විවිධ කරුණු මත පදනම්ව රට තුළ නිර්මාණය වී ඇති ගැටළුකාරී තත්ත්වයන් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ ප්‍රභලයින් ගෙවුණු දින 7 පුරා විශේෂ තීන්දු තීරණවලට රැසකට එළැඹි අයුරු දැකගත හැකි විය.
සජිත් ඒවායේදී අවධාරණය කර තිබුණේ, අර්බුද පිළිබඳ අවධානය යොමු කිරීමට පමණක් නොව, ඒවාට විසදුම් යෝජනා කිරීමටද වඩාත් සුදුසු බවය.
ඉන්දීය විදේශ ලේකම් සජිත් හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි කොළඹදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව හමුවුණේ, බදාදා පස්වරුවේය.කලාපීය වශයෙන් වර්ධනය වෙමින් ඇති භූ දේශපාලනික කාරණා සම්බන්ධයෙන් රාජ්‍යයන් ලෙස ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මෙහිදී සජිත් පෙන්වා දී තිබුණේය. විශේෂයෙන් මැදපෙරදිග නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ, ආසියානු කලාපයේ රටවලට එල්ලවෙමින් තිබෙන බලපෑම් අවම කරගැනීම උදෙසා ධනාත්මක සැලසුම් වෙත අවතීර්ණ විය යුතු බවට සජිත්, ඉන්දීය විදේශ ලේකම්වරයා හමුවේ යෝජනා කළේය. එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් කලාපයක් ලෙස යොමු කර ඇති අවධානය මේ මොහොතේ ප්‍රමාණවත් නොවන බවය.
ඉහළ යන ඉන්ධන මිල, මැදපෙරදිග ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, අපනයන ආර්ථිකයේ කඩාවැටීම වැනි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලාංකික ජන සමාජයටද බලපෑම් එල්ලවී ඇති බව පෙන්වා දුන් සජිත්, භාණ්ඩ මිල ඉහළ යෑම වැනි කරුණු මත අඩු ආදායම් ලබන ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බවද අවධාරණය කළේ ය.
වෙළෙඳාම, ආයෝජන, තාක්ෂණය, සංවර්ධන වැනි ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත යුතු බවට වූ පුර්ණ එකඟතාවක් මෙහිදී ඇතිවූ අතර, සාකච්ඡාව නිමාවූයේ මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව ද පුළුල් කථිකාවකින් අනතුරුව ය.
රටවල් 25ක රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග තීරණාත්මක සාකච්ඡාවක්

මේ අතර රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ වූ විශේෂ සාකච්ජාවක් විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පැවැත්වුණේ කොළඹ දී ය. ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථානුකූල පාලනය සහ ආයතනික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය හා සබැඳි මෑතකාලීන තත්ත්වයන් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැණුනු අතර, ඊට අමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, යුරෝපා සංගමය, ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ඉතාලිය, කැනඩාව, කුවේට්, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 25ක පමණ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක්විය. ඊට අමතරව මෙම සාකච්ජාවට සජිත්ගේ ආරාධනයෙන්, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි ජාතික සංවිධායක නවීන් දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මෙන්ම, සෙසු පක්ෂ නියෝජනය කරමින් රාවුෆ් හකීම්, රවී කරුණානායක, එම්.ඒ. සුමන්දිරන්, මනෝ ගනේෂන්, සුරේන් රාඝවන්, මෙන්ම යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාද සහභාගී විය.
රටතුළ පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව අවධානය යොමු කළ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්, අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවෙමින් ඇති බව පැවසෙන බලපෑම් සම්බන්ධයෙන්ම කරුණු විමසා තිබුණි. අධිකරණ පද්ධතියේ සහ බන්ධනාගාර ආශ්‍රිතව උද්ගතවෙමින් ඇති තත්ත්වයන් මෙන්ම රට මුහුණදෙමින් ඇති ආර්ථිකමය තත්ත්වයන් පිළිබඳවත් සෙසු පක්ෂ නායකයින්ට සහ මහජන නියෝජිතයින්ට ද විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිස දැනුවත් කිරීමට සජිත් මෙහිදී අවස්ථාව සලසාදී තිබුණි. එම අදහස් දැක්වීම් හරහා රටේ සැබෑ තත්ත්වය පිළිබද පැහැදිලි අවබෝධයක් විදෙස් නියෝජිතයින් වෙත ලබාදීම සජිත්ගේ අරමුණ විය.
