2017 පෙබරවාරි මස පැවැත්වූ 89වෙනි ඇකඩමි ඔස්කාර් සම්මාන උළෙලේ විදේශීය භාෂා අංශයට විවිධ රටවලින් ඉදිරිපත් කළ චිත්‍රපට 90ක් අතරින් හොඳම විදේශීය භාෂා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූයේ චිත්‍රපට 04 ක් පමණි.
ඉන් එක් නිර්දේශිත චිත්‍රපටයක් වූයේ ඔස්ට්‍රේලියාව ඉදිරිපත් කළ ‘ටැන්නා’ (Tanna) චිත්‍රපටය යි. මේ චිත්‍රපටයේ සුවිශේෂත්වය වනුයේ උළෙලට ඉදිරිපත් වූ අනෙක් චිත්‍රපට මෙන් නොව 'ටැන්නා' චිත්‍රපටයේ රඟ පෑ නළු නිළියන් කිසිවකුත් චිත්‍රපටයක රඟපෑම කෙසේ වෙතත් කිසි දිනෙක චිත්‍රපටයක් නරඹාවත් නොතිබූ අය වීම ය.
තම ගෝත්‍රයේ කලකට පෙර සිදු වූ සත්‍ය සිද්ධියක් නැවත ප්‍රතිනිර්මාණය කරන්නට එහි දෙවන පරම්පරාව ඉදිරිපත් වී ඇත. මේ චිත්‍රපටයේ කතාව මෙන්ම චිත්‍රපටය පිටුපස කතාව ද ඉතාම අපූරු එකක් වන්නේ ඒ නිසාය.
හද සසල කරවන ශෝකාන්තයක්
සිය ප්‍රේමය වෙනුවෙන් දිවි පුදන තරුණ ගෝත්‍රික පෙම් යුවළකගේ හද සසල කරවන කතාව ඉතා රමණීය දර්ශන තලවල රූ ගත කර ප්‍රේක්ෂකයාට අනාවරණය කර ඇත.
එය අපට රෝමියෝ ජුලියට් ඛේදාන්තය සිහි ගන්වයි. එහෙත් එය අප ගේ හද බැඳ ගන්නේ එය රෝමියෝ ජුලියට් මෙන් වංශවත් රදළ පෙළැන්තියේ රොමෑන්තික ප්‍රේමයක් නොව, නවීන ලෝකයෙන් වෙන්ව හුදකලාව අල්පේච්ඡ ජීවිත ගත කරන සොබා දහම සමග බැඳුණු අහිංසක මිනිසුන් ගේ කතාවක් වන බැවිනි. තරුණ ප්‍රේමවන්තයින් තම ප්‍රේමය වෙනුවෙන් ගෝත්‍රයේ සියලු සම්මත සහ චාරිත්‍ර බිඳ හෙළා අවසන සිය ජීවිත ද පුදන අයුරු ටැන්නා අපට රමණීය ලෙස විස්තර කරයි. මේ සියලු මහිම පාන්නේ වෙස් ගන්වන ලද වෘත්තීයමය මටසිලිටු නළු නිළියන් නොව පොළොවේ පය ගසා සිටින, දුඹුරු පැහැ, කර්කශ, ගෝත්‍රික මිනිසුන් සහ ගැහැනුන් පිරිසකි. ඔවුන් අපට ඔවුන් ගේ ගෝත්‍රයේ සිදු වූ ඒ හද සසල කරවන ශෝකාන්තය රඟ දක්වා පෙන්වන්නේ අපේ ඇසට කඳුලක් නංවමිනි..
