Image

ආන්දෝලනයකට තුඩු දුන් 'දැති රෝදෙන් උපන් බුදුන්’ ලියූ ප්‍රවීණ සාහිත්‍යධර ටෙනිසන් පෙරේරා

ආන්දෝලනයකට තුඩු දුන් 'දැති රෝදෙන් උපන් බුදුන්’ ලියූ ප්‍රවීණ සාහිත්‍යධර ටෙනිසන් පෙරේරා

දීපචෙල්වන් ප්‍රදීපන් නම් දමිළ ලේඛකයාගේ සාහිත්‍ය කෘති හතරක් රේගුවේ සිරගතව තිබෙන මොහොතක මෙරට පළමු වරට තහනමට ලක්වූ සාහිත්‍ය කෘතිය රචනා කළ ප්‍රවීණ සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා පසුගිය 23 වන දින සිය ලිවිසැරියත්, දිවිසැරියත් අවසන් කළේ ය.

තම ලිවිසැරිය තුළ සාහිත්‍ය කෘති සියයකට අධික සංඛ්‍යාවන් ප්‍රකාශයට පත් කළ ඔහු ප්‍රවීණ කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් සහ පරිවර්තකයෙක් ද වී ය. එමෙන් ම, ඔහු සිය නිර්මාණ මගින් නව සාහිත්‍ය ප්‍රවණතා මෙරටට හඳුන්වා දීමට මුල් වූ ලේඛකයන් අතර ප්‍රමුඛයෙක් ලෙස ද සැලකේ. ඔහුගේ මුල්කාලීන කෘති ආගමික සංස්ථාවත්, ජාතිවාදයත්, ධනේශ්වර සමාජයත් නිර්දය ලෙස විවේචනයට ලක් කරයි.

tenison

කේ. කේ. සමන් කුමාර විසින් සිංහල සාහිත්‍යයේ නූතනවාදී ත්‍රිත්වය වශයෙන් හඳුනා ගනු ලබන ලේඛකයන් අතරට සයිමන් නවගත්තේගම සහ අජිත් තිලකසේන සමග ටෙනිසන් පෙරේරා ද ඇතුළත් කර ඇත.

කාර්මික බුදුවරයකු අවැසි ය

ටෙනිසන් පෙරේරා සිය පළමු සාහිත්‍ය කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ වයස අවුරුදු 18 දී ය. ඒ, ‘උත්තරීතර සඳඑළිය' නම් කෙටිකතා සංග්‍රහය යි. එමගින් සාහිත්‍ය ලෝකයට පිවිසෙන ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ, 1967 වසරේ දී පළ කළ ‘දැති රෝදෙන් උපන් බුදුන්' නම් ආන්දෝලනාත්මක කෙටිකතා සංග්‍රහය රචනා කිරීමෙනි. එහි එන පොතේ නමින් ම වන කෙටිකතාව තුළින් ඔහු අදහස් කළේ, මේ ලාංකීය සමාජයට කාර්මික බුදුවරයකු ඇවැසි ය යන්න පැහැදිලි කිරීමට වුවත්, එය සාවද්‍ය ලෙස වටහා ගත් එවක පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් එම කෘතිය තහනම් කරනු ලැබී ය. ඒ, ලංකාවේ තහනමකට ලක් වූ මුල් ම සාහිත්‍ය කෘතිය එය බවට ඉතිහාසයට එක් කරමිනි. එම කෘතියේ මෙන් ම, ඔහුගේ බොහෝ කෙටිකතා සහ නවකතා තුළ අධිතාත්විකවාදී සහ මායායථාර්ථවාදී ලක්ෂණ නොඅඩුව දැකගත හැකි වීම විශේෂත්වයකි.dethi1

චීන පිලෙහි සාමාජිකයා

ටෙනිසන් පෙරේරා සාහිත්‍යවේදියා උපත ලැබුවේ, 1940 පෙබරවාරි 2 දින කැලණියේ දී ය. එකල කුඩා බුත්ගමුවේ පිහිටි අද කුමර විදුහල නමින් හැඳින්වෙන රජයේ ඉංග්‍රීසි මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළ සඳහා දර්ශනය විෂය හැදෑරී ය. පසුව ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම විෂය සඳහා ම බාහිර උපාධියක් ලබා ගත්තේ ය. රජයේ මුද්‍රණාලයේ ආධුනිකයකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු එහි බෞද්ධ සංසදයට සම්බන්ධ වී සෑම පුන් පොහෝ දිනක ම එමගින් ප්‍රකාශයට පත් කරන ලද ‘නිවන් මග’ සඟරාවේ සංස්කාරකවරයා ලෙස දිගු කලක් කටයුතු කළේ ය. ඒ අතර, ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වන ඔහු එහි චීන පිලේ සාමාජිකයකු ලෙස වාමාංශික දේශපාලනයේ ද නිරත වී ය.

බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය

ටෙනිසන් පෙරේරා සිය බොහෝ නිර්මාණවලට පාදක කරගත්තේ, සමාජයේ පීඩිත ව සිටින සාමාන්‍ය පන්තියේ ජනතාවගේ ජීවිතය යි. ඔහුගේ නිර්මාණ පිළිබඳව සඳහන් කරමින් මහාචාර්ය කුලතිලක කුමාරසිංහ වරක් පැවසුවේ ‘ජීවන පුරුෂාර්ථ හා උදර පෝෂණය අතර අරගලය ටෙනිසන් තරම් ගැඹුරින් නූතනවාදී සාහිත්‍යයික ලක්ෂණ උපයෝගී කරගෙන නිරූපණය කළ වෙනත් ලේඛකයෙකු නොමැති තරම්’ කියා ය. සයිමන් නවගත්තේගමගේ කෘති ඇසුරින් හඳුනාගන්නා බෞද්ධ දර්ශනය ඇසුරු කරගත් ශ්‍රී ලංකාවට ම උරුම වූ පශ්චාත් නූතන සාහිත්‍ය ප්‍රවර්ගයක් වන බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යයට ටෙනිසන්ගේ ‘සක්වළ දඩයම' කෘතිය ද අයත් වන බව කේ.කේ. සමන් කුමාර වරක් පෙන්වා දී තිබේ.sakwala

ටෙනිසන්ගේ ‘සක්වළ දඩයම' නවකතාව සහ සයිමන් නවගත්තේගමගේ කෘති අතර පවත්නා සමානතා නිරීක්ෂණය කළ ඔහු ‘මහා විහාරික ථෙරවාද මහාවංශ ඉතිහාස විවරණය ඉක්මවා යෑමට උත්සහ කිරීම’, ‘හීනයාන බෞද්ධ සංකල්ප වෙනුවට මහායාන බුදුදහම කරා යොමු වීම’ සහ ‘හීනයානික ශ්‍රද්ධා මාර්ගය වෙනුවට මහායානික ප්‍රඥා මාර්ගය කරා යොමුවීම’ වැනි සිය නිරීක්ෂණ ඊට නිදසුන් ලෙස දැක්වූවේ ය. තව ද, පශ්චාත් යටත්විජිත ප්‍රවේශයකින් යුතුව ලේඛනයේ යෙදුන ටෙනිසන් අතිවිශිෂ්ට ලෙස උපහාසය භාවිත කළ ලේඛකයෙක් ද වී ය.

ටෙනිසන් පෙරේරා අත්අඩංගුවට

ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන ‘දැති රෝදෙන් උපන් බුදුන්' ධනේශ්වර සමාජය සහ ආගමික සංස්ථාව දැඩි විවේචනයකට හසුකරන්නක් වී ය. බෞද්ධ සමිති සම්මේලනය වෙනුවෙන් ලීලානන්ද කල්දේරා නම් අයෙක් සිදුකළ පැමිණිල්ලක් මත එම කෘතිය ලිවීමෙන් බුදුදහමට අපහාස කළ බව පවසමින් පොලීසිය විසින් ටෙනිසන් පෙරේරා අත්අඩංගුවට ගෙන කොටුව රහස් පොලීසියට යොමුකර එහි දී ප්‍රශ්න කිරීමට ලක් කළේ ය. පසුව එම කෘතිය රජය විසින් තහනම් කරන ලද අතර, වෙළඳපොළේ තිබූ එහි පිටපත් සියල්ලට මුද්‍රා තැබිණි. ටෙනිසන් පෙරේරා සතු ව තිබූ ඉතිරි පිටපත් සියල්ල ද රාජසන්තක කෙරුණි. පැමිණිලිකරුවන් විශ්වාස කළේ, ඔහු කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ පෙළඹවීම මත එම කෘතිය ලියන්නට ඇති බව ය.

එයින් දැඩි සේ කම්පනයට පත් ඔහු දිගු කලක් නිර්මාණකරණයේ උකටලීව සිටියේ ය. ඉන් අනතුරුව ඔහු නැවත සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ, ‘පද්මිනීලා සහ තිවංකලා’ නවකතාව ප්‍රකාශයට පත් කරමිනි. ඔහු ඉමහත් ආශාවෙන් සහ කැපවීමෙන් නිර්මාණය කළ ‘දැති රෝදෙන් උපන් බුදුන්’ රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරු වීමෙන් හටගත් සමාජ හා දේශපාලන කළකිරීම ඔහුගේ පසුකාලීක බොහෝ සාහිත්‍ය නිර්මාණවල බොහෝ සෙයින් පිළිබිඹු වී ය.

ආගමික සංස්ථා පිළිබඳ පැවති කැකෑරෙන විරෝධය, විවේචනය ස පිළිකුල

ටෙනිසන්ගේ නිර්මාණවලට නිතර ම වාගේ විෂය වී ඇත්තේ සමාජයේ පීඩිත පන්තිවල අත්දැකීම් බව පෙන්වා දෙන මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්, ටෙනිසන් පෙරේරා සිය ‘දැති රෝදෙන් උපන් බුදුන්' කෘතියෙන් ඉතා ‘නිර්දය ස්වරූපයකින් සම්මතය කඩා සුනු විසුනු කොට - මේඝ ගර්ජනා කරන ස්වරයකින් අත්දැකීම් විවරණය' කළ බව වරක් ප්‍රනාශ කර ඇත.

සිය ‘දැති රෝදෙන් උපන් බුදුන්' කෘතිය ගැන සඳහන් කරමින් වරක් ටෙනිසන් සඳහන් කළේ, ‘ලෝක සාහිත්‍ය කියැවීම, දර්ශනය හා මාක්ස්වාදය හැදෑරීම වෙතින් පෘථුල වූ චින්තනයේ භාව ප්‍රකාශනයක් විදියට තමයි මේ පොත එළිදකින්නේ. සමාජය පිළිබඳ ආගමික සංස්ථා පිළිබඳ මා තුළ තිබුණු කැකෑරෙන විරෝධය, විවේචනය හා පිළිකුල මේ පොතෙන් හොඳහැටි පේනවා’ යනුවෙනි.

බුදු බව අහිමි වූ පද්මී

ඔහුගේ නවකතා අතර ‘සක්වළ දඩයම' සුවිශේෂ නවකතාවක් වන්නේ බුදුවරියක් වීමට පෙරුම් පුරන බෝසත්වරියක් පිළිබඳ කථාවක් ඊට වස්තු විෂය වන හෙයිනි. ඔහු එය සිංහලයන්ගේ සම්භවය ගැන කියවෙන සිංහබාහු, විජය-කුවේණි පුවත් සමග බද්ධ කරමින් පුරාකෘතික තලයක තබා ඉදිරිපත් කරයි. දේවසභාවේ පුරුෂාධිපත්‍යයට එරෙහි ව තමා විසින් බිහිකරන බෝසත්වරියක් අනාගතයේ බුදුබවට පත්කරවන බවට අඥාඥතාරා අභියෝග කරයි. අඥාඥතාරා යනු මහායාන පීත දේවතා සංකල්පයකි. අඥාඥතාරාගේ මේ බලාපොරොත්තුව ඉටුකිරීමට නියමිත වන්නේ පද්මී නම් බෝසත්වරියට යි. බුදුබව ලබාගැනීමේ පූර්ව අවශ්‍යතාවක් ලෙස ඇය පුරුෂ ශුක්‍ර එක්රැස් කරගත යුතු වෙයි. ඇයගේ ආරක්ෂාව සැපයීම භාරවන්නේ විජයට ය. නමුත් විජය සමග කාම පාශයේ ගැලීම නිසා පද්මීට බුදුබව අහිමි වේ.

women

මේ සම්බන්ධයෙන් කේ.කේ. සමන් කුමාරගේ මතය වන්නේ මෙම නවකතාව මගින් ටෙනිසන් 90 දශකය මුල ශ්‍රී ලංකාවේ මතු වූ ස්ත්‍රීවාදී ව්‍යාපාරය ගැන පවසන බව ය.

