ශ්‍රී ලංකාවේ දේශපාලන පද්ධතිය තුළ පසුගිය වසර කිහිපය තුළ සිදුවූ විශාලතම පරිවර්තනය වන්නේ ජනතාව ගේ දේශපාලන මනස තුළ ඇති වූ ගැඹුරු වෙනසයි.
සම්ප්‍රදායික පක්ෂ පාලනයට විකල්පයක් සෙවීම, පවුල් පාලනයට ඇති ප්‍රතිවාදය, සහ ප්‍රතිපත්තිමය දේශපාලනයට ඇති නව ආකර්ෂණය මේ වෙනසට මූලික හේතු විය. JVP–මාලිමා සන්ධානය සමාජ මාධ්‍ය මත ගොඩනැගූ සන්නිවේදන බලය, නව පරපුරේ භාෂාවෙන් ජනතාව සමග සම්බන්ධ වීම, සහ විකල්ප පක්ෂයක් ලෙස ඉදිරියට පැමිණීම හරහා ජනප්‍රියත්වය ලබාගත්ත ද, බලය ලැබීමෙන් පසු ඔවුන් මුහුණ දුන්නේ තමන් විවේචනය කළ සම්ප්‍රදායික පක්ෂ ක්‍රමවේදයට ම ඇද වැටීමේ අභියෝගයට ය. එය ජනතාව අතර ප්‍රශ්න මතු කළේය: “නව පක්ෂයක් වුවත්, පාලනයේ දී ඔවුන් වෙනස්ද?” උත්තරය “නැත” යන්නයි. නැතහොත් අතීතයේ JVP කී පරිදි “උනුත් එකයි, මුනුත් එකයි”
30% සීමාව
මෙම දේශපාලන ගැටලුවට අමතරව, අද ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය තීරණය කරන්නේ තවත් වැදගත් කරුණක් වනු ලබන්නේ, කිසිදු පක්ෂයකට තනිව 50%+1 ජයග්‍රහණ සීමාවට ළඟා වීමට නොහැකි වීමයි. 2020–2025 කාලය තුළ පැවති ජනාධිපති, පාර්ලිමේන්තු, සහ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සලකා බැලූ විට, සජිත් ප්‍රේමදාසගේ පදනම 25%–32% අතර, JVP–මාලිමා සන්ධානයේ පදනම 28%–30% අතර, UNP 2%–17% අතර, SLPP 3%–9% අතර පවතින බව පැහැදිලි වේ. මේ සියල්ල එකට බැලූ විට, අද ශ්‍රී ලංකාවේ ඕනෑම පක්ෂයකට ළඟා විය හැක්කේ උපරිම 30% පමණක් බව තහවුරු වේ.
සන්ධාන අනිවාර්යතාව
මෙම තත්ත්වය මත ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය සම්පූර්ණයෙන් ම සන්ධාන මත රඳා පවතී. තනි පක්ෂයකට ජයග්‍රහණය කළ හැකි යැයි සිතන යුගය අවසන් වී ඇත. 30% පදනමක් ඇති පක්ෂයක් තවත් 20%–25% පමණ සන්ධාන හරහා එකතු කරගත් විට පමණක් 50%+1 සීමාවට ළඟා විය හැකි ය.
JVP–මාලිමා සන්ධානයේ සීමිත බලය
නමුත් මෙහිදී JVP–මාලිමා සන්ධානයට විශේෂ ගැටලුවක් මතුවේ. ඔවුන්ට සන්ධාන ගත විය හැකි පක්ෂ නොමැති වීම ඔවුන් ගේ ජයග්‍රහණ හැකියාව සීමා කරයි. සම්ප්‍රදායික පක්ෂවලට JVP සමග එකතු වීමට දේශපාලන, සංස්කෘතික, සහ මූලධර්මික බාධක පවතින අතර, එය ඔවුන් ගේ 30% සීමාව ඉක්මවා යෑම සම්පූර්ණයෙන් ම අවහිර කරයි. එයට අමතරව, කන්ටේනර්, ගල්අඟුරු වංචා යනාදි චෝදනා ඔවුන් ගේ විනිවිදභාවය පිළිබඳ ජන විශ්වාසයට බලපාන බවත් සලකිය යුතු ය.
