මන්ත්‍රී කණ්ඩායම් හමුවට පෙර හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල් හමුවට ආවේ රනිල් ජනාධිපති සමයේ නීති උපදෙස් ලබාගැනීම සිදුවූයේ කෙලෙසදැයි පැහැදිලි කර ගැනීමටය.
නීතී උපදේශකයකු ඔබතුමාට සිටියා ද කියාත් දැනගන්න අවශ්‍ය බව ද දිනිත් මෙහි දී පැවසීය.
ඒ අවස්ථාවේ දී රනිල් දුන්නේ අපූරූ උත්තරයකි.
"මට ජනාධිපති කාලේ නීති උපදේශකලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුව. අනිත් එක්කෙනා මම."
රනිල් කී කතාවේ උපහාසය තේරුම් ගන්නට දිනිත්ටත් තත්පර කීපයක් ගතවිය.
ආණ්ඩුව ඇතුළෙ භේද බින්න වීම තවත් ආකාරයකට පැන නැගී ඇති බව මන්ත්‍රී කණ්ඩායමේ කතා බහට ලක්වූ ප්‍රධාන කාරණයක් විය. රනිල් සමග වැඩ කළ ව්‍යාපාරික පෙළැන්තියේ කිහිපදෙනකු සමග ද අනුර රහසිගත සාකච්ඡා පවත්වා තිබෙන බවත්, බලය තිබූ කාලයේ ආණ්ඩුව සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයකු එහි ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවත් එජාප සභාපති වජිර කියා සිටියේය.
"මේ අය සම්පූර්ණයෙන් ම පැලවත්තේ ආර්ථික දැක්මට ප්‍රතිවිරුද්ධ අය. මේ ව්‍යාපාරිකයන් පැලවත්තේ කල්ලිය දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා කියලත් ආරංචියි.''
මාන්නපෙරුම පැවසූයේ ඔහුට ලැබුණු ආරංචියක් ද උපුටා දක්වමිනි.
රනිල් - සජිත් හමුවේ ඇත්ත නැත්ත

"ජනාධිපති ව්‍යාපාරිකයන් මුහුණ ගැහෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒ අය ගේ අයත් එක්ක මුහුණට මුහුණ හමුවුණේ නැත්තේ ඇයි? ඒ අය ගේ අය මග ඇරලා හමු වුණේ ඇයි? ඒ වගේම මෙවැනි හමුවක් අපේ ආණ්ඩුවට සම්බන්ධව සිටි අයෙකුට බාර දුන්නේ ඇයි? රනිල් කීවේ මේ හමුවල තිබෙන විනිවිද භාවය ගැන ප්‍රශ්නයක් මතු කරමිනි. කෙසේ නමුත් මේ හමු නිසා පැලවත්තේ ඉරි තැළීම තවත් වර්ධනය වී තිබෙන බව ආරංචි ය.
රනිල්- සජිත් හමුවක් සිදුවූ බව ඉකුත් සතියේ දේශපාලනය කැළඹූ තවත් කතාවකි. සර්, ඇත්තටම සජිත් හමු වුණා දැයි මන්ත්‍රී කණ්ඩායමෙන් නැගුණු පැනයට පිළිතුරක් දුන්නේ රනිල් නොව මාන්නප්පෙරුමයි
"නායකතුමා සැත්කමින් පස්සේ ලංකාවට ආවාම දෙයාකාරයකට පුද්ගල හමුවීම් සිදුවුණා. පිරිසක් මල් පාර කාර්යාලයේ දී හමුවුණා. අනෙක් අය නිවසේ දී හම්බවුණා. නිවසට කට්ටිය ආවෙ එතුම ගෙ සුව දුක් බලන්න. හිටපු ජනාධිපතිවරු, මැති ඇමතිවරු වෙනත් පක්ෂ නායකයෝ ඒ අතර හිටියා. නිවසට ආපු අය ගැන කිසිම තොරතුරු ලබාදීමක් සිදුකෙරුණේ නෑ. සජිත් ආවාය කියන කතාව ගැනත් දරන්නේ ඒ ස්ථාවරයම තමයි. ඒවා පෞද්ගලික මට්ටමින් දිගටම සිදුවෙච්ච ක්‍රියාදාම. එහෙම කොච්චර ප්‍රභූ පිරිසක් ආවද? ඒ කිසිම දෙයක් ගැන අප හෙළිදරව් කිරීමක් කළේ නෑ. අනුර ආවා කියලත් කතාවක් ගියේ. අප ඒ ගැනත් වචනයක් කිව්වේ නෑනේ. කාර්යාලයට පැමිණි අය ගැන නම් ප්‍රකාශ කෙරුණා."