සාකච්ඡාවට පැමිණ සිටි රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් අමතමින් සජිත් කීවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීමටත්, රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් විපක්ෂය කැපවීමට සුදානම් බවය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ආයතනික අඛණ්ඩතාව සහ නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ පවත්නා සබඳතා හා ගිවිසුම් සුරක්ෂිත කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය හමුවේ ඉහළ නැංවීමට රුකුලක් වන බවද ඔහු අවධාරණය කළේ ය.
සජිත්ගේ තේරීම් කාරක සභා යෝජනාවෙන් ආණ්ඩුව හිර වෙයි ද?

ආණ්ඩුවේ තනි මතයට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සූදානම හරහා ගොඩනැගෙමින් ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින් එකම මේසයකට සජිත් කැඳෙව්වේ පහුගිය 23 වෙනිදාය. සජිත්ගේ මේ ඉල්ලීම පිළිගත් රනිල්, දිනේෂ්, හකිම්, මනෝ, ජී.එල්, නිමල්, නාමල්, දිගා, තොන්ඩා, චම්පික, විමල්, උදය ඇතුළු විපක්ෂයේ සියලුම නායකයින් එදා මේ සාකච්ජාවට පැමිණි අතර, එය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමුවූ කරුණක් බවට පරිවර්තනය වූයේ අධිකරණ පද්ධතිය යනු රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන සුවිශේෂී පද්ධතියක් වීම නිසා ය.
“ආණ්ඩුව කියනවා ලක්ෂ 11ක නඩු ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා. මේ නඩු විසඳන්න ක්‍රමයක් හදන්න අවශ්‍යයි. ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යෝජනා කරමු” යැයි මෙම සාකච්ඡාවට එක්වූ රනිල් යෝජනා කළ අතර, එම අදහස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ, කිසිම පැකිලීමකින් තොරව සජිත් ක්‍රියාවට නැංවූයේ, විපක්ෂ නායක වගකීම හරිහැටි ඉටු කරමින් ය. කවුරුන් වුවද, කියූ දේ නිවැරදි නම්, එය කෙසේ හෝ ක්‍රියාවට නැගීම සජිත්ගේ පුරුද්දය. හරි දෙයක් නම් යෝජනාව කාගේ වුවත් සජිත්ට අදාළ නැත. ඒ සජිත්ගේ නායකත්වයේ විශේෂත්වය වන අතර ඔහු කිසි දිනෙක හරි දෙයට “අනේ ප්ලීස් එපා” කියා කියන්නේ නැත.
එම තේරීම් කාරක සභා යෝජනාව රැගෙන සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ කතානායකවරයා හමුවූ සජිත් කියා සිටියේ…,
“කථානායකතුමා..., මේ නඩු ගොඩගැහෙන්න කරුණු කිහිපයක්ම හේතුවෙලා තියෙනවා. විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමෙන් මේ ගැටලුවට විසඳුම් සොයන්න බෑ.. අධිකරණවල විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කරල නෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නෑ. ඒ වගේම රජයේ රසපරීක්ෂක වාර්තා, රජයේ තක්සේරු වාර්තා ප්‍රමාද වෙනවා. ඉතිං ඒ හරහා නඩු කටයුතුත් ප්‍රමාද වෙනවා.” සජිත් කීවේ ය.
