක්ෂිකරු ගෙන් එවැනි ප්‍රශ්න විමසීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගෙන් ප්‍රශ්න කර සිටියේ ය.
අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න නොකිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහි දී එකඟතාව පළ කළා ය.
වැඩිදුර විභාගය සාක්ෂි විමසීම කල් තැබිණි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13ක් එල්ල කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක් ද, නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නු ලැබ ඇත.