ඒ පිළිතුරෙන් මන්ත්‍රී කණ්ඩායම සෑහීමකට පත්විය.
ආණ්ඩුවේ සැලසුම් ගැන රනිල් ගේ ස්ථාවරය
"2029 ට පෙර ආණ්ඩුව අරගෙන ඉදිරියට යන්න ඕන. ඒක කරන්න නම් විපක්ෂයේ සියලු දෙනා ගේ එකතුව අවශ්‍යයි. ප්‍රධාන විපක්ෂය වන සජබ තමයි ඒකට මුල් වෙලා ක්‍රියා කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂය හැම පක්ෂයක් එක්කම කතා කරලා තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම පොහොට්ටුව එක්ක සාකච්ඡා කරනවා."
තමා හමුවට පැමිණි සජබ ප්‍රබලයකු සමග අදහස් දක්වමින් රනිල් තම ස්ථාවරය පැහැදිලි කළේ එලෙසිනි.
"ආණ්ඩුව වාර්තා දෙකක් ගෙනල්ල තියෙනවා;"national export strategy development plan"(ජාතික අපනයන උපාය මාර්ග සංවර්ධන සැලැස්ම) සහ ලෝක බැංකුවේ තවත් වාර්තාවක් ගෙනත් තියෙනවා. අවුරුදු පහකින් අපනයන දෙගුණයක් කරන්න තමයි සැලසුම. ඒ කියන්නේ බිලියන දහ අටේ සිට බිලියන තිස් හය දක්වා අපනයන ආදායම වැඩ කර ගන්න තමයි සැලසුම."
රනිල් ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න ආණ්ඩුවේ සැලසුමක් ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් රනිල් ගේ අදහස දැනගැනීමේ අටියෙනි.
''ඇත්තෙන් ම ඔය සැලසුම් මහ පොළොවේ ඔය විදියට ක්‍රියාත්මක වෙනවා නම් අපිත් කැමතියි. ඒවා වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අපනයන දෙගුණයක් කරනවා නම් ආයෝජන කෝ. අපට මේ තියෙන ආයෝජන ගන්න අවුරුදු කීයක් ගියා ද...?''
ජනතාව චූන් කරනවා වෙනුවට හැමදාම ඇත්ත කියන නායකයෙකු වූ රනිල් පැවසූයේ ආණ්ඩුවේ සැලසුම් ගැන අවිශ්වාසයකිනි.
"දැන් ගොඩක් බිස්නස් වලට ආදායම් නෑ. හැබැයි බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.
මේක සමාජෙ ලොකු ප්‍රශ්නයක්.''
වජිර කීවේය.
වත්මන් තත්ත්වය

" ඇත්තෙන්ම මගේ මූලික අරමුණක් වුණේ රුපියල ශක්තිමත් කරන එක. අපි යනකොට 293යි. ක්‍රමයෙන් ඒක 285කටවත් අඩු කර ගන්න තිබුණා. ඒ අතර පඩි වැඩි කරන ක්‍රමයක් ද අපි ගෙනල්ල තිබුණා. අපේ සැලසුම තිබුණේ 2036 වෙනකොට මිනිස්සුන්ට දරාගන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් හදන එක. දැන් මේ ඔක්කොම විකාරයක් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දරාගන්න බෑ. හරි සැලසුමකින් ඉදිරියට ගියේ නැතොත් ආධාර දෙන එක තවත් අමාරු වැඩක් වෙනවා. පව්... මේ වැඩ නිසා දුක් විඳින්නේ මිනිස්සු.
ඇත්තෙන් ම කොච්චර සල්ලි තිබුනත් මිනිස්සු බදු ගහනවට විරුද්ධයි. ඒක වැඩිපුරම දැනෙන්නේ දැන් ආර්ථිකය කැඩිලා තියෙන නිසා. රුපියලේ වටිනාකම අඩු වෙනකොට මිනිස්සුන්ට අමාරුයි. මිනිස්සු විහින් දුක් විඳින්නේ.''
