Image

පැණි වළලු රස ගෙනා මහාචාර්ය ධම්මික ගංගානාත්..

පැණි වළලු රස ගෙනා මහාචාර්ය ධම්මික ගංගානාත්..

මහාචාර්ය ධම්මික ගංගානාත් අප අතරින් සමුගෙන ගොස් පසුගිය 11වන දිනට වසර හයකි. මතු පළවන්නේ ඒ නිමිත්තෙන් කලණි කුමුදුනී විතානගේ ඉදිරිපත් කරන කෙටි සටහනකි.

ඇගේ මෙම සටහන කෙටි වුව ද ඒය අවධානයෙන් කියවා ග්‍රහණය කරගන්නේ නම් ධම්මික ගගංගානාත් දිසානායක මහාචාර්යවරයා පිළිබඳ මතු නොව කියවීම මිනිසකු ගේ ජීවන පැවැත්මට කෙතරම් ශක්තියක්, දිරියක් සපයන්නේ ද යන්න ප්‍රත්‍යක්ෂ වනු නොඅනුමාන ය.

ගඟ එහා පැත්තෙන් ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න තියලා ඒ පැත්තෙන්ම ඈතින් තාත්තාගේ ෆුට් සයිකලේ පොඩියට මතුවෙනවා. ටික ටික ලොකුවෙමින් ළවෙන ෆුට් සයිකලේ හැඩ්ල් එකේ බෑග් දෙකක් එල්ලලා තියෙයි. බේකරියක වැඩ කරන තාත්තාගේ ඒ එක බෑග් එකක පාන් ගෙඩි දෙකක් එක්ක කඩේට දාන්න බැරි ඇදවුණු කැඩුණු බනිස් කිහිපයකුත් තියෙයි.

pwi2

අනිත් බෑග් එකේ තියෙන්නෙ හතරට නවාපු පත්තරයක්. පුංචි එවුන් උනු අපිට පාන් බනිස්වලට වඩා ආසාව තිබුණේ පත්තරේට. එක එක්කෙනා ඔය අරගෙන එන පත්තරේ තමන් කැමති කොටස් බෙදාගන්න පුදුම හදිස්සියක්. මට හැමදාම ඕන උනේ පැණි වළලු.

දකුණේ ටිකක් දුෂ්කර ගමක ඉපදුණු අපිට පැණි වළලු කියන්නේ පුරුදු කැවිලි වර්ගයක් නොවුනත් මං පැණි වළලු කොයිතරම් රස ඇති ද කියලා තේරුම් ගත්තේ පැණි වළලු කියවලා. පස්සේ කාලෙක පැණි වළලු කන්න ලැබුණත් පැණි වළලු කියවපු තරම් රසක් මට නොදැනුනේ පැණි වළලු කියවලා මං ඊට වඩා රස විඳපු නිසා වෙන්න ඇති.

පැණි වළලු විතරක් නෙවෙයි දකුණේ උනත් මාළු ඇඹුල් තියල්, පොලොස් ඇඹුල වගේ කෑමවල රස මං දැනගත්තේ පැණි වළලු කියවලා. ආර්ථික තත්ත්වයෙන් තරමක් පහළින් හිටි තරමක් ලොකු පවුලක පොඩි දරුවෝ හය දෙනෙක් අද ලෝකෙ තැන් හයක ජීවිතේ විඳින්නේ තාත්තා ඒ අරගෙන ආ පත්තරේ අකුරක් නෑර කියවන්න අපි පුරුදු වෙලා හිටි නිසා වෙන්න ඇති...

තැන් තැන් වල හංගගