ළමුන්ට ලිංගිකත්ව අධ්‍යාපනය ප්‍රතික්‌ෂේ කිරීම වැඩිහිටි ලෝකයේ අර්බුදයක් ද...?

ළමුන්ට ලිංගිකත්ව අධ්‍යාපනය ප්‍රතික්‌ෂේ කිරීම වැඩිහිටි ලෝකයේ අර්බුදයක් ද...?

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිස්සංකරණ පිළිබඳ මතගැටුම් අතර ඉහළට එස වී ආවකි, ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාව.

මේ පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පෝස්ටු මෙන්ම ඇතැමුන්ගේ අදහස් දුටු විට හැඟී යන්නේ ලංකාවේ සමහරු තමන් රෝස කැළෙන් ගෙනාවුන් ලෙස සිතා සිටින බවකි.

ආරක්ෂකයා ගේ භූමිකාව ම ළමයා අවදානමට හෙළීම

ලිංගිකත්වය පිළිබඳ දැනුම වැඩිහිටි ලෝකයට සීමා වූ දැනුමක් ලෙස බොහෝ දෙනා සිතා සිටිති. ළමුන්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය නොව ගුණධර්ම බවට යම් පෞද්ගලික ගුරුවරයෙකු ගේ අදහසක් හුවා දක්වමින් සමාජ මාධ්‍ය තුළ විවාදාත්මක කතිකාවක් ගොඩනැගෙන්නේ මේ පසුබිමේ ය. මෙම අදහස ව්‍යුත්පන්න වන්නේ වැඩිහිටියන් බොහෝ දෙනා ලිංගිකත්වය යනු ළමුන්ට තහනම් (Taboo) මාතෘකාවකැ’යි, එම දැනුම ළමයා ගේ අයහපතට හේතු වේ යැ’යි සිතා සිටින පසුබිමෙනි. වැඩිහිටියන් විසින් තමා වෙත පවරා ගනු ලැබූ මෙම ආරක්ෂකයා ගේ භූමිකාව ම ළමයා අවදානමට හෙළා ඇති බව මහපොළොවේ යථාර්ථය පිරීක්සීමෙන් පෙනේ.

අවිධිමත්, විකෘති කළ හෝ අසත්‍ය දැනුම

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව අවුරුදු 18ට අඩු ඕනෑම මනූෂ්‍යයෙක් ළමයෙකි. මේ නෛතික තත්ත්වය දේශීය ව්‍යවස්ථා සහ නීතිය තුළට ද පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ද වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙක් ළමයෙකි. මෙය නීතිය තුළ පවතින දෘඪ සීමාවක් වන අතර, ළමාභාවය සහ වැඩිහිටිභාවය තීරණය කිරීම සඳහා වන එකම සීමාව වේ. එසේ වුව ද හුදෙක් වයස මත පදනම්ව පමණක් ම ළමාභාවය සහ වැඩිහිටිභාවය අතර අඳින මෙම ලක්ෂ්මන් රේඛාව කොතරම් යුක්තිසහගත ද? එසේ වුව ද ළමා ලෝකය සහ වැඩිහිටි ලෝකය අතර දෘඪ මායිම එය වේ. සංවර්ධන මනෝවිද්‍යාවට අනුව මනුෂ්‍යයා ගේ වර්ධනය සහ සංවර්ධනය පිළිසිඳ ගැනීමේ සිට මරණය දක්වා දිවෙන අඛණ්ඩ ක්‍රියාවලියෙකි. ළමයා වැඩිහිටියකු බවට පත් වීම ද ක්‍රමික ක්‍රියාවලියක් වන අතර දෘඪ සීමාවකින් වෙන් කළ නොහැක්කකි. ළමයකු වැඩිවියට පත් වීම වයස අවුරුදු 10-14 කාලය තුළ දී සිදුවේ.

ඒ අනුව, ජීව විද්‍යාත්මකව ළමයකු ලිංගික වශයෙන් සක්‍රිය වීම ඇරඹෙන්නේ එම අවදියේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව නව යොවුන් විය අවුරුදු 10-19 කාලය වේ. මෙම කාලය තුළ දී ළමුන් ශාරීරික, මානසික සහ චිත්තවේගීය විපර්යාසවලට ලක් වේ. අපට පැහැදිලිව පෙනෙන දේ නම් විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිව වුව, තාක්ෂණයේ දියුණුවත් සමග ළමුන්ට ලිංගිකත්වය, ලිංගික චර්යා ආදිය ආශ්‍රිත දැනුම සහ තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා විවිධ මාර්ග විවෘතව පැවතීමයි. උදාහරණයක් වශයෙන් අසැබි අන්තර්ගත සහිත වෙබ් අඩවි පෙන්වා දිය හැකි ය.  මේ දැනුම අවිධිමත්, විකෘති කළ හෝ අසත්‍ය දැනුමක් විය හැකි ය.