බන්ධානාගාර ගැටලුව ගැනත් අදහස් දැක්වූ සජිත් කිව්වේ, “ බන්ධනාගාර ඇතුළෙ ඉඩකඩ ප්‍රමාණවත් වන්නේ රැඳවියන් 10,000කට. ඒත් බන්ධනාගාර ඇතුළෙඉන්න රැඳවියන් ප්‍රමාණය 40,000ට වැඩියි. මේ නිසාම සිරකරුවන්ගේ පෞද්ගලික අවශ්‍යතා, ආහාර සහ සනීපාරක්ෂාව පිළිබඳව ගැටලු ඇති වෙන එක නතර කරන්න බෑ. ඒ ගැටලු දැන් දැන් ගැටුම් දක්වා පරිවර්තනය වෙමින් යනවා. බන්ධනාගාරවල ඉන්න රැඳවියන්ගෙන් 75%ක් විතර නඩු කටයුතු අවසන් නොවිච්ච නිසා බන්ධනාගාර ගතවූ අය. තවත් කට්ටියක් තමන්ට නියම වූ දඩ මුදල ගෙවාගන්න බැරුව ආයෙත් බන්ධනාගාරගත කරලා ඉන්න අය. ඒක ඇත්තටම "දුප්පත්කම නිසා දඬුවම් ලැබීමේ" ප්‍රශ්නයක්. ඒ වගේම ඇප නීතියේ දුර්වලතා තියෙනවා. දඩ ගෙවා ගන්න බැරුව බන්ධනාගාර ගතවන පුද්ගලයින්ට විකල්ප දඬුවම් ක්‍රමවේදයක් හරි ඒ අයව සමාජගත කිරීමේ ක්‍රමවේදයක් හරි හදන්න අවශ්‍යයි. මේවා වෙනස් කරන්න පියවර නොගෙන විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා කියලා මේ ගැටලුවලට විසදුම් හොයන්න බෑ.”
සජිත් මේ කරුණු සියල්ල ඇතුලත් කරමින් එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉල්ලා තිබුණි.
සජිත් ආණ්ඩුවම චෙක්මේට් කළ හැටි

මේ අතර සජිත් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් පෙර නඩු තීන්දුවක් උපුටා දක්වමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසට බලපාන ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට සුවිශේෂී තර්කයක් ගොඩ නැගුවේ ගෙවුණු පාර්ලිමේන්තු සතිය තුළ ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් සඳහන් කර ඇති බවත්, විශ්‍රාම යන වයසට හෝ ධූර කාලයට, සෘජුව හෝ වක්‍රව වත්මන් විනිසුරුවරුන්ට බලපාන ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති නිසා එවැනි වෙනස් කිරීමකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව එම දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ 2022 දී ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුවේ සඳහන් කර ඇති බව සජිත් පෙන්වා දුන්නේ ය. එම නඩු තීන්දුව 2022 වසරේදී ප්‍රකාශ කර තිබුණේ, බුවනෙක අලුවිහාරේ, මුර්ද්‍රෘ ප්‍රනාන්දු හා ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ දේශීය හා ජාත්‍යන්තර නීති ආයතන කිහිපයක්ම දැනටමත් සිය විරුද්ධත්වය ඵලකර ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත්, ආණ්ඩුවට අභියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ගෞරවණීය තෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කර ඇති බව කියන ලිපිය සභාගත කරන ලෙස ය.
“විනිසුරුවරුන්ගේ හිඟය වගේම අධිකරණ පරිපාලනය, රජයේ රසපරීක්ෂක හා නීතිපති දෙපාර්තමේන්තුවල සහ වෙනත් ආයතනවල ප්‍රමාදයන් නිසා සිදුවෙලා තියෙන නඩු කටයුතු ප්‍රමාදයන් ගැන නිල දත්ත සභාගත කරන්න. අධිකරණ අමාත්‍යාංශයට ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය ඇතිව 2023 අවුරුද්දේ සකස් කර ඇති මේ වාර්තාවට අනුව අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන්න, පද්ධතිමය ප්‍රතිසංස්කරණ සිදු කරමින් පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමු කිරීම ගැන සඳහන් වෙනවා. මේවා සැලකිල්ලට ගන්නේ නැතුව මොකක්ද මේ වයසක් අල්ලගෙන කරන සෙල්ලම.”
