සලේගේ නීතීඥයා උසාවියට බොරු කියයි...
රාජ්‍ය බුද්ධි සේවය තියෙන්නේ පොලිස්පති යටතේලු...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ වටා මේ වනවිට දැවැන්ත මිථ්‍යා ප්‍රබන්ධ සම්භාරයක් ගොඩනැඟෙමින්, ඔහුමත් විසල් මිථ්‍යා ප්‍රබන්ධයක් බවට රූපාන්තරණය කෙරෙමින් පවතී.
සුරේෂ් සලේ මෙලෙසින් මිථ්‍යා ප්‍රබන්ධයක් බවට පත්කරලීමේ දැනුවත් ක්‍රියාදාමය පසුපස ඇත්තේ අනෙකක් නොව, පාස්කු දින ප්‍රහාරය පසුපස වූ බවට සැකකැරෙන කුමන්ත්‍රණය හෙළිදරව් වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් විශාල පිරිසක් භීතියට පත්වී සිටීම බව අපේ නිරීක්ෂණය යි.
යුක්තිය සොයා යෑමේ ගමනේ අනිවාර්ය ක්‍රියාන්විතයක්...
සුරේෂ් සලේ නම් මිථ්‍යා ප්‍රබන්ධයේ කෑල්ලෙන් කෑල්ල ගලවා ඒ පසුපස පවත්නා යථාව පාදාගෙන බොල් පිළිම බිඳහෙළීම, හුදෙක් පාස්කු ඉරු දින ප්‍රහාරයට පමණක් නොව මේ රටේ දැනට අහිමි කර ඇති යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාදාමයට ම අතිශයින් වැදගත් වන ක්‍රියාන්විතයකි. මන්ද යත්, ශ්‍රී ලංකාවේ අපරාධවලට- විශේෂයෙන් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සිදුකළ අපරාධවලට යුක්තිය ඉටුකරගැනීමෙහි ලා ගන්නා සෑම ප්‍රයත්නයක් ම පාහේ ආවරණය කරගෙන ඉන්නා මහා ‘රණවිරු’ මිථ්‍යාවේ, මෙතෙක් විමර්ශන ක්‍රියාවලියකට හසුවූ දැවැන්තමයා සහ ප්‍රබලතමයා වන්නේ සුරේෂ් සලේ බැවිනි. මේ ‘දැවැන්තමයා සහ ප්‍රබලතමයා’ පසුපස වැඩිපුර ම පවතින්නේ අතිශයෝක්තියට නැගූ සහ කරුණු වශයෙන් බෙහෙවින් නොමග යවන සුළු සුවිසල් මිථ්‍යා කතා සමූහයක් ය යන්න හෙළිදරව් කරගැනීම ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාවේ යුක්තිය සොයා යන ගමනේ සන්ධිස්ථානීය ක්‍රියාදාමයක් ලෙස සැලකීම වැරදි නැත. මේ සුවිසල් මිථ්‍යා ප්‍රබන්ධයට අභියෝග කිරීමේ කර්තව්‍යයට කාලෝචිත ම දොරටුවක් ලෙස අප දකින්නේ පසුගිය 11වන දා ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු ගේ නීතීඥයා විසින් උසාවිය නොමග යවමින් සිදුකරන ලද ප්‍රකාශ කිහිපයක සත්‍යතාව සොයාබැලීම යි.