කතා සාරාංශය
‘යකැල්’ ගෝත්‍රයේ ඊළඟ නායකයා වන ඩයින් සහ ගෝත්‍රයේ ම නව යොවුන් තරුණියක වන වාවා ප්‍රේමයෙන් බැඳෙති. ඔවුන් ගේ සුන්දර ප්‍රේමය ගහ කොළ දිය ඇලි ඈ සොබා දහම අතරේ සියල්ලන්ට රහසින් ගලා යයි. මේ බව දන්නේ වාවා ගේ බාල සොයුරිය සෙලින් පමණි. යකැල් ගෝත්‍රයට සතුරු වූ ඉමැඩින් නම් ගෝත්‍රයකින් ඔවුන් නිරන්තර පීඩාවට පත්වෙති. මේ වෛරය නිම කරන්නට අදහස් කරන යකැල් නායක චාලී ඔවුන් සමග සමගි සන්ධානයකට එළැඹෙයි. එහි දී ගෝත්‍ර දෙක අතර විවාහ සිදු වියයුතු බැව් යෝජනා කරන යකැල් ගෝත්‍රිකයින් ඒ සඳහා ආරම්භයක් ලෙස තම ගෝත්‍රයේ වාවා, ඉමැඩින් ගෝත්‍රයේ තරුණයකුට විවාහ කර දෙන්නට යෝජනා කරයි. මේ අවස්ථාවේ ඩයින් සාකච්ඡාවෙන් ඉවත්ව කෝපයෙන් පිටව යයි. මේ තත්ත්වය යටතේ රහස් ප්‍රේමය අනාවරණය වෙයි. විවාහ සිදු විය යුත්තේ වැඩිහිටියන් ගේ අණින් මිස යෞවන යෞවනියන් ගේ කැමැත්ත අනුව නොවන බව ගෝත්‍රයේ නීතිය බව සිහි ගන්වා වාවාට අවවාද කයි. තව දින දෙකකින් විවාහය පැවැත්වීමට ගෝත්‍ර දෙකෙහි නායකයින් එකඟ වෙති. එයට අවනත නොවන ප්‍රේමවන්තයින් රහසේම පළා යති. මේ නිසා ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් ගෝත්‍ර දෙක ගැටෙන්නට ආසන්න වේ. ඉමැඩින් ගෝත්‍රික නායක මිකුම් තමනට වූ අවමානයට ඩයින් සහ වාවා මරා දමන බව ශපථ කොට ඔවුන් සොයා පිටත් වෙයි. යකැල් නායක චාලී සිය මුණුබුරා වූ ඩයින් සහ වාවා බේරා ගැනීම පිණිස පිටත් වෙයි. මිකුම්ට කළින් චාලී විසින් ප්‍රේමවන්තයන් දෙදෙන සොයා ගැනේ. එහිදී චාලී විසින්, මේ විවාහය සිදු නොවුවහොත් ගෝත්‍ර දෙක අතර ගැටුමක් ඇති වී විශාල මිනිස් ඝාතනයක් ඇති වන බවත් ඒ නිසා මේ විනාශය නවත්වනු පිණිස ඩයින්ව අතහැර මේ විවාහයට කැමති වන ලෙසත් වාවාට පවසයි. ඩයින් තත්ත්වය තේරුම් ගෙන අපහසුවෙන් වුවත් එයට එකඟ වෙයි. නමුත් වාවා තම මතයේ ම සිටියි. එනම් ඩයින්ව අතහැරීමට අකැමති වෙයි. චාලී ඇයට දැඩිව බල කරන අතර පසුදා විවාහ ගිවිසුම ඉටු කරනු සඳහා තම ගම්මානය බලා ආපසු පිටත් වීම පිණිස පිරිස එදින රාත්‍රී ගල් ගුහාවක නතර වෙති. රාත්‍රී සියල්ලන්ට ම හොරෙන් ඩයින් එතැනින් පළා යයි. දූපතේ ඇති සක්‍රිය ගිනි කන්ද මතට පැමිණෙන ඔහු එතැන හුදකලාව සිටියි. (මේ ගිනි කන්ද ගෝත්‍රිකයන් ගේ දේව මාතාව ලෙස ඔවුන් අදහන අතර එය ඔවුන්ගේ පූජනීය ස්ථානය ලෙස සකති.) ඩයින් නොමැති බව දැනගන්නා වාවා අනෙකුන්ට සොරෙන් රාත්‍රියේ ම ඔහු සොයා