ටෙනිසන් පෙරේරා නිර්මාණ

ඔහුගේ අනෙක් නවකතා අතර ‘දුට්ඨගාමිණී නොමළ වගයි’, ‘සත්‍යවාදීන්ගේ මරණ මංචකය’, ‘අග්නි කල්පය’, ‘මම චක්‍රවර්ති’, ‘මම වෙස්මාරු කරගෙන’, ’රාජාභරණ’, ‘ගින්නෙන් නැගෙන දුම්’, ‘භවාන්තරය’, ‘අබිරහස් ජීවිත තරණය’, ‘සසර දිගන්තය’, ‘මහා රාවණා’, ‘එකොලොස් ගිනි’, ‘දණ්ඩභූමි’, ‘සූරිය කන්ද පාමුල’ ප්‍රධාන තැනක් ගනී.

‘උත්තරීතර සඳඑළිය’, ‘දැති රෝදෙන් උපන් බුදුන්’ (වාරණය වී ඇත.), ‘රතු බැනරය’, ‘නිදහසේ දරුවාගේ උමතු කතාව’, ‘ඔව් නගරයෙන් නෑ නගරයට’, ‘මහගෙදර නිධානය’, ‘ඉන්ද්‍රජාල කතන්දර’, ‘වෛවර්ණ’, ‘අසිරිමත් වැඩබිම, ‘වීරබිමේ කළබැගෑනිය’ ඔහුගේ කෙටිකතා සංග්‍රහ පෙළ යි.

‘නඩු යන්නෝ’ (ෆ්‍රාන්ස් කෆ්කාගේ the Trial නවකතාව), රූපාන්තරණය (ෆ්‍රාන්ස් කෆ්කාගේ metamorphosis

නවකතාව), ‘අරාබි නිසොල්ලාසය’, ‘ප්‍රේමය සහ තවත් යක්කු’ ඔහුගේ කෘතහස්ත පරිවර්තන අතරින් කිහිපයකි.

ටෙනිසන් පෙරේරා සාහිත්‍යවේදියා සිය ලිවිසැරිය තුළ කිහිපවරක් ම සම්මානයට පාත්‍ර වූ ලේඛකයෙකි. ඔහුගේ ‘අසිරිමත් වැඩබිම’ කෙටිකතා සංග්‍රහය රාජ්‍ය සාහිත්‍යය සම්මානය දිනාගත් අතර, ඔහුගේ ‘මහා රාවණා’ නවකතාව ‘ෆෙයා වේ සම්මානයෙන් පිදුම් ලැබී ය. ඊට අමතරව ඔහුගේ ‘භවාන්තරය’ සහ ‘අබිරහස් ජීවිත තරණය’ යන නවකතා ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වී ය.abhirahas

සිය අසූහය වසක දිවි සැරියෙන් වසර හැට අටක් එනම් දශක හතකට ආසන්න කාලයක් මෙරට සිංහල සාහිත්‍යය සුපෝෂණය වෙනුවෙන් කැප කළ ටෙනිසන් පෙරේරා නම් ප්‍රවීණ සාහිත්‍යවේදියා අවසන් ගමන යන්නේ මෙරට අනෙක් බොහෝ කලාකරුවන් මෙන් නිසි ගරු බුහුමනක් නොලබා ම ය. පැණසර ලේඛනයෙන් මෙන් ම, වාමාංශික දේශපාලනයෙන් ද මේ සමාජය යහපත් තැනක් කරන සැබෑ වුවමනාවෙන් කටයුතු කළ ඔහු අවසන් සුසුම් පොද මේ වා තලයට එක් කරන්නේ ඒ අපේක්ෂා සහ සිහින අයාලේ යන සැටි දැක උපන් සිත් වේදනාවෙන් බව නම් නිසැක ය. එහෙත්, ඔහු ඉතිරි කර තබා ගිය ඒ වෙනුවෙන් ඔහු මෙතෙක් කළ කී දෑ හෙට දින මෙබිම යහපත් තැනක් කරන්නට මහෝපකාරී වන බව නම් නොඅනුමාන ය.

අනුර බී. සෙනවිරත්නඅනුර බී. සෙනෙවිරත්න

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න