සමාජ පිළිලයක් වූ ළමා හිංසනය

සමාජ පිළිලයක් වූ ළමා හිංසනය

සමාජ පිළිලයක් බවට පත්ව තිබෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වන කාරණයක් බවට පත්ව ඇත. 

පවුලක, රටක පමණක් නොව සමස්ත ලෝකයේ ම  බලාපොරොත්තුව වන්නේ ළමා පරපුරයි. ඔවුන් වැඩිහිටි රැකවරණය යටතේ සිටිය යුතු පිරිසකි. නමුත් ලොව පුරා අසන්නට දකින්නට ලැබෙන්නේ ළමයින්ට සිදුවන විවිධාකාරයේ හිංසන, පීඩන පිළිබඳ පුවත් ය. අද වන විට ලෝකයේ පවතින තත්ත්වය සමග මේ පිළිබඳ සාකච්ඡා බහුලව දැක ගත හැකි ය. ලාංකීය සමාජ තුළ ද අඩුවක් නැතිව මේ ළමා හිංසනය අත්දැකිය හැකි ය.

ළමයා සහ ළමා හිංසනය යනු?

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට  අඩු සෑම මානවයකු ම ළමයකු වේ.

ප්‍රංශ ජාතික ජින් ජැක් රූසෝට අනුව ළමයා යනු ළමයෙකි ඔහු කුඩා වැඩිහිටියෙකු නොවේ.

ළමා පාර්ශ්වයට කායිකව හෝ මානසිකව සෞඛ්‍ය පැවැත්මට, වර්ධනයට හෝ ගෞරවයට හානි වන පරිදි වැඩිහිටියෙකු හෝ වෙනත් අයෙකු විසින් සිදුකරන ඕනෑම ශාරීරික, ලිංගික මානසික හෝ නොසලකා හැරීමේ ක්‍රියාවක් ළමා හිංසනයක් ලෙස අර්ථ දැක්විය හැකි ය. එනම් දරුවකු ගේ යහපතට එරෙහිව සිදුකරන ඕනෑ ම අයහපත් ක්‍රියාවක් වේ.

ඕනෑම තැනකදී දරුවන්ට එරෙහි හිංසනය සිදුවිය හැකි ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ අධ්‍යයනයක දී ළමයින් හිංසනය අත්දකින ස්ථාන ලෙස පවුල, පාසල සහ අධ්‍යාපනික වටපිටාව, ආරක්‍ෂාව සහ යුක්තිය පිළිබඳ වටපිටාව, සේවා වටපිටාව සහ ප්‍රජාව හඳුනාගෙන ඇත. එසේම ළමයින් විවිධාකාර ස්වරූපවලින් හිංසනයට ගොදුරු වේ.

ළමා හිංසනයේ ස්වරූප

childකායික අපයෝජනය, ලිංගික අපයෝජනය, මානසික චිත්තවේගික/ වාචික අපයෝජනය, ළමා ශ්‍රමිකත්වය, ළමා ජාවාරම, නොසලකා හැරීම, ළමා විවාහා යනාදි විවිධාකාරයේ ස්වරූපවලින් ළමා හිංසනය සිදුවිය හැකි ය. මේ සඳහා ඕනෑ තරම් නිදසුන්, සාක්ෂි ලොව පුරා රටවල්වලින් හමු වේ. ශ්‍රී ලංකාවේ ද මේ විවිධාකාරයේ ළමා හිංසනවලට අදාළ විවිධ සිදුවීම් ඕනෑ තරම්ය .

එය අනුව දරුවකු ගේ ශරීරයේ කුමන හෝ කොටසකට හිතාමතා සිදුකරන, බලහත්කාරයෙන් සිදු කරන ක්‍රියාවක් කායික අපයෝජනයක් වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 80% දරුවන් නිවසේ දී කායික අපයෝජනවලට ගොදුරු වේ. ශ්‍රී ලංකාවේ ළමුන් ගෘහස්ථ හිංසනයේ ගොදුරු බවට පත්වන බවට ඉතාම සංවේදි සිද්ධින් කිහිපයක් පෙන්වා දිය හැකිය.

වැලිඔය ප්‍රදේශයේ “කුකුල් චමින්ද” නමින් හඳුන්වන පුද්ගලයෙක් තමාගේම දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විම අපි දුටුවෙමු. තව ද පෙරපාසල් වියේ පසු වූ දරුවකුගේ ගෙල තම මව විසින් ම කපා ජීවිතක්ෂයට පත් කිරීම හරහා ළමයා ගේ ජීවත්වීමේ අයිතිය ද අහිමි කරන ලදි. එපමණක් නොව උපන් කිරි දරුවන් මහමග දමා යැම, කුණු කාණුවල, වැසිකිළිවල පමණක් නොව මහ මුහුදට විසිකිරීම පිළිබඳ පවා සංවේදී සිදුවීම් රැසක්ම ගෙවුණු කාලය තුළ අපේ රටින් වාර්තා විය. 

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ද දරුවන් ද මෙවැනි කායික හිංසනයට ලක් වේ. පහරකෑම්, දණගැස්සවීම්, ලිංගික අතවර යනාදි ශාරිරික හිංසන ඒ අතර විශේෂ වේ. වාර්ෂිකව 80%ක් පමණ පාසල් සිසුන් කුමන හෝ ශාරිරික දඩුවමකට ලක්වන බවට වාර්තා වී ඇත.

මෙම ශාරිරික හිංසනයට ලක්වන දරුවන් වැඩිවියට පත් වූ විට කලහකාරී, ප්‍රචණඩ ක්‍රියාවන්ට නැඹුරුවීමත්, ඔවුන් මුළු ජීවිත කාලය ම පරාජිත මානසිකත්වයකින් ගෙවන බවත් පර්යේෂකයින් සොයාගෙන ඇත.

ලිංගික අපයෝජනයක් යනු...

sex1

අපයෝජකයා ගේ සතුට පිණිස ලිංගික අරමුණු උදෙසා ළමයින්ට කරනු ලබන ඕනෑම ආකාරයේ ලිංගික ක්‍රියාවක් ලිංගික අපයෝජනයක් ලෙස හැඳින්විය හැකි ය. බොහෝ අවසථාවල එසේ  අපයෝජනයට පත් ළමුන් අපයෝජනය කර ඇත්තේ සමීපව ඇසුරු කළ පිරිස් ය; හොඳින් ම දන්නා හඳුනන පිරිස් ය. මෙවැනි අපයෝජනවලට ලංකාවේ නිදසුන් ඕනෑ තරම් ය. තම පවුලේම පියා ගෙන් සහෝදරයන් ගෙන් නෑදෑයන් ගෙන්, හිතවත් අසල්වාසින් ගෙන් ලිංගික අතවරයට ලක්වන ළමුන් ඕනෑ තරම් ඇත; ප්‍රසිද්ධ ම සිද්ධියකි සේයා සදෙව්මිණි දැරිය ඝාතනය.

ළමා ලිංගික හිංසනයේ දී ගැහැණු ළමුන් සේම පිරිමි ළමුන් ද ලිංගික හිංසනයට ගොඳුරු වේ. ශ්‍රී ලංකාවේ 2025 වර්ෂයේ යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් වාර්තා වන අතර 2026 මුල් මාස දෙක ඇතුළත දි 12ක් වාර්තා වේ.

වාචික අපයෝජනය යනු...

childabuse

තර්ජනය කිරීම, ළමයින් ලැජ්ජාවට පත් කිරීම, සරදම් කිරීම, විවේචන එල්ල කිරීම, විවිධ නම් පට බැඳීම, බැණ වැදීම ආදිය වාචික අපයෝජනයේ විවිධ ස්වරූප වේ. මෙය ඉතා බරපතල කාරණයකි. ළමයකු මානසිකව බිඳ දැමීම මහ අපරාධයකි. මන්දයත් බිඳවැටෙන මානසිකත්වයෙන් යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීමට ඔහුට දිගු කාලයක් ගත වේ. ඇතැම් විට ජීවිත කාලය පුරාවටම එය බල පෑ හැකි ය. ඇතැම් දරුවන්ට විවිධ නම් පට බදිමින් විවිධාකාරයේ සමච්චලයට ලක් කරමින් කරන්නාවූ වාචික අපයෝජනය දරුවකු ගේ ජීවිතය අතිශය කනගාටු කිරීමට පවා හේතු විය හැකි ය. එබැවින් ළමයින් සම්බන්ධයෙන් වචන ගනුදෙනු කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු ය.

ළමා ශ්‍රමිකත්වය

කායිකව හානිදායක වූ ළමා කාලය අහිමි කරන හෝ ළමයින්ගේ උපරිම විභවතාවයට ළඟා වීමෙන් වළක්වාලන ක්‍රියා ළමා ශ්‍රමිකත්වය ලෙස හඳුනාගත හැකි ය. දරුවන් වැඩවල යෙදීමට බලකිරීම වැඩ කරවීමට හිංසනය නිතර භාවිත කරයි. 

බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල මෙන් ම දරිද්‍රතාවයේ යටි පතුලේ සිටින සමාජවල මෙය බහුලව දැකිය හැකි ඛේදනීය තත්ත්වයකි. විවිධ තාඩන පීඩන මධ්‍යයේ ළමුන් අවදානම් සහගත වැඩවල යෙදවීම ද දැකිය හැකි ය. ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීමත් මේ අතර වේ. ලෝකයේ මිලියන 215 ක් පමණ ළමයින් ළමා ශ්‍රමිකයින් බවට පත්ව ඇති බව ගණන් බලා ඇත.

child1

සූරා කෑමේ අරමුණින් ළමයකු බඳවා ගැනීම, ප්‍රවාහනය කිරීම මාරු කිරීම හා ආරක්ෂාව සැලසීම ළමා ජාවාරම නම් වේ. ජාවාරම් කරන ලද ළමයින් නිරන්තර යොදා ගන්නේ ලිංගික හෝ මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා ශ්‍රමිකයින් ලෙස ය. විශේෂයෙන් ම ළමා වෙළදාමක් හඳුනාගත හැකිය. එවන් සිදුවීම් කිහිපයක් අපේ රටේන් ද වාර්තා වි තිබේ.

ළමා විවාහ

දුප්පත් හා දුෂ්කර බොහෝ ප්‍රජාවල ළමා විවාහය බහුලව සිදු වේ. වයසින් ළාබාල ගැහැනු ළමුන් වැඩිමල් පිරිමින්ට විවාහ කරදීමෙන්, පවුලෙන්, මිතුරු මිතුරියන්ගෙන් හා අධ්‍යාපනික අවස්ථාවන්ගෙන් වෙන් වෙයි. ඔවුන්ගේ ළමා කාලය ද ඔවුන්ට අහිමි වේ. මේ ළමා විවාහය තුළ සිදුවන්නේ ළමයා කුඩා වැඩිහිටියෙකු බවට පත්වීමයි. මන්ද යත් විවාහයක් තුළ දරන්නට සිදුවන වගකීම්, යුතුකම් ඉටුකිරීමට බැඳි සිටින බැවිනි. එසේම ඇතැම් විට අඩු වයසේ දී ම මව්වරු බවට පත්වීමට ද සිදුවනු ඇත. ශ්‍රී ලංකාවේ 2025 වර්ෂයේ ළමා විවාහා 09ක් වාර්තා වී ඇති 2026 මුල් මාස දෙක ඇතුළත දි ළමා  විවාහා 03ක් වාර්තා වී ඇත. 

marr

ළමයින්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම්, පැලඳුම්, අධ්‍යාපනය, ආදරය, රැකවරණය යනාදී අවශ්‍යතා සපුරා නොදීමෙන් ළමයා නොසලකා හැරීම සිදු වේ. ළමුන්ට ජීවත්වීමේ, ආරක්‍ෂාව ලැබීමේ, සංවර්ධනය වීමේ, සමාජයේ ක්‍රියාකාරීව සහභාගිවීමේ අයිතිය පවතී. නමුත් ළමා හිංසනය තුළ ඒ සියල්ල ම ඔවුන්ට අහිමි වේ. ලෝකයේ ම අනාගත භාරකරුවන් වන්නේ ළමුන් ය. එනිසා ම යහපත් අනාගතයක් වෙනුවෙන් ළමා පරපුර රැකගත යුතු ය.

දරුවන් අපයෝජනයට සහ අපචාරයට ලක් වීමේ ප්‍රවණතාව ලොව පුරා ව්‍යාප්ත වී ඇති පසුබිමක ළමා පැවැත්මට තර්ජනයක් ලෙස යුද්ධය, ස්වභාවික විපත්, මන්ද පෝෂණය, කුරිරු ලෙස ශ්‍රමය ලබා ගැනීම, ළමුන්ට විරුද්ධ කෘරත්වය, රැකවරණය නොමැතිවීම ද මේ අතර ප්‍රධාන වේ.

යුද්ධය ළමා ජීවිතය ම පීඩිත කරයි

විශේෂයෙන් ම යුද්ධය ළමයින්ට සම්පුර්ණ ඔවුන්ගේ අයිතීන් අහිමි කරමින් ජීවත්වීමේ අයිතිය අහිමි කරයි. ඇතැමුන් ජීවිත කාලය පුරාවටම ආබාධිතයින් ය. මේ වන විටත් මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සමීපම අත්දැකීමයි. යුද්ධයක් යනු කුමක්දැයි නොදන්නා අහිංසක ළමා ජීවිත කොපමණක් නම් මේ යුද්ධය විසින් උදුරාගෙන ඇති ද? නමුත් යුද්ධයේ බිහිසුණු බව දන්නා වැඩිහිටියෝ වඩා බිහිසුණු කරමින් යුද්ධ කරති. නමුත් ඔවුන්ම ළමා අයිතින් ගැන ද කතා කරති, ප්‍රතිපත්ති හදති. යුද්ධය ළමයකුට තම ජීවිතයේ සියල්ල අහිමි කරවන කෘතීම හේතුවක් වේ. වසර ගණනාවක් පුරා අපේ රටේ පැවති යුද්ධයෙන් ද දැවැන්ත ළමා සංහාරයක් සිදු විය. ඉතාම කුරිරු ලෙස ළමා ජීවිත බිලිගත්තේ:

අටවන ලද බෝම්බ, වෙඩි උණ්ඩ පමණක් ම නොවේ. ඇතැම් අවස්ථාවන්වල දුෂණයවීම්වලින් ද, පවුලේ සියලු දෙනා අහිමි කරවීමෙන් ද යුද්ධය ළමයින් පීඩාවෙන් මිරිකා දැමී ය. විවිධ ත්‍රස්තවාදී, දේශපාලන ගැටුම් නිසාවෙන් දරුවන් අවතැන්වීම, මවුපියන් අහිමිවීම, රැකවරණය අහිමිවීම, අධ්‍යාපනය,සෞඛ්‍ය අහිමිවීම, පෝෂණය නොමැතිවීම, අනාථ කඳවුරුවල, ළමා ගම්මානවල, ළමා නිවාසවල කොටුවන ළමුන් ප්‍රමාණය විශාල ය.

iran

මේ ආදි වශයෙන් ළමා හිංසනය සමාජ පිළිලයක් බවට පත්ව ඇති බව පුළුල්ව සාකච්ඡා කල හැකිය. එය සංක්ෂිප්ත කිරීම අපහසු කාරණයකි. මෙහි දී විශේෂයෙන් ම ළමයින් හිංසනයට ලක්වන ස්වරූප පිළිබඳ සරල විවරණයක් එසේ හඳුනාගත හැකි ය.

ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි

ළමා අපයෝජන සහ අනෙකුත් ළමා ආශ්‍රිත පැමිණිලි වාර්තා වීමේ දී, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය හා තොරතුරු ඒකකය සඳහන් කරන ආකාරයට  2025 වසරේ දි සමස්ත පැමිණිලි ලෙස 10825ක් වාර්තා වේ. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රීක්කයෙනි. ඒ 1423ක් වූ පැමිණිලි සංඛ්‍යාවකි. අඩුම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ කිලිනොච්චි දිස්ත්‍රීක්කයෙනි. ඒ පැමිණිලි 47ක් වශයෙනි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය හා තොරතුරු ඒකකයට අනුව 2026 වර්ෂයේ ගෙවුණු මුල් මාස දෙක (ජනවාරි සහ පෙබරවාරි) ඇතුළත මෙවැනි පැමිණිලි 1245ක් වාර්තා වී ඇත. ඒ අනුව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් වන අතර ඒ 165ක් ලෙස ය. එසේම අඩුම පැමිණිලි සංඛ්‍යාවක් මන්නාරම දිස්ත්‍රීක්කයෙන් වාර්තා වන අතර ඒ පැමිණිලි 07කි.

ළමයින් සම්බන්ධ සංවිධාන

එසේ ම අතීතය ළමුන්ට සිදුවන හානි සහ අකටයුතුකම් සම්බන්ධයෙන් විශේෂ නීති රීති හෝ දඬුවම් නොවුණු අතර ළමයකුට විරුද්ධව නැගුණු චෝදනා වැඩිහිටියකු ගේ තත්ත්වය විනිශ්චය විය. නමුත් වර්තමානය වන මේ තත්ත්වය වෙනස් වී ඇත. ළමා අයිතීන් සුරැකීම වෙනුවෙන් ගෝලීයව විවිධ සංවිධාන බිහි වී ඇත. ඒ අතර ප්‍රධාන වශයෙන් ම එක්සත් ජාතින්ගේ ළමා අයිති පිළිබඳ කොමිසම ප්‍රධාන වේ.

national

ශ්‍රී ලංකාවේ ද ප්‍රාදේශිය වශයෙන්, දිස්ත්‍රික්ක මට්ටමින් මෙන් ම ජාතික මට්ටමින් ද ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට, ප්‍රාදේශිය ළමා සුපරීක්ෂණ කමිටු, රාජ්‍ය නොවන සංවිධාන, පරිවාස කාර්යාල, දිස්ත්‍රීක් ළමා අයිතිවාසිකම් කමිටු, මානව හිමිකම් කොමිසම, පොලිස් ස්ථාන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය,පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිසම් සභාව ආදි සංවිධාන ශ්‍රී ලංකාව තුළ පවතින අතර ශ්‍රී ලංකාවේ නීති රාමුව තුළ ළමා අයිතීන් සුරැකීමට, ළමා හිංසනය පිටුදැකීම සඳහා නීති ගණනාවක් පවති. එමෙන් ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ළමා අයිතින් ආරක්ෂා කිරීමට බැඳි ඇත. 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත හුදු ලියවිල්ලක් බවට පත් නොවී එහි කරුණු 19කින් සමන්විත කර්තව්‍යය මෙරටේහි ප්‍රායෝගිකව සිදු කිරීමට හැකියාවක් පවතී නම් හෙට දිනයේ කිරුළු පලදින්නට සමස්ත දරු පරපුරට හැකි වනු ඇත.

nirmalaa

 

නිර්මලා දිසානායක

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න