පැමිණෙයි. ගිනි කන්ද ම තදී තරුණ පෙම්වතුන් එක්වෙති. දෙදෙනා නොමැති බව හිමිදිරියේ දැනගන්නා චාලි ඇතුළු පිරිස ඔවුන් සොයා යන අතර ඔවුනට හමු වන්නේ විෂ හතු වර්ගයක් අනුභව කොට එකිනෙකා වැලඳ ගෙන මියගොස් සිටින පෙම් යුවළයි. පූජනීය ගිනි කන්දෙන් පිටතට සුළඟින් ගසා ගෙන එන අඟුරු කුඩු ඔවුන්ගේ සිරුරු වසා පැතිර තිබෙයි. ගම්මානයට රැගෙන එන පෙම්වතුන් දෙදෙනා ගේ සිරුරු එක තැන මිහිදන් කරන අතර එතැනට රැස්වන චාලි ඇතුළු යකැල් ජනතාවත්, මිකුම් ඇතුළු ඉමැඩින් ජනතාවත්, තරුණ ජීවිත රැකගනු පිණිස මින්පසු ප්‍රේම විවාහවලට අවසර දීමට තීන්දු කරති. ඉන්පසු දෙපිරිස එක්ව ගෝත්‍රික ගායනා පවත්වමින් නටන අතර පිරිස අතර එක්ව නටන වාවාගේ බාල සොයුරිය වූ සෙලිනුත් තවත් පිරිමි දරුවෙකුත් කේන්ද්‍ර කොට රූපය නිශ්චල වීමෙන් චිත්‍රපටය අවසාන වෙයි.
පසුබිම් කතාවේ සිට සිනමා නිර්මාණය දක්වා
සම්මානනීය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන මාර්ටින් බට්ලර් සහ බෙන්ට්ලි ඩීන් ගෝත්‍රික ජනතාව පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිපදවීමේ අරමුණෙන් දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටැන්නා දූපතට පැමිණෙන්නේ 2015 වසරේ දී ය. එහි දී ඔවුනට හමුවන යකැල් ගෝත්‍රික ජනතාවගෙන් 1987 වසරේ දී ඔවුන් ගේ ගෝත්‍රයේ සිදු වූ අනුවේදනීය ප්‍රේම ශෝකාන්තයක් ගැන අසන්නට ලැබෙයි. වාර්තා චිත්‍රපටය පසුවට තබා මේ ඛේදාන්තය පිළිබඳව වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔවුහු තීරණය කරති. යකැල් ගෝත්‍රික නායක චාලි ගෙන් කතාව අසමින්, ඔහු සමග කතාවේ සැබෑ ස්ථාන වෙත ඇවිදිමින් තිර රචනය සැලසුම් කළ බව බට්ලර් පැවසුවේ ය.
“ප්‍රේමවන්තයන් හමු වූ තැන්, ඔවුන් දිවි පිදූ තැන හා ඔවුන් මිහිදන් කළ තැන ආදියට ගිය විට මට ඔවුන්ගේ සැබෑ ආදරයේ සුවඳ දැනුණා. ඒ තැන් ස්පර්ශ කරන විට තිර රචනය නිරායාසයෙන්ම මගේ සිතේ මැවුණා.”
ගෝත්‍රික ප්‍රජාව සමග සත් මසක්
ඉන් පසුව තිර රචනය ලිවීම ආරම්භ කර ඇත. නළුනිළියන් ගේ පහසුව පිණිස චිත්‍රපටයේ භාෂාව ලෙස ගෝත්‍රික ජනතාව ගේ භාෂාවන් වූ නවුව්වාල් සහ නෆේ භාෂාවලින් රූ ගත කිරීමට තීරණය කෙරිණි. ඩීන් සිය පවුල ම සමඟ පැමිණ ටැන්නා දූපතේ නවාතැන් ගත්තේ ය. ඔහු, බිරිඳ සහ දරුවන් සමග සත් මසක් ම දූපතේ ගත කර ඇත.
“එය අපට වටිනා අත්දැකීමක් වුණා. තාක්ෂණය සමග වැඩුණු මගේ දරුවන් සොබා දහමට ආදරේ කරන්න පටන් ගත්තා.”