පාලනයේ ආයුධය ශික්ෂණය යි

වැඩිහිටියන් වන අප ළමුන් පිළිබඳ වන ඇතැම් නීති සකසා ඇත්තේ වැඩිහිටියන් ගෙන් ම ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා ය. ළමයා අයිතිවාසිකම් දරන්නකු ලෙස පිළිගැනීමට අප තවමත් මැළි ය. අප තවමත් උත්සාහ කරන්නේ ළමුන් සවිබල ගැන්වීමට වඩා ළමයින් අවදානමට ලක්විය හැකි කාණ්ඩයක් සේ සලකා ශුභසාධන මුහුණුවරකින් කටයුතු කිරීමට ය; අප උත්සාහ කරන්නේ ගුණධර්ම කියා දෙමින් ළමයා ශික්ෂණය කරන්නට ය; ඒ මුවාවෙන් ළමයින්ගේ හඬ යටපත් කරන්නට ය; වැඩිහිටියා අතින් ළමුන්ට සිදුවෙන හානි සදාචාරයේ ඒ කඩතුරාව තුළ වසා දමන්නටය.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) දක්වන ආකාරයට 2025 වසරේ දී ළමා අපයෝජනය පිළිබඳ පැමිණිලි 10,455ක් වාර්තා වී ඇත. එනම් එක දිනකට ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 30කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීමකි. ළමා ගැබ්ගැනීම් 79ක්, ළමා විවාහ 09ක්, ගබ්සා කිරීම් 03ක් සහ ළමුන්ට එරෙහිව එල්ල වූ අන්තර්ජාල ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් 150ක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වාර්තා කරයි.

මේ වාර්තා වූ අවස්ථා පමණකි. මෙහි පවතින අන්ධකාර යථාර්ථය නම් වාර්තා නොවූ සිදුවීම්වල ගණන මීට වඩා බොහෝ විය හැකි වීම යි. ළමුන්ට ගුණධර්ම කියා දී ශික්ෂණය කිරීමෙන් මෙම තත්ත්වය වළකා ගත හැකිද? කළ හැක්කේ ලිංගිකත්ව අධ්‍යාපනයට එරෙහි වන අපගේ වැඩිහිටියන් ගේ "සදාචාර" සළුපටින් මෙම තත්ත්වය වසා දැමීම පමණකි. පිළිතුර නිහඬතාව නොවේ. ඊළඟ පරම්පරාව සැබැවින් ම ආරක්ෂා කිරීම සඳහා, අත්තර්ජාතික සහ දේශීය වශයෙන් පනවා ඇති නීති සහ අයිතිවාසිකම් සහ තත්කාලීන සමාජය අතර පවතින පරතරය පියැවිය යුතු ය.

සදාචාරයේ මිථ්‍යාව

දේශීයව ද පිළිගෙන ඇති එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (UNCRC) 03 වන වගන්තිය අනුව දරුවා ගේ උපරිම යහපත කෙරෙහි ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතු අතර, එහි 04 වන වගන්තියෙන් ළමා අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ දී රජයට ඇති බන්ධනීය වගකීම පිළිබඳ සඳහන් වේ. ලිංගිකත්වය පිළිබඳ මෙරට සදාචාරාත්මක සහ සංස්කෘතික ප්‍රවේශය ගොඩනැගී ඇත්තේ ළමුන් ඔවුන් ගේ නොදැනුවත්කම නිසා "ආරක්ෂා" වන බවට ඇති විශ්වාසය මත ය. එහි දී ලිංගිකත්වය යන්න ජීව විද්‍යාත්මකව නොව සදාචාරාත්මක අනතුරක් ලෙස හඳුනා ගැනේ. එනම්, තම සිරුර පිළිබඳ අවබෝධයකට වඩා බියක් ළමුන් තුළ ගොඩනගයි. ප්‍රජනන අවයව සහ ක්‍රියාකාරකම් ලැජ්ජා සහගත  ඒවා වන අතර "රහසක්" ලෙස සලකයි.  ලිංගිකත්ව අධ්‍යාපනයෙන් ලිංගික ක්‍රියාකාරකම් දිරිමත් කරන බවට ඇති මිථ්‍යාව සමාජයේ අරටු බැස ඇත. දරුවකු ගේ ආරක්ෂාව සඳහා ඇති අයිතියට වඩා වැඩිහිටියා ගේ "මතවාදී අධිකාරිත්වයට" මුල්තැනදීම මෙයින් පෙනේ.