සාරා ජස්මින් මියගිය බව කීමට පොලීසියට බලපෑම් කළ සලේ
නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ
පාස්කුදින ප්‍රහාරයට අදාළව නම කියැවෙන සාරා ජස්මින් නම් ආන්දෝලනාත්මක කාන්තාව සයින්දමරදු පිපිරීමෙන් මියගියවුන් අතර නොසිටින බවට DNA පරීක්ෂණ වාර්තා දෙකකින් හෙළිදරව් වී තිබියදීත්, තවත් DNA පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට, සීඅයිඩීයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට සහ හිටපු සීඅයිඩී අධ්‍යක්ෂ නිශාන්ත සොයිසාට බලපෑම් කර තිබෙන්නේ සුරේෂ් සලේ බව විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි සීඅයිඩීය එදින අධිකරණයට වාර්තා කළේ ය. සුරේෂ් සලේ මේ බලපෑම උච්චතම අවස්ථාව කරා ගෙනගොස් ඇත්තේ, ආරක්ෂක මණ්ඩලයේ දී ජනාධිපතිවරයා ලවා ම මෙම බලපෑම සිදුකිරීමට කටයුතු කිරීමෙන් බව ද සීඅයිඩී වාර්තාවල දැක්වේ. සුරේෂ් සලේ විසින් දිගින් දිගට ම එල්ලකරන ලද එම පීඩනය දරාගත නොහැකිව තමන්ට හෘද රෝගී තත්ත්වයක් ඇතිවී, විවෘත හෘද සැත්කමකට පවා භාජනය වන්නට සිදුවූ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.
සලේ වෙනුවෙන් අධිකරණයේ දී ඇදබෑ අල්ලේ පැළවෙන නීතීඥ බොරු
අධිකරණය හමුවේ සීඅයිඩීය මේ කරුණු අනාවරණය කළ විට සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න විමසා සිටියේ, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ තම සේවාදායකයා පොලිස්පතිවරයාට හා නියෝජ්‍ය පොලිස්පතිවරයකුට ආරක්ෂක මණ්ඩලයේ දී බලපෑම් කරන්නේ කෙසේද කියා ය. ඔය කියන නිලධාරීන් එදා හිටියේ කෝට් එකක් ඇඳගෙන ද නැතිවදැ’යි ප්‍රශ්න කරමින්, මෙය ලැජ්ජාවට කරුණක් බව ද පැවසූ නීතීඥවරයා තව දුරටත් කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය පවතින්නේ පොලිස්පතිවරයා යටතේ බව ය. අනුජ ප්‍රේමරත්න මේ කතාව කියන්නේ කෝට් එකක් නොව කලිසමක්වත් ඇඳගෙනදැ’යි අපට විමසන්නට සිදුවන්නේ, කරුණුමය වශයෙන් ඔහු කියන දෙය මුළුමනින් ම සාවද්‍ය බැවිනි. අධිකරණය හමුවේ මෙවැන්නක් කියාසිටින්නට පෙර අඩු තරමේ තමන් ගේ සේවාදායකයා යුදහමුදාවේ දැරූ අවසන් හා වඩාත් ම බලසම්පන්න තනතුරට ඔහු පත්කළේ කවුද, ඔහු ප්‍රධානියා වූ ආයතනය ඍජුව ම පාලනය වන්නේ කවුරුන් යටතේ ද යන්න සොයාබලා පැමිණ සිටියා නම් මේ තරම් නරක විදියට නීතීඥ පේමරත්න ගේ කෝට්එකේ පමණක් නොව කලිසමේ ද සායම නොයන්නට ඉඩ තිබිණි.

රාජ්‍ය බුද්ධි සේවය ඇත්තේ කවුරු යටතේ ද...?
රාජ්‍ය බුද්ධි සේවය හෙවත් SIS (State Intelligence Service) පවතින්නේ පොලිස්පතිවරයා යටතේ නොවේ. එය ආරක්ෂක අමාත්‍යවරයා යටතේ පවතින ආයතනයකි. විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කිරීමෙන් අනතුරුව වැඩිම කාලයක් ආරක්ෂක අමාත්‍යාංශය පැවතී ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ය. ඒ අනුව පාස්කුදින ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ජනාධිපති සිරිසේන යටතේ පැවැති රාජ්‍ය බුද්ධි සේවය, සලේ එහි අධ්‍යක්ෂවරයා වනවිට පැවැතියේ ජනාධිපති ගෝඨාභය යටතේ ය. ගෝඨාභය ජනාධිපති ධුරයට පත්වූ ආසන්නයේ ම, එනම් 2019 දෙසැම්බර් මුල් භාගයේ ප්‍රේමරත්න නීතීඥවරයා ගේ සේවාදායකයා වන සලේ ඒ තනතුරට පත්කරන්නේ ද ගෝඨාභය යි.