සජිත්ගේ මේ කතාවට, අධිකරණ ඇමති හෝ චන්ඩිපාට් දාන ආණ්ඩුවේ කිසිම ඇමතිවරයකු කටක් හෙල්ලුවේ නැත.
ඊශ්‍රායල් රැකියා අපේක්ෂයින් ළඟට හදිසියේ ආ අමුත්තා…

ඊශ්‍රායල් රැකියා සිහින බොද වූ රැකියා අපේක්ෂකයින් පසුගිය 06වැනිදා පොල්දූව මංසන්ධියට පැමිණ විරෝධතාවක නිරත වුනේ, රජයේ තීන්දු තීරණ හේතුවෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවට බරපතල චෝදනාවක් එල්ල කරමින් ය. ඔවුන් අවධාරණය කළේ, ඊශ්‍රායලය සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමේ වැඩපිළිවෙලේ වැඩි කොටසක් පුද්ගලික රැකියා ඒජන්සි වෙත පැවැරීම හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවය. පාර්ලිමේන්තුවට යමින් සිටි සජිත්, මෙම විරෝධය දුටු සැනින් රථයේ ඉදිරිපස අසුනේ සිටි ආරක්ෂක නිළධාරියාගෙන් විමසා සිටියේ “ ඒ කවුද? විරෝධතාවය පළ කරන්නේ” කියා ය.
“සර්, ඊශ්‍රයලයේ රැකියා ප්‍රශ්ණයක් ගැන තමයි පුවරුවල තියෙන්නේ”
ඒ අනුව සජිත් ක්ෂණිකව තීරණය කළේ ඔවුන් වෙත ගොස් ගැටළුව පිළිබඳ විමසීමටය. “ මාරසිංහ වාහනය නතර කරන්න.”
විරෝධතාකරුවන් පුදුමයට පත්කරමින් එක්වරම කළු පැහැති ජිප් රථයක් තමන් ආසන්නයේ නතර කෙරුණු අතර, ඉන් බැසගත් විපක්ෂ නායක සජිත් තමන් ඉදිරියට එන බව දුටු විරෝධයේ නිරතවූ තරුණයින් පිරිසෙන් කිහිප දෙනෙකු සජිත් ඉදිරියට දිව ගියේ ය.

“බලන්නකෝ සර්. අපිට වෙලා තියෙන්නේ ලොකු අසාධාරණයක්. ලක්ෂ 4ක් 5ක් වියදම් කරලා අපිට ඊශ්‍රායලයට යන්න තිබුණු චාන්ස් එක මේ ආණ්ඩුව අපිට නැති කරලා. දැන් අපි ඊශ්‍රායල් රැකියාවකට යනවනම් අඩුම ලක්ෂ 40ක් 45ක් වියදම් කරන්න වෙනවා. ආණ්ඩුව ඇයි අපිට මෙහෙම කරන්නේ.”
විරෝධතාකරුවන් සිය දුක්ගැනවිල්ල සජිත්ට ඉදිරිපත් කරන්නට වූයේ එලෙසය. විදේශගතවී හොඳ රැකියාවක නිරත වෙමින්, මුදල් ඉපයීම වර්ථමානයේ තරුණයින්ගේ සිහිනයක් වී තිබේ. එය ඔවුගේ පුද්ගලික දියුණුවට මෙන්ම රටේ ආර්ථිකයටද සෘජුව බලපාන සාධකයකි.