uni

ළමුන් අවදානමට ලක් කරන පද්ධතිය

ළමුන්ට තම ශරීරය, ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ නිවැරදි දැනුම සහ අවබෝධය ලබා නොදීම තුළ ඔවුන්ට සිය ශරීර ආරක්ෂා කර ගැනීමට, අපයෝජනය හඳුනා ගැනීමට හෝ වාර්තා කිරීමට නොහැකි වේ. කෙනෙකු ගේ ශරීරය ඔහුගේ හෝ ඇයගේ ස්වාත්මය, අනන්‍යතාව, අභිමානය සහ පෞරුෂය කෙරෙහි කොතරම් බලපානවා ද? ලිංගිකත්වය පිළිබඳ කාරණයේ දී යම් කෙනකු ගේ ශරීරය ඔහු ගේ හෝ ඇය ගේ පාලනයට අයත් කලාපයකි. තවකකු විසින් රවටා හෝ බියවද්දා හෝ වෙනත් යම් ආකාරයකින් එම කලාපය ආක්‍රමණය කරනු ලබන විට එහි අනතුර හඳුනා ගැනීමට නම් ළමුන්ට ඒ පිළිබඳ දැනුම සහ අවබෝධය තිබිය යුතු ය. ළමා අපයෝජනය පිළිබඳ ඉදිරිපත් වූ මෙම පැමිණිලි 10,455 ඇතුළු අනෙකුත් දත්ත වනාහි "ලිංගිකත්වය පිළිබඳ දැනුවත් වීමේ" ප්‍රතිඵලයක් නොව, ළමුන් ගේ නිහඬතාවෙන් සහ නොදැනුවත්කමින් ප්‍රයෝජන ගන්නා වැඩිහිටියන් හමුවේ ළමුන් අවදානමට ලක් කරන පද්ධතියක ප්‍රතිඵලයකි.

ලිංගික අධ්‍යාපනය ද? ලිංගිකත්ව අධ්‍යාපනය ද?

sex

"ලිංගික අධ්‍යාපනය" සහ "ලිංගිකත්ව අධ්‍යාපනය" අතර වෙනස හුදු පාරිභාෂික වෙනසකට වඩා වැඩි වූවකි. යුනෙස්කෝව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නියම කරන ලද ගෝලීය ප්‍රමිතීන්ට අනුව, විස්තීර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය (CSE) සාම්ප්‍රදායික "ලිංගික අධ්‍යාපන" ආකෘතියට වඩා සැලකිය යුතු ලෙස ඵලදායී වේ.

ලිංගික අධ්‍යාපනය සාම්ප්‍රදායිකව "ලිංගික" ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරන අතර, ප්‍රජනේන්ද්‍රියන් සහ ප්‍රජනක පද්ධතිය, ප්‍රජනනය, අනිසි ගැබ් ගැනීම්, ලිංගාශ්‍රිත රෝග වැළැක්වීම ආදිය මෙහි දී ජීව සහ වෛද්‍ය විද්‍යාත්මක පදනමකින් යුතුව සාකච්ඡා කෙරේ. ලිංගිකත්වය මානව සංවර්ධනයේ ස්වාභාවික අංගයක් බව හඳුනා ගන්නා ලිංගිකත්ව අධ්‍යාපනය තුළ ඉහත ජෛව සහ වෛද්‍ය විද්‍යාත්මක කරුණුවලට එහා ගිය සාකල්‍ය දැනුමක් ආවරණය කරයි. එයට ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගික දිශානතිය, අනන්‍යතාව, අන්‍යෝන්‍ය ගරුත්වය, පිළිගැනීම, වටිනාකම්, කැමැත්ත සහ ඩිජිටල් සුරක්ෂිතතාව ආදී මනෝසාමාජීය දැනුම් සම්භාරයක් අයත් වේ.

ළමයකුට ලිංගිකත්ව අධ්‍යාපනයට ඇති අයිතිය

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 29වන වගන්තියෙන් දැක්වෙන්නේ අධ්‍යාපනයෙන්  සෑම දරුවෙකු ගේ ම පෞරුෂය, කුසලතා සහ හැකියා පූර්ණ ලෙස වර්ධනය කළ යුතු බවයි. එහි දී මානව අයිතිවාසිකම්වලට ගරු කිරීමට මෙන්ම සිය දෙමාපියන්ට, ඔවුන් ගේ සංස්කෘතියට සහ වෙනත් සංස්කෘතිවලට සහ පරිසරයට ගරු කිරීමට ළමයා දිරිමත් කළ යුතු ය. එහි 28වන වගන්තියෙන් ළමයකුට අධ්‍යාපනය සඳහා වන ප්‍රවේශය තහවුරු කර ඇති අතර, එහි 19වන වගන්තිය මගින් සියලු ම ආකාරයේ ශාරීරික හෝ මානසික හිංසනයෙන්, තුවාලවලින් හෝ අපයෝජනවලින් දරුවන් ආරක්ෂා කරන ලෙසට රාජ්‍යයට නියෝග කෙරේ. එසේම, එහි 13 වන වගන්තියෙන් දරුවන්ට අදහස් ප්‍රකාශනයේ අයිතිය ලබා දෙන අතර, ඊට "තොරතුරු සෙවීමට, ලබා ගැනීමට සහ ලබා දීමට" ඇති අයිතිය ද ඇතුළත් වේ.

book1ළමයකුට ලිංගිකත්ව අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සෘජුවම උල්ලංඝනය කිරීමක් ලෙසද අර්ථකථනය කළ හැකිය. කෙසේ වුවද අවසානයේ අපගේ අවධානය යොමු විය යුත්තේ දරුවා ගේ උපරිම යහපත කෙරෙහිය.