සලේ පත්කරන තැන දක්වා සාමාන්‍ය සම්ප්‍රදායයේ හැටියට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වූයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් වුවත්, ප්‍රේමරත්න නීතීඥවරයා ගේ සේවාදායකයා වන සලේ ඊට පත්වන්නේ ඒ සම්ප්‍රදායය බිඳ දමා පොලිස් සේවයට බැහැරින් ඒ ආයතනයට පත්කරන පළමු අධ්‍යක්ෂවරයා වශයෙනි. ඒ අනුව, සලේගේ පත්කිරීමෙන් සිදුවූවා නම් සිදුවූයේ, රාජ්‍ය බුද්ධි සේවාවෙන් පොලිස්පතිවරයා ගේ සම්බන්ධය තව දුරටත් ඈත් කිරීමකි. රාජ්‍ය බුද්ධි සේවාව යනු තනිකර ම ආරක්ෂක අමාත්‍යවරයා, එනම් ජනාධිපතිවරයා යටතේ පවත්නා, ඔහු යටතේ ඍජුව ම ක්‍රියාත්මක වන, ඔහුට ම වගකියන ආයතනයක් ය යන්නත්, එහි ප්‍රධානියා හෙවත් අධ්‍යක්ෂවරයා තනිකරම ක්‍රියාත්මක වන්නේ ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා යටතේ බවත්, ඔහු වගකියන්නේත් ජනාධිපතිවරයාට පමණක් බවත් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වරින් වර පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව ඇතුළු විවිධ කොමිෂන් සභා, කාරක සභා කමිටු ඇතුළු ව්‍යූහ වාර්තා උඩින් පල්ලෙන් හෝ බැලුවා නම් උගත් ජනාධිපති නීතීඥවරයාට තේරුම්ගන්නට හැකියාව ලැබෙනු ඇත.

කොමිෂන් වාර්තාවලින් හෙළිවන්නේ මොනවා ද...?

පාස්කු දින ප්‍රහාරය සිදුවන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඍජුව ම ක්‍රියාත්මක වූයේ ජනාධිපති සිරිසේන යටතේ බව සහ ඒ සම්බන්ධයට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට පවා අතපොවන්නට නොහැකි වූ ආකාරය එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කළ ප්‍රකාශයෙන් මොනවට පැහැදිළි වෙයි. එපමණක් නොව, උගත් නීතීඥවරයා ගේ සේවාදායකයා ම උක්ත ජනාධිපති කොමිෂන් සභාවට ලබාදුන් පිටු 148ක් පුරා දිවයන ප්‍රකාශයේ මුල් පිටු කිහිපයවත් කියෙව්වා නම්, රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා වශයෙන් තමන් ජනාධිපතිට පමණක් වගකියන බව පමණක් නොව, ජනාධිපතිවරයකු තමන් කියන දෙය නොතකා හරින විට ඒ තත්ත්වය වෙනස් කරවාගෙන, තමන්ට අවශ්‍ය දේ සිදුකරන තැනට ජනාධිපතිවරයා පත්කරගන්නා ආකාරය ද සලේ කදිමට විස්තර කරනු නීතීඥවරයාට පහසුවෙන් කියවාගන්නට තිබිණි. එසේම ආරක්ෂක මණ්ඩලය නමින් හැඳින්වෙන ව්‍යූහය තුළ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා රඟදක්වන අතිශය බලසම්පන්න භූමිකාව ද ඒ වාර්තාවලින් කදිමට කියවාගත හැකි ය. (මේ ප්‍රකාශවලින් හෙළිවන උක්ත තත්ත්වය ගැන තරමක සවිස්තර විග්‍රහයක් මවිසින් මේ වසර මුල දී පළකරන ලද “Who is Lasantha? - රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...” කෘතියේ ට්‍රිපොලි යුදහමුදා බුද්ධි අනුඛණ්ඩය සම්බන්ධයෙන් වන පරිච්ඡේදයේ අන්තර්ගත වේ.)
පහතින් ඇත්තේ එම වාර්තාවේ 922වන පිටුවේ, එනම් සුරේෂ් සලේගේ සාක්ෂියේ 18වන පිටුවේ උපුටනයකි. නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණ විනිසුරුවරයා ගේ ප්‍රශ්නය සහ සුරේෂ් සලේ ගේ පිළිතුර එහි එන්නේ මේ ආකාරයට ය. (අදහස වෙනස් නොවන පරිදි සුළු සංක්ෂිප්තකරණය ලියුම්කරුගේ ය.)
/උපුටනය/
ප්‍ර: උදාහරණයකට, බැරිවෙලාවත් ජනාධිපතිතුමා කිව්වොත්, නෑ අපි එහෙම කරන්න ඕනැ නෑ කියලා, එහෙනම් අපි (ඔබ) සද්ද නැතිව ඉන්නවාද, නැතිනම් නෑ එහෙම නෙවෙයි ජනාධිපතිතුමනි කියලා එතුමාව දැනුවත් කරලා, මේ වැඩේ අපි කරමු කියලා පෙළඹවීමක් කරනවාද?
පි: අනිවාර්යයෙන් ම අපි පෙළඹවීමක් කරනවා. මොකද, එතනදී අපට එතෙන්ට යන්න බැරිවුණොත් අපි විකල්ප ක්‍රම යොදවාගෙන බලනවා අපේ ක්‍රමවේදයට අනුව ඒක අපිට නතර කරන්න පුළුවන්ද කියලා. එහෙම බැරිවුණොත් අපි වෙන ආකාරයකින් හරි ජනාධිපතිතුමාට ඒ අවශ්‍ය පණිවිඩය සහ ඒකේ බැරෑරුම්කම දැනුම් දීමට කටයුතු කරනවා.”
/උපුටනය අවසන්/
දැන් අප කළ යුත්තේ සුරේෂ් සලේගේ මේ ‘පෙළඹවීම’ පොලිස්පතිවරයා ඇතුළු ඉහත උසස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවලට අදාළ කර කියවීම යි. මේ ‘පෙළඹවීම’ චිත්ත රූපවලට පවා නැගෙන එක් කුඩා අවස්ථාවක් පමණක් සීඅයිඩීය විසින් 11වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලද පිටු 25ක සාක්ෂි සම්පිණ්ඩනයේ 16වන පිටුවෙන් උපුටා දක්වන්නෙමු. සාක්ෂිය එවකට සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ය.
/උපුටනය/
“…කතාව අවසන් වනවාත් සමඟම ජනාධිපතිතුමා ආසන්නයේ සිටි සුරේෂ් සලේ මහතා ජනාධිපතිතුමා දෙසට නැමී යමක් කියනවා දුටු බවත්, ඒ සමඟම ජනාධිපතිතුමා ‘ආ මොකද සාරා ජස්මින් ගෙ කේස් එකේ තත්ත්වය, ඩීඅයිජී, සීඅයිඩී වශයෙන් ඔයා කියන්න සාරා ජස්මින් ඉන්නවා ද මැරිලා ද කියලා’ වශයෙන් විමසූ බව ද,…”
/උපුටනය අවසන්/
(මේ වූකලී, සුරේෂ් සලේ මේ කියන ආරක්ෂක මණ්ඩල රැස්වීම්වල දී ජනාධිපතිවරයාට ‘බලපෑම්’ සිදුකළ ආකාරයට ඉතාම කෙටි නිදර්ශනයක් පමණි. සාරාගේ තුන්වන DNA පරීක්ෂණය සහ සුරේෂ් සලේ ගේ මැදිහත්වීම විස්තර සහිතව වෙනත් අවස්ථාවක වෙනම ම කතාකරන්නට බලාපොරොත්තු වෙමු.)