“විදේස්ගතවෙන්න බලන් ඉන්න තරුණ, තරුණියන්ට ඒ ඉලක්ක පහසුවෙන් සපුරා ගන්න පුළුවන් වාතාවරණයක් හදන එක තමයි ආණ්ඩුවක වගකීම. ඊශ්‍රායලයේ රැකියා 14,000 ක් වෙනුවෙන් 2023 දී ගිවිසුම් අත්සන් කළා, ඒත් 2025 සහ 2026 අවුරුදුවල මේ තත්ත්වය වෙනස් කරලා රජය, ඊශ්‍රාලයට යවන 70% කෝටාව පෞද්ගලික අංශයට ලබාදෙන්න කටයුතු කළා. මේ ගැටලුව ඇති වෙන්න ප්‍රධාන හේතුව ඒක. දැන් රජයට අයිති 30% කෝටාවක් විතරයි. මේකයි මේ ප්‍රශ්ණය උඩුදුවන්න හේතුව. මම මේක අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේදී මතු කළා, ඒත් දන්නවනේ මේ ආණ්ඩුවේ හැසිරීම. මේක ලොකු වංචාවක් රජය මේ වැඩසටහන ක්‍රියාත්මක කළා නම් ලක්ෂ 05 ක් වගේ මුදලකට ඔයාලට ඊශ්‍රායල රැකියාවකට යන්න තිබුනා. ඒත් ඒ කෝටාව පුද්ගලික අංශයට පැවැරීම නිසා තමයි දැන් එදා ලක්ෂ 5 ක් වෙනුවට අද ලක්ෂ 45ක් වගේ දරාගන්න බැරි මුදලක් වැය කරන්න වෙලා තියෙන්නේ. මේකෙදී රජයට පාඩු කරලා පුද්ගලික රැකියා ඒජන්සිවලට අසීමිත ලාභයක් ලබන්න ආණ්ඩුව විසින්ම අවස්ථාව හදලා දීලා තියෙන්නේ.”
මෙම ගැටළුව පිළිබඳ යළිත් තමන් පාර්ලිමේන්තුවේදී රජයේ අවධානයට යොමු කරන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එතැනින් නික්ම පාර්ලිමේන්තුව වෙත පිටත් විය.
ස්ථාවර නියෝගවලට මුවාවී ගේම් ගසන්නට හැදූ ඇමති බිමල් ලත් තැනම ලොප් වූ හැටි

ගෙවුණු සතියේ පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වූ තවත් කරුණක් වුණේ, මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන්වීම සහ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යොමුකර තිබූ කල්තැබීමේ විවාද ගැන ය.
හර්ෂගේ පියාණන්ගේ අභාවය නිසා ඔහු පාර්ලිමේන්තු නොපැමිණීම අස්සේ ආණ්ඩුවේ සභානායක ඇමති බිමල් රත්නායක බැලුවේ මෙම කල්තැබීමේ යෝජනාව ගෙන ඒම වලක්වා ගැනීමට ය.
ඔහු ඊට යොදාගන්නට මාන බැලුවේ ස්ථාවර නියෝග ඇතුළත් පොත ය. කල්තැබීමේ යෝජනාව මන්ත්‍රී හර්ෂ වෙනුවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී, එක්වරම නැගී සිටි බිමල් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් දමමින් කල්තැබීමේ යෝජනාව ගෙන ආ හර්ෂ නොමැතිව එය සභාවට ගෙන එන්නට නොහැකි බව කියමින් ස්ථාවර නියෝග පොතේ පිටු පෙරළන්නට විය.
බිමල්ගේ මේ බකට් දැමීම ගැන හොඳින් දැන සිටි විපක්ෂ නායක සජිත්, හර්ෂගේ පෞද්ගලික කාරණය සඳහන් කරමින් කල්තැබීමේ යෝජනාව ගෙන එන්නට කථානායකවරයා හරහා ගයන්තට අවසර ලබාගෙන තිබුණේ ය. ඇමති බිමල් බකට් එක දමද්දීම කතානායකට සිදුවුණේ “ නෑ සභානායකතුමා හර්ෂ මන්ත්‍රීතුමාගේ පියාගේ අභාවය නිසා ඒ කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්න ගයන්න මන්ත්‍රීතුමා අවසර ඉල්ලගෙන තිබුණා” ඒ බව ඇසූ සැනින් විදුලි වේගයෙන් බිමල් පුටුවේ වාඩිවෙද්දී විපක්ෂය දෙසින් සිනා හඬ මතු වූයේ, හැමදාම ස්ථාවර නියෝගවලට මුවාවී පාර්ලිමේන්තුවේ ගේම් ගහන්නට බැරි බව බිමල්ටද අවබෝධ කරමින්ය.