සිය A Better World for Children? නම් ග්‍රන්ථයෙහි මයිකල් කිං දක්වන්නේ මෙම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ තුන් වන වගන්තිය දෙමාපියන්ට හෝ ළමයා ගේ නෛතික භාරකරුට ලියා දී ඇති හිස් චෙක්පතක් ලෙස අවභාවිතයට ලක් විය හැක්කක් වන බවයි. කෙසේ වුවද ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව සිය සාමාන්‍ය අදහස් දැක්වීමේදී (General comment No. 14)  මේ පිළිබඳව පැහැදිලි කරමින් පවසන්නේ මෙයින් කියැවෙන්නේ ළමයාගේ උපරිම යහපත යැයි නීත්‍යානුකූල භාරකරු විසින් උපකල්පනය කරනු ලබන්නක් පිළිබඳව නොව සත්‍ය වශයෙන් ම ළමයා ගේ යහපතට හේතු වන්නක් විය යුතු බවත්, එමඟින් එක්සත් ජාතීන් ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ දැක්වෙන සෙසු අයිතිවාසිකම් උල්ලංඝනය නොවිය යුතු බවත් ය.

ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීම යනු ළමයා ලිංගිකත්වය කෙරෙහි පෙළඹවීමක් ද...?

දකුණු ආසියාවේ ළමා ශුභසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා කලාපීය විධිවිධාන පිළිබඳ සාක් සම්මුතියෙන් දකුණු ආසියානු කලාපයේ දරුවන් ළමා විවාහ සහ ළමා ජාවාරම ඇතුළු අවදානම්වලට මුහුණ දෙන බව පිළිගෙන ඇත. සංඛ්‍යාත්මකව අඩු අගයක් ගත්ත ද ලංකාවෙන් වාර්තා වන ළමා විවාහ මෙම කලාපීය ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වීම නිරූපණය කරයි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12වන වගන්තියෙන් මෙරට සෑම පුරවැසියකුට ම නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ සමාන ආරක්ෂාව සහතික කරයි. වැඩිහිටියකුට සිය ශරීරය, පැවැත්ම සහ ආත්මාභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත් වන සෞඛ්‍යමය සහ අනෙකුත් දැනුම, තොරතුරු සහ අධ්‍යාපනය සඳහා අයිතියක් පවතී නම්, 2025 වසරේ වාර්තා වූ ගැබ්ගැනීම් 79ක්, ඇතැම් විට, වැළැක්විය හැකිව තිබූ දැනුම සහ තොරතුරු වෙත ප්‍රවේශ වීමට දරුවකුට ඒ සමාන අයිතියක් ඇති බවට තර්ක කළ හැකි ය.

shutterstock

NCPA සංඛ්‍යාලේඛන තහනමේ සිට අවබෝධය දක්වා යා යුතු බවට වන ප්‍රබල ඇඟවුමකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු හුදෙක් පෙළපොත්වලට වඩා වැඩි යමක් විය යුතු ය. එනම් ළමයකු වැඩිහිටියකු දක්වා රැගෙන යන සංවර්ධන මාවතේ තත්කාලීන අභියෝග නිසි පරිදි සහ සාර්ථකව ආමන්ත්‍රණය කරන්නක් විය යුතුය. ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීම යනු ළමයා ලිංගිකත්වය කෙරෙහි පෙළඹවීමක් නොවේ. ළමයින්ට ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ළමයින්ගේ නොව වැඩිහිටියන්ගේ අර්බුදයකි. ළමුන් යනු ආරක්ෂා කළ යුතු දේපොළක් ලෙස නොව, අයිතිවාසිකම් දරන්නන් ලෙස සැලකීමට උත්සුක විය යුතුය. ශ්‍රී ලාංකික තාරුණ්‍යයට හෙට දිනයේ "ලස්සන ජීවිතයක්" උදා කර දීමට නම් එයට මුලපිරිය යුත්තේ නිසි අධ්‍යාපනයෙන් අද ළමා පරපුර සවිබල ගැන්වීමෙනි.

narmadaor

 

මනෝවිද්‍යා උපදේශිකා නීතිවේදී - නර්මදා වික්‍රමආරච්චි 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න