මේ වාර්තාවල දැක්වෙන කරුණු කාරණා කියවාගන්නා සාමාන්‍ය පුද්ගලයකුට වුව, ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ සුරේෂ් සලේ ගේ මැදිහත්වීමෙන් පොලිස්පතිවරයා ඇතුළු මෙහි සඳහන් අනෙක් උසස් පොලිස් නිලධාරීන්ට මුහුණදෙන්නට සිදුවූ බලපෑම්කාරී තත්ත්වය තේරුම්ගන්නට කිසිදු අපහසුවක් ඇති නොවනු ඇත. ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මේවා නොදන්නවා යැයි අපි කිසිසේත් ම විශ්වාස නොකරමු. එහෙත් ඒ වෙනුවට ඔහු තමන් දන්නා දෙය පැත්තකට දමා අධිකරණය හමුවේ සිය සේවාදායකයා වෙනුවෙන් තර්ක නගයි. අවාසනාවකට ඒවා අල්ලේ පැළවෙන බොරු තර්ක ය. අප මේ පෙන්වා දෙන්නේත් ඒ තර්ක මුළුමනින් පදනම් විරහිත ඒවා බව ය.
ප්‍රංශයේ සිටි සලේ සහ මැලේසියාවේ සිටි සලේ
නීතීඥවරයා ගේ තවත් තර්කයක් වන්නේ, පාස්කුදින ප්‍රහාරය සිදුවන කාලය වන විට සුරේෂ් සලේ සිටියේ මැලේසියාවේ බව ය. ඉන් ඔහු අඟවන්නේ, රටේවත් නොසිටි පුද්ගලයකු මේ කියන ආකාරයට පාස්කුදින ප්‍රහාරයට සම්බන්ධ වන්නේ කොහොමදැ’යි යන්න බව පෙනේ. එහෙත් ඔහුගේ තර්කයට එරෙහිව යන තවත් තර්ක උසාවියේ නොව වෙනත් පොදුජන අවකාශවල සලේ වෙනුවෙන් ගිරිය පුප්පාගෙන කෑමොර දෙන පාරාජිකා වූ ඇතැම් දේශපාලකයින් වෙතින් නැගෙයි.
ඒවාට අනුව සුරේෂ් සලේ යනු ‘එල්ටීටීඊ යුද්ධය අවසන් කිරීමට අතිශය දැවැන්ත දායකත්වයක් දුන් රණ විරුවෙකි.’ එහෙත් නිල වාර්තාවලට අනුව මේ කියන යුද්ධයේ අතිශය තීරණාත්මක යුගයේ එනම් 2006 – 2009 කාලවකවානුවේ දී සලේ සිට ඇත්තේ පැරිස් තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා වශයෙන් විදෙස්ගත රාජකාරියේ නියැළෙමිනි. සත්‍ය කරුණු එසේ තිබියදීත්, ඇතැම් වාචාල බොරු ඇදබාන්නන් ගිරිය පුප්පා කියන්නේ, එල්ටීටීඊ දේශපාලන අංශ නායක තමිල් සෙල්වන් ඝාතනය කිරීමේ මෙහෙයුම 2007 නොවැම්බරයේ දී මෙහෙයවා ඇත්තේ ද සුරේෂ් සලේ කියා ය.
එකිනෙකට සම්බන්ධයක් නැති නිල රාජකාරි දෙකක්

පැරිස් තානාපති කාර්යාලයේ සේවයට වාර්තා කරන ගමන් ලංකාවේ ආරක්ෂක මණ්ඩලයටත් සහභාගී වී තමිල් සෙල්වන් ඝාතනය කරන්නටත් ටක්කෙට ම හරියන විදිය කියා දී, ඒ වෙනුවෙන් ප්‍රහාරක ගුවන් යානයක් පවා පැය විසිහතරේ සූදානම් කර තබන්නැ’යි කී සලේ වැනි ‘අති දක්ෂයෙකුට’ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කිසියම් මැදිහත්වීමක් කිරීමට මැලේසියාවේ සිටීම බාධාවක් වන්නේ කෙසේ ද? අනෙක් අතට, 2007 වසරේ ප්‍රංශයේ තානාපති කාර්යාලයේ රාජකාරි කරන අතරතුර ම, ලංකාවේ සිදුවන නිල රාජකාරියක් වන ආරක්ෂක මණ්ඩල රැස්වීමට පෙනී සිටීම යනු එකිනෙකට සම්බන්ධයක් නැති නිල රාජකාරි දෙකක් එකවර ඉටු කිරීමකි. එක මොහොතේ රටවල් දෙකක එකිනෙකින් මුළුමනින් ම වෙනස් රාජකාරි දෙකක් කරන්නට සලේට තිබී ඇත්තේ අසාමාන්‍ය බලයකි. එහෙත් පාස්කු දින ප්‍රහාරය යනු එවැනි නිල රාජකාරි කටයුත්තක් නොවේ. අතිශය රහසිගත මෙහෙයුමකි. එවැනි කුමන්ත්‍රණකාරී අත්‍යවශ්‍යතාවකට රහසිගතව ලංකාවට පැමිණීමට, යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂ වශයෙන් ද කටයුතු කළ සලේට මැලේසියාවේ සිටීම ප්‍රශ්නයක් වන්නට හේතුවක් නැත. අනෙක් අතට පාස්කුදින ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සලේ සිටියේ මැලේසියාවේ යැයි කීම ද තවත් බොරුවකි. ඒ වනවිට ඔහු සිටියේ ඉන්දියාවේ ය. ඒ, එහි ජාතික ආරක්ෂක විද්‍යාලයේ පුහුණුවක් ලබමිනි.
පිටරට ඉන්නා පාතාලයෝත් රටතුළ කුඩු ජාවරම් මෙහෙයවනවා නම්…
රට තුළ මෑතක සිදුවෙමින් පවත්නා මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම්වල දී දිගින් දිගටම හෙළිදරව් වන කාරණයක් වන්නේ, දැනට රටින් පලාගොස් වෙනත් රටවල රැඳීසිටින මත්ද්‍රව්‍ය ජායාරම්කරුවන් ඒ ඒ රටවල සිට ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීමේ ප්‍රධානතම වැඩකොටසක් සිදුකරන බව ය. රටින් පලාගිය මැරයන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට පිටරටවල සිට ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවිය හැකි නම්, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි සුරේෂ් සලේට මැලේසියාවේ නොව කොහේ හෝ සිට ලංකාව තුළ යම් යම් ක්‍රියාදාම මෙහෙයවිය නොහැකි යැයි කියන්නට ජනාධිපති නීතීඥවරයා ගන්නා උත්සාහය අතිශය ළාමක ය.
කෙසේ වෙතත්, සලේ මැලේසියාවේ හෝ ඉන්දියාවේ නිල වශයෙන් රැඳීසිටි කාල වකවානුව තුළ, එනම් පාස්කුදින ප්‍රහාරයට මසකට හෝ එක හමාරකට පෙර ඔහු ලංකාවේ දී තමන් හමුවූ බව ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගේ කටඋත්තරයෙන් අතිශය තීරණාත්මක ලෙස දැනටමත් එළිදරව් වී ඇති බව සහ ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පුළුල් විමර්ශන සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකි බව පමණක් දැනට සටහන් කර තබමු.
සනත් බාලසූරිය