සිද්ධියට සම්බන්ධ වූ සියලු දෙනා සමග කතා කරමින් ඔවුන්ගේ අදහස් ද සමගින් බට්ලර් හා ඩීන් තිර රචනය ලියා නිම කළහ; ඊට පසු තිබුණේ නළු නිළියන් තෝරා ගැනීමයි.
“අපට තෝරා ගැනීමට තිබුණේ ප්‍රධාන චරිත දෙක වූ පෙම්වතුන් යුවළත්, පෙම්වතිය ගේ බාල සොයුරිය ගේ චරිතයත් පමණයි. පෙම්වතුන් යුවළ මිය ගොස් සිටි බැවින් සහ බාල සොයුරිය වයසින් හා ශරීරයෙන් වැඩී සිටියා. අනෙකුත් සියලු ම චරිත ජීවමානව සිටියා.”
නළු වරණයට ගෝත්‍රික ප්‍රජාව ම...
පෙම්වතාගේ චරිතය සඳහා මුන්ගවු ඩයන් නම් ගෝත්‍රික තරුණයා තෝරා ගෙන ඇත.
“ඔහු තමා යකැල් ගෝත්‍රයේ සිටි ලස්සන සහ කඩවසම් ම තරුණයා. ඔහුට තිබුණේ කතා කරන ඇස් දෙකක්. අනිවාර්යයෙන්ම ඔහු තමා ඊට සුදුස්සා.”
පෙම්වතිය ගේ චරිතය සඳහා මාරි වාවා නම් ගෝත්‍රික තරුණිය තෝරා ගැනිණි. ඇය ගෝත්‍රික තරුණියන් අතර සිටි සිත් ඇද ගන්නා සහ බුද්ධිමත්ම තරුණිය වූවා ය.
“රූ ගත කිරීමේදී ඇය අපව විශ්මයට පත් කළා. අප කියන දේ ඇය සැණෙකින් තේරුම් ගන්නවා. එය ඒ විදියටම කරනවා. අපට මෙතෙක් හමු වී ඇති වෘත්තීය නිළියන් සියල්ලන් ම සිටින්නේ ඇයට පිටුපසින්.”
බට්ලර් සහ ඩීන් පැවසූහ.
නළු නිළියන් පුහුණු කිරීමේ නව්‍ය ක්‍රමය
කැමරාවකින් රූ ගත කිරීමක දී පිළිපැදිය යුතු කාරණා නළු නිළියන්ට අවබෝධ කරවීම දුෂ්කර කටයුත්තක් විය. කැමරා කෝණවලට හා රූප රාමු සීමාව තුළ රඟපෑම හුරු කරවීම අභියෝගයක් විය. ඔවුන් මීට පෙර චිත්‍රපටයක් දැක තිබුණේ නැත. ඒ පිළිබඳව අවධානය යොමු කළ ඩීන් සහ බට්ලර් තම නළු නිළියන්ට චිත්‍රපටයක් තිර ගත කර පෙන්වීම හොඳ ම විසඳුම බව තීරණය කළහ. දෙදෙන සාකච්ඡා කර ඒ සඳහා හොඳම චිත්‍රපටය ලෙස රොල්ෆ් ඩී. හෙයර් අධ්‍යක්ෂණය කළ Ten Canoes චිත්‍රපටය තෝරා ගත්හ. එය ගෝත්‍රික කතාවක් පදනම් කර ගත් චිත්‍රපටයක් වූ බැවින් නළුනිළියන් බොහෝ උනන්දුවෙන් එය නැරඹූහ.
තමන් වැනිම වු මිනිසුන් සහ ගැහැනුන් ආලෝකය හරහා පැමිණ තිරයේ පෙනී සිටීම ඔවුනට විශ්මය දනවන කාරණාවක් විය. එසේ පැමිණෙන්නේ කෙසේදැයි ඔවුනට තේරුම් කර දුන් පසු රූ ගත කිරීම ඇරඹී ය.
මුලදී නළු නිළියනට කරදරයක් වූයේ රඟපෑම යැයි අධ්‍යක්ෂවරුන් කියනා කාරිය කරන විට ඩීන් මහතා කළේ කැමරාවක් මානමින් ඔවුන් වටේ කරකැවීම ය.
“අපට ඒ (කැමරාව) දෙස නොබලා සිටීමට බැරි වුණා... අප ඒ දෙස බැලූ හැම විටම බට්ලර් මහතා කෑ ගසා වැඩේ නතර කළා... එය (කැමරාව) නැතිව මේ වැඩේ කිරීමට නොහැකිදැයි අප ඩීන් මහතාගෙන් ඇසුවා,” යැයි පසුව නළු නිළියන් පැවසූහ.
නමුත් ඉතා ඉක්මණින්ම ඔවුන් කැමරාවට හුරු වූහ. ඉන්පසුව අති සමීප රූප, රූ ගත කරන විට පවා කැමරාව දෙස බලනවා තබා සිය මුහුණේ හැඟීම් දශමයකුදු වෙනස් කර නොගැනීමට තරම් ඔවුන් වෘත්තීමය වූහ.
“රඟපෑම යනු කුමක්දැයි අප දන්නේ නැහැ. අප කළේ අපේ එදිනෙදා ජීවිතයේ හැමදාම සාමාන්‍යයෙන් අප කරන දේවල්මයි. අප කතා කළේ අපේ භාෂාවමයි. ඒ නිසා අපට අපහසුවක් වුණේ නැහැ. ඒ හැරත් අප මේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවන්. එදා සැබෑවටම අප කළ දේවල් අප නැවත කර පෙන්වූවා. වෙනසකට තිබුණේ සමහර විට එකම දේ කිහිප විටක් ම කරන ලෙස ඩීන් මහතා අපෙන් ඉල්ලා සිටීමයි.”
තමන්ට තමන් ම හඳුනා ගැනීමට අපහසුව...
ඇත්තෙන් ම ඔවුන් නිරූපණය කළේ තමන්ගේම චරිතය විය. ගෝත්‍රයේ වෙදැදුරා, චිත්‍රපටයේ වෙදැදුරා ගේ චරිතය ද, ගෝත්‍රික නායකයා, ගෝත්‍රික නායකයාගේ චරිතය ද ආදී වශයෙන් මිය ගිය පෙම්වතුන් ගේ සහ බාල සොයුරියගේ චරිත හැරෙන්නට අනෙකුත් සියලු චරිත තමන් ගේ චරිතය ම වීම ඔවුනට විශාල පහසුවක් විය. ඔවුනට වඩාත්ම පහසුවක් වූයේ චරිතයේ නම ද තමන්ගේ නම ම වීමය. චිත්‍රපටයේ සියලු කටයුතු අවසන්ව එය මුලින්ම ප්‍රදර්ශනය කළේ ද ටැන්නා ගෝත්‍රික ජනතාව වෙනුවෙනි. එය ඔවුනට විශ්මයජනක අත්දැකීමක් විය. තමන්ව ම, තමන් ඉදිරියේ ම දකින්නට ලැබීම විශ්වාස කළ නොහැකි දෙයක් විය. සමහරකු මේ සිටින්නේ තමන්දැයි සැක හැර ගනු පිණිස නැගිට ගොස් තිරය අත ගා බැලූහ.
චිත්‍රපටය තිරගත වීමෙන් ඉක්බිති...
2015 සැප්තැම්බර් 07 වෙනිදා චිත්‍රපටය ප්‍රසිද්ධ ප්‍රදර්ශනය පිණිස මුදා හැරීය; විචාරකයින් ගේ සහ ප්‍රේක්ෂකයින් ගේ මහත් වූ ප්‍රශංසාවට සහ ඇගැයීමට පාත්‍ර විය. එය ලොව පුරා චිත්‍රපට උළෙලවලට ද ඉදිරිපත් කළ අතර ඒ බොහොමයක දී සම්මාන දිනා ගත්තේය. නැතහොත් සම්මාන සඳහා නිර්දේශ විය.
එය AACTA සම්මාන උළෙල The Australian Academy of Cinema & Television Arts සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව: හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය සහ හොඳම ශබ්ද පරිපාලනය යන අංශ සඳහා නිර්දේශ වූ අතර හොඳම සංගීතය සඳහා වූ සම්මානය දිනා ගත්තේ ය. අප්‍රිකානු අමෙරිකානු චිත්‍රපට විචාරක සම්මාන උළෙලේ දී African American Film Critics Association හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර FCCA (Film Critics Circle of Australia) සම්මාන උළෙලේ දී: හොඳම චිත්‍රපටය, හොඳම කැමරාකරණය සහ හොඳම සංස්කරණය සඳහා නිර්දේශ වූ අතර හොඳම සංගීතයට හිමි සම්මානය ලබා ගත්තේ ය. තව ද 2017 ඇකඩමි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සඳහා ඉදිරිපත් කළ චිත්‍රපට 90ක් අතරින් තෝරා ගත් නිර්දේශිත චිත්‍රපට හතරෙන් එකක් විය.
සම්මාන උලෙළ නියෝජනය සාම්ප්‍රදායික ඇඳුමෙන් ම...
මේ සම්මාන උළෙලවලින් කිහිපයකට ප්‍රධාන නළු නිළි යුවළ ඇතුළු චිත්‍රපටයට සම්බන්ධ වූ ගෝත්‍රික නළු නිළියන් කීප දෙනෙක් සහභාගි වූ අතර එම උත්කර්ෂවත් අවස්ථාවනට ඔවුන් සහභාගි වූයේ තම සම්ප්‍රදායානුකූල ඇඳුම වූ හණ පට්ටයෙන් තනා ගත් ඉතා සරල ක්‍රමයෙන් සැරසී ගෙන ය. ඔවුනට ඇඳුම වනාහී විළි වසා ගැනීමේ මෙවලමක් පමණක් මිස විලාසිතාවක් හෝ උද්ධච්ඡකමේ උපාංගයක් නොවී ය.
සියල්ල නිමවීමෙන් ඉක්බිති...
ලෝකයේ ම රසික ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ මේ වික්‍රමය කළ විශිෂ්ට නළු නිළි පිරිස අදටත් ටැන්නා දූපතේ ජීවත් වීමේ අරගලයට මුහුණ දෙමින් සිටිති. වාවා, දියෙහි බැස හණ පත්‍ර පොඟවමින් සහ ගලෙහි ගසා තළමින් ඒවායේ පට්ට වෙන් කර ගනිමින් විළි වසා ගැනීම පිණිස ද, ගිනි කාෂ්ටක අව්වේ පිච්චෙමින් අමු දඩ මස් වේලමින් ආහාර පිණිස ද අරගල කරනා අතර, ඩයන් ජීවත් වීම පිණිස දඩ මසක් සහ මී පැණි සොයා කැළෑ වදින්නේ ය. ඒ, ඔවුන් තවදුරටත් ඒ සා විශිෂ්ට කාර්යයක් ඉටු කළ නළු නිළියන් නොව ශිෂ්ට යැයි හඳුන්වන සමාජය විසින් ම්ලේච්ඡයින් ලෙස හැඳින් වූ සහකොන් කළ ගෝත්‍රිකයින් බැවිනි. ටැන්නා චිත්‍රපටයට සහභාගි වීම ඔවුනට එක් අමුතු අත්දැකීමක් සහ තමන් ගෙන් ඉටු විය යුතු යුතුකමක් මිස තමනට ආභරණයක් නොවන බව ඔවුන් වටහා ගෙන ඇති සේය.
තමන්, ආහාර රස කර ඉන් පසු ඉවත ලන කරපිංචා බව ඔවුන් වටහා ගෙන ඇති සේය....
Nimal Francis
ප.ලි.
මේ සුන්දර චිත්‍රපටයේ දර්ශන ඔබට u tube ඔස්සේ නැරඹිය හැකියි.