රනිල් වත්මන් තත්ත්ව ගැන එලෙස විවරණයක් කළේ ය.
අයි.එම්.එෆ් ඇවිල්ලා ඉන්නේ ඔවුන් ගේ දෙවැනි වැඩසටහන ගැන කතා කරන්න යැයි කතාවක් තිබෙන බව රනිල් ජනපති සමයේ විදේශ කටයුතු අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ දිනුක් කොළඹගේ පැවසී ය.
"ඒක වෙන්න පුළුවන් .ඒත් දෙවැනි Program
එක තියෙන්නේ මුදල් නොමැතිව (with money of without).''
රනිල් පැහැදිලි කළේ ය.
වැදගත්ම දේ මේ ගන්න ණය ගෙවන්න වැඩපිළිවෙළ මොකක්ද කියන එක.එහෙම දෙයක් දැන් පේන්න නෑනේ...''
වජිර පැවසූයේ අනාගතය තවත් අමාරු බව පහදා දෙමිනි.
බ්‍රිතාන්‍ය ආර්ථිකයට මොකද වුණේ...?
''ආර්ථිකයේ සීමා කරපු රෙගුලාසි ඉවත් කළා නම් හේතු දෙකක් උඩ අයි.එම්.එෆ් එකට යන්න තිබුණා.මේ ණය ගෙවන්න ආර්ථිකයේ ව්‍යුහය වෙනස් කර තිබෙන බව ඔවුන්ට හැඟෙන්න අවශ්‍යයි.ඒ කාර්යභාරය සඳහා සපෝට් කරන්න කියලා සල්ලි ගන්න තිබුණා. එදා 2025 දී තමයි 2028 ට ලෑස්ති වෙන්න තිබුණේ. ඒත් ඒකට ලෑස්ති වෙලා නෑ,'' යැයි රනිල් පැවසී ය.
එංගලන්තයේ අගමැතිවරුන් දිගින් දිගටම ඉල්ලා අස්වීම පිළිබඳව දිනිත් චින්තක කරුණාරත්න ඇසූ පැනයකට පිළිතුරු දෙමින්
රනිල් පැවසූයේ "එංගලන්තයක් දැන් ලංකාව වගේම ඡන්දෙ දිනන්නෙ කොහොම ද කියල බලනවා. ඊට පස්සේ රට පාලනය කරන සැලසුම් නෑ. කැමරන් ගෙන් පස්සේ තමයි ඕක වුණේ. යුරෝපා සංගමයෙන් ඉවත් වුණාට පස්සේ රට ගෙනියන්න බැරි බව කැමරන් කිව්වා. ඒක තමයි කැමරන් අයින් වුණේ. මේ විදිහට එංගලන්තය කඩා වැටෙනවා. කලින් තිබුණේ යුරෝපා ආර්ථිකය. දැන් තියෙන්නේ බ්‍රිතාන්‍ය ආර්ථිකය, යැයි රනිල් පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය නඩු මගට

ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ඉකුත් සතියේ සුපුරුදු පරිදි ජී. එල් පීරිස් ගේ නිවසට රැස්වූහ. නායකයෝ 25 ක් පමණ ඊට සහභාගී වූහ. ඒ අනුව ලබන පළවෙනිදා වැඩසටහන් දහයක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සාකච්ඡා විය.
එහිදී සතියේ වැඩසටහන් පිළිබඳව අදහස් දක්වමින් ජී.එල්. මෙසේ කීය.
"ජනතාව ගේ ජීවන බර සම්බන්ධයෙන් රජය කිසිම සංවේදී බවක් දක්වන්නේ නෑ.
ජනතාව විඳින දුක් විඳිනවා. ඒ තේමාවෙන් තමයි අප මේ වැඩසටහන් කරන්නේ.මේ අතර ලබන 9 වැනිදා අමාරි හෝටලයෙ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් වැඩසටහන පැවැත්වෙනවා. ජනාධිපති නීතිඥවරු වගේ ම නීතිඥ සංගමයේ හිටපු නිලධාරීන් සහභාගීත්වයෙන් එය පැවැත්වෙන්නේ. මේ අයුරින් කිසි දිනක ආණ්ඩුවක් විසින් අධිකරණයේ ස්වාධීනත්වයට අත පෙව්වේ නැති බව එහි දී පෙන්වා දෙනු ලබනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් තිබෙනවා.ඒවා පුරවන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. ඒ වගේම විනිසුරු වයස වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධවත් මෙහි දී ජනතාව දැනුවත් කිරීමක් සිදුකෙරෙනවා.