ඩොලර් මිලියන 2.5 ගැන ආණ්ඩුවට කට උත්තර නැති කළ චතුර...

මේ කල්තැබීමේ යෝජනාව විවාදයට ගනිද්දී, ආණ්ඩුවේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවැසුවේ මෙය අන්තර්ජාල වංචාවක් බව පරීක්ෂණ වාර්තාවලින් සනාථ කර ඇති බවය. “ මේ වාර්තා කියවලා නෙමෙයි මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එන්නේ. මොකටද මේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ.” යනුවෙන් ඇය ප්‍රශ්න කළේ ය.
කෙසේ වෙතත් ලක්මාලි මන්ත්‍රීවරියට හැරෙන තැපෑලෙන් පිළිතුරු දැක්වූයේ තොරතුරු තාක්ෂණය පිළිබද ඉංජිනේරුවරයෙකුද වන සමගි ජනබලවේගයේ චතුර ගලප්පත්ති මන්ත්‍රීවරයා ය.
“ආණ්ඩුව බලයට පත්වෙලා වසර දෙකක්, කරපු එක හොඳ වැඩක් තියෙනවද? මේ ඩොලර් මිලියන 2.5 වෙනත් පාර්ශ්වයක් අතට පත්වෙලා කියලා රට දැනගත්තේ පසුගිය මාර්තු මාසයේ. ඒත් ඒක වෙලා තිබුණේ ජනවාරි මාසේ, එයාලා කරන ප්‍රකාශවලින්ම ආණ්ඩුවේ තරම තේරෙනවා. දැන් මේක හැකරුන් විසින් කළ දෙයක් කියමින් ආණ්ඩුව බේරෙන්න හදනවා. ඇත්තටම මේක හැකර් සිද්ධියක් නෙමෙයි. හැකර්වරයෙක් කියන්නේ අනවසරයෙන් යම් පද්ධතියකට ඇතුළුවී එහි ඇති දත්ත වෙනස් කරන, මුදල් වෙනත් පාර්ශ්වයක් අතට පත් කරන කෙනෙකුට. මෙතනදී ඇත්තටම වෙලා තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. මෙතන වෙලා තියෙන්නේ පැහැදිලිවම වංචාවක්. ව්‍යාජ ලෙස පෙනී සිටිමින් කළ වංචාවක්. එක පැත්තක භාණ්ඩාගාරය තියෙනවා. අනික් පැත්තේ ගණුදෙනුකාර විදේශීය පාර්ශවය ඉන්නවා. ඒ අනුව ඊමේල් මගින් තමයි මේ වංචාචාව කරලා තියෙන්නේ. එහෙම දෙයකට කොහොමද හැකර ප්‍රහාරයක් කියන්නේ. 10 වතාවක් මුදල් හුවමාරුවීමෙන්ම පැහැදිලියි මේක සැලසුම්ව සිදුකළ වංචාවක් බව.”
ලක්මාලි මන්ත්‍රීවරිය ගේ කට ලොක් වුණේ, චතුර ගලප්පත්ති ගේ මේ කථාවෙන් පසුව ය.
නිසොල්මන්ව චතුරගේ කතාව අසා සිටි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටද ඒ කරුණු පැහැදිලි කිරීම හමුවේ නිරුත්තරවීමට සිදුවිය.