නව පක්ෂ සංස්කෘතියක් අවශ්‍යයි
සම්ප්‍රදායික පක්ෂවල තත්ත්වය ද සරල නොවේ. UNP, SJB, SLPP යනාදි පක්ෂවලට අද ඉතිරිව ඇත්තේ පැරණි සම්ප්‍රදායෙන් ඉවතට ගොස් නව පක්ෂ සංස්කෘතියක් ගොඩනැගීම ය. නායකත්ව ප්‍රතිසංවිධානය, පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රතිපත්ති–මූලික දේශපාලනය, සහ පවුල් පාලනය අවසන් කිරීම යනාදි පියවර අත්‍යවශ්‍ය වුවත්, බොහෝ පක්ෂවලට මෙය අභිමානයට, පවුල් බලයට, සහ පරණ සම්ප්‍රදායට එරෙහි මාවතක් බැවින් ඉතා දුෂ්කර මාවතක් වනු නියත ය. සජිත් ප්‍රේමදාස ගේ පදනම 25%–30% අතර ගමන් කරන අතර, UNP–SJB එකතුවීමෙන් ළඟා විය හැක්කේ උපරිම 30% පමණයි. SLPP නාමල් රාජපක්ෂ ගේ නායකත්වයෙන් 3% සිට 9% දක්වා ඉහළ ගියත්, ඔවුන්ටත් 30% සීමාව ඉක්මවා යෑම අසීරුය. එය ඉක්මවා යාම සඳහා පක්ෂය තුළ සිටි දක්ෂකම් පෙන්වා ඇති තරුණ නව නායකයින් ඉදිරියට ගෙන ආ යුතු අතර, දූෂණ චෝදනා සහ ජනතා අප්‍රසාදයට පත් පිරිස් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
30% ඉක්මවා නොගිය හොත්...?
මෙම සියලු දේශපාලන ගැටලු අතර, පරම්පරා වෙනසක් ද පැහැදිලිව දක්නට ලැබේ. කොළ, රතු, නිල් පාක්ෂිකත්වය මත ගොඩනැගුණු පරණ පරම්පරාව අවසන් වෙමින් පවතී. අද තරුණ පරපුර තම පවුල් දේශපාලන මතවාදයන්ට නොව, තම ආර්ථිකය, ජීවන මට්ටම, සහ අවස්ථා මත තීරණ ගනී. එම නිසා අනාගත දේශපාලනයේ දී තරුණ නායකත්වයට, ප්‍රතිපත්තිමය දේශපාලනයට, සහ ආර්ථික–මූලික ප්‍රතිපත්තිවලට වැඩි අවකාශයක් හිමිවනු ඇත.
මෙම සියලු දත්ත එකට බැලූ විට, ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය තීරණය කරන්නේ “කවුද රට පාලනය කරන්නේ...?” යන ප්‍රශ්නය මත නොව “කවුද රට ගොඩනගන්නේ...?” යන ප්‍රශ්නය මත රඳා පවතියි. ජාතිය, ආගම, බොරු පොරොන්දු, සහ වෛරී දේශපාලනය මත ගොඩනැගුණු පරණ ක්‍රමය අවසන් වෙමින් පවතී. අනාගතය ප්‍රතිපත්තිමය, සන්ධාන–මූලික, සහ නව පක්ෂ සංස්කෘතියක් මත පදනම් වේ. එවැනි නව දේශපාලන ආකෘතියක් නොමැති නම්, කිසිදු පක්ෂයකට 30% සීමාව ඉක්මවා යෑමට නොහැකි වනු ඇත.
ඉතිරිවන්නේ ප්‍රධාන ප්‍රශ්නයකි: ශ්‍රී ලංකාවේ දේශපාලන පද්ධතියට සරිලන ලෙස වෙනසක් සිදු කිරීමට පැරණි නායකයින්ට හැකිද? එසේ වෙනසක් සිදු කිරීමට පැරණි නායකයින් අකමැති නම්, නව නායකත්වයක් මතුවීම අනිවාර්ය ද...?
සුදත් චන්ද්‍රසේකර