ලබන 12 වෙනිදා ඒකාබද්ධ විපක්ෂයේ කුරුණෑගල සම්මන්ත්‍රණය පැවැත්වෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අයි.එම්.එෆ් නියෝජිතයන් හමුවෙන් පසු පිටත් වී විනාඩි කිහිපයකින් සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ රහස් පොලිසිය ඒ පිළිබඳව අවධානයෙන් ඉඳලා තියෙනවා. මේවා පොලිස් රාජ්‍යයක ලක්ෂණ. විපක්ෂයේ වැඩකටයුතු කරගෙන යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකමක්. වද හිංසා පැමිණවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුකමිටුවක් ලංකාවට පැමිණ සතියක් පමණ ගතකළා. ඔවුන් ආවේ ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන ජාත්‍යන්තර සම්මුතියක් ක්‍රියාත්මක වනවාද කියා බලන්නයි. අපේ පැහැදිලි ස්ථාවරය නඩු පවතින විට ඒ සම්බන්ධයෙන් අප අදහස් ඉදිරිපත් කරන්නේ නැහැ. එය අධිකරණය හා සම්බන්ධ කටයුත්තක්. නමුත් රැඳවුම් භාරයේ සිටින රැඳවියන්ට සැලකීම පිළිබඳව ජාත්‍යන්තර නීතියේ මෙන්ම ලංකා නීතියේ පැහැදිලි ප්‍රතිපාදන තිබෙනවා. වද හිංසා පැනවීම සම්පූර්ණයෙන් නීති විරෝධීයි. එවැනි ක්‍රියා ජාත්‍යන්තර වශයෙන් ද අපට අහිතකර ලෙස බලපානවා. යුරෝපයට තීරු බදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමේ පහසුකම සැලසෙන ජී.එස්.පී ප්ලස් සහනය අපට ලැබෙන්නේ ගිවිසුම් විසි හතකට අනුගත වනවානම් පමණයි. සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය එහි ප්‍රමුඛතාවය ගන්නවා. ත්‍රස්ත විරෝධී පනත ඒ සම්මුතිවලට විරුද්ධ බව යුරෝපා සංගමය දිගින් දිගටම පෙන්වා දී තිබෙනවා. නව පනතක් ඉදිරිපත් කරනතුරු දැන් පවතින පනත ක්‍රියාත්මක නොකරන බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මා විදේශ ඇමති සමයේ ලිඛිත පොරොන්දුවක් ලබා දී තිබෙනවා.
වත්මන් අධිකරණ ඇමති ඉදිරිපත් කළ නව පනත හැම පැත්තකම විවේචනයට ලක්වුණා.පසුව ආණ්ඩුව එය හකුළා ගත්තා. අලුත් පනතක් ගේනවා කිව්වත් තවමත් එය සිදුවී නැහැ. මොනවා කරනවද කියලා කවුරුත් දන්නේ නෑ. මේවා කරන්නේ විනිවිද භාවයකින් තොරවයි. ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක බිනෝයි හෙට්ටිආරච්චි, සුගීශ්වර සමඟ සිටියදී අත්අඩංගුවට ගැනීම කිසිදු පදනමක් නැති කාරණයක්. ඔහු පැය පහක් පමණ හිර කර තබාගත්තා. එය පැහැදිලිව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ සම්බන්ධයෙන් අප අධිකරණයේ මානව හිමිකම් පෙත්සමක් ගොනු කරනවා. මීට අමතරව දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩුවක් පැවරීමට ද අප බලාපොරොත්තු වෙනවා. බිනෝයි කළ වරද ඒ වාහනයේ සුගීශ්වර සමඟ සිටීම පමණයි. මේවා භයානක පෙර නිමිති. මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. මේ අද බිනෝයිට වුණා වගේ හෙට ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්.''
ජී.එල්. ඉදිරි වැඩපිළිවෙල ගැන කරුණු පැහැදිලි කළේ එසේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