පසුගිය සිකුරාදා කෝට්ටේ පක්ෂ කාර්යාලයේදී විශේෂ සාකච්ජාවට එක්වූ පක්ෂ සභාපති කබීර්, මහලේකම් රංජිත්, ඇතුළු පිරිසක් මේ ගැන කථා කරද්දී මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන කිව්වේ, “ චතුරයා ඊයේ නියමෙට ලක්මාලිට උත්තරේ දුන්නා. අපිනම් ඔය සයිබර් ගැන කතා කරන්න දන්නේ නෑනේ. ඒවා ගැන දන්න චතුර වගේ එකෙකුට තමයි ආණ්ඩුවට රිදෙන්න ෂොට් එක දෙන්න පුලුවන්. සර් මේ වගේ සබ්ජෙට් එකට අදාළ මිනිස්සුන්ට හොඳට වෙලාව හදලා දීලා ඩිබෙට් එක කළා නම් ආණ්ඩුව හැම එකකදීම හාන්සි කරන්න පුළුවන්. මේක අපි දිගටම ප්‍රැක්ටිස් එකක් විදිහට කරමු.”
ඡන්ද පෙට්ටියෙන් පෙට්ටිය ප්‍රගතිය බලන්න සජබය ගමට යයි

සමගි ජනබලවේගයේ බිම් මට්ටමේ සංවිධාන කටයුතු කාර්යක්ෂම කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාවට නැංවීමට සියළු කටයුතු සූදානම් කරමින් තිබෙන්නේ, මීට මාස කිහිපයකට පෙර ගනු ලැබූ තීරණයකට අනුවය. මේ ඔස්සේ මැතිවරණ වෙනුවෙන් පමණක් නොව, සෑම අවස්ථාවකම පක්ෂයක් ලෙස ශක්තිමත්ව පෙනී සිටීමේ, හැකියාව සහිත ව්‍යාපාරයක් ලෙස සමගි ජනබලවේගය සංවිධානගත කිරීම පක්ෂ නායක සජිත්ගේ අරමුණ ය. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් මෙම සංවිධාන වැඩපිළිවෙල ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, එහි වගකීම් පැවරුණේ පක්ෂයේ සභාපති කබීර්ටය. ඔහු අත්දැකීම් බහුල දේශපාලඥයෙක් වන අතර එක්සත් ජාතික පක්ෂය 2015 ජයග්‍රහනය කරද්දී එහි මහලේකම්වරයා ලෙස කටයුතු කළේත්, කබීර් ය. ඒ අනුව අගොස්තු 22 සහ 23 දෙදින අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඒ කටයුත්ත ආරම්භ කරද්දී, අනුරාධපුරේ ජන්ද මධ්‍යස්ථාන 690 අවරණය වන පරිදි එය ක්‍රියාවට නැංවීම, කබීර්, රංජිත්, තිස්ස සහ හෙක්ටර් ඇතුළු කණ්ඩායමකට පවරා දී තිබේ.
ගායක ගායිකාවන්ග ගෙන් සජිත්ට මල්මිටක්...

කලාකරුවන් යනු සමාජයක සිටින සුවිශේෂී පිරිසක් වන අතර රටක් සතුටු කරන තමන්, අසරණ වූ විට සරණට එන්නට කිසිවෙකුත් නොමැති බවට ඔවුන්ගෙන් කළක සිට අසන්නට ලැබෙන මැසිවිල්ලක් ය. මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථික අපහසුතාවයට ලක්ව සිටින ගායක ගායිකාවන් වෙනුවෙන් සුභසාධන අරමුදලක් ඇති කිරීමට ගායක ගායිකා සංසදය තීරණය කළේ මීට සති කිහිපයකට පෙර ය.ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු ප්‍රසංගයක් පසුගියදා කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ, විපක්ෂ නායක සජිත් ය. එහි දී කලාකරුවන් ගෙන් සජිත්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර, විජේරත්න වරකාගොඩ, සුජාතා අත්තනායක, චිත්‍රා වරකාගොඩ, චාන්දනී හෙට්ටිආරච්චි වැනි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සජිත්ව උණුසුම් ලෙස පිළිගැනීම කාගේත් අවධානයට ලක්වූ දසුනක් විය. කලාකරුවන් අසලටම ගොස් කතාබහ කළ සජිත්ට විජේරත්න වරකාගොඩ කියා තිබුණේ, “ ඔබතුමා අද ආපු එක අපිට ලොකු වටිනාකමක්, එදා ඔබතුමාගේ තාත්තත් කලාකාරයෝ වෙනුවෙන් ලොකු සේවයක් කළා, අපිට මතකයි, ටවර් හෝල් රඟහල පදනම හදපු හැටි, අපිට මතකයි කලාකරුවන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් සලසපුවා. අපි දන්නවා ඔබතුමත් කලාවට ගොඩක් ලැදි, කලාකරුවන්ගේ සුබසිද්ධිය ගැන හිතන කෙනෙක් කියලා. Thank you for joining us.”

මෙහි දී සජිත්ව එක්වර ම වේදිකාවට කැටුව ගිය ගායක ගායිකා සංසදයේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ සහ ප්‍රවීණ ගායිකා චාන්දනී හෙට්ටිආරච්චි ඔහුට සමරු තිළිණයක් පිළිගැන්වීමට පියවර ගත්තේ ය. සජිත් සාමාන්‍යයෙන් ඕනම උත්සවයකට යන්නේ අලගිය, මුලගිය තැන් හොඳට සොයා බැලීමෙන් අනතුරුවය. ඔහුගේ අරමුණ වුණේ, මෙම උත්සවය සංවිධානය කළ පිරිසගේ අරමුණට තවත් වටිනාකමක් එක්කිරීමය. තමන් ළඟ සිටි ප්‍රවීන නිවේදකටකු වන මහේෂ් සේනානායකගේ අතට දී තිබූ ෆයිල් එකක් ඉල්ලා ගත් සජිත්, එය ජගත් වික්‍රමසිංහගේ අතට දෙමින් “ මේකත් ඔබතුමන්ලා ගොඩනගන අරමුදලට දායක කරගන්න” යැයි කීවේ ය. වේදිකාවෙන් බැස එද්දී ෆයිල් එක විවෘත කළ ජගත්ට දැකගන්නට ලැබුණේ, ඒ තුළ ගායක, ගායිකාවන්ගේ සුබසාධන අරමුදලට සජිත් ලක්ෂ 5ක චෙක් පතක් ලබාදී ඇති බව ය.
ඒ අනුව නැවත වේදිකාවට නැග්ග ජගත් සියලු ම කලාකරුවන් ඉදිරියේ සජිත්ට විශේෂ ස්තුතියක් සිදුකළේය. “ හැමදාමත් සජිත් ප්‍රේමදාස කියන චරිතය, දේශපාලඥයකුට එහා ගිහින් අපිට ශක්තියක් වුනා. එතුමා අද මේ අරමුදල වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5ක දායකත්වයක් ලබාදුන්නා. අපේ මේ ආරම්භයට ඒක විශාල ශක්තියක්. ඒක අපිට යෝධ පියවරක් තබන්න අවස්ථාව උදාකරලා තියෙනවා. කලාවට ලැදි මනුස්සයෙක් විදිහට මේ කරපු දේට මම ආයෙත්, එතුමට ස්තුතිවන්ත වෙනවා”

එතැන සිටි කලාකරුවන් රැසක් පැවසුවේ, කලාවට හා කලාකරුවන්ට ආදරය කරන, සංවේදී දේශපාලඥයින් දුලබ අවදියක සජිත් මේ අයුරින් කලාකරුවන් කෙරෙහි දක්වන ලැබැඳියාව ඉතාව වටිනා බවය.
එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් සජිත්ට ප්‍රශංසා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට රජය කර තිබෙන නිල ප්‍රකාශය පිළිගත නොහැකි බවත්, ඊට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් පසුගිය මස 23 වැනිදා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් පියවර ඉතා ප්‍රශංසනීය බවත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ප්‍රකාශ කර තිබුණේය.ඒ අනුව ඉදිරියේදීත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ අධිකරණයට අත පෙවීමට ආණ්ඩුව දරණ උත්සාහයට එරෙහිව විපක්ෂ නායකවරයා ගන්නා පියවරයන්ට පූර්ණ සහය පළ කිරීමට ද එජාපය එකඟ වී ඇති බව සඳහන්ය.
මම | බංගලා හංදියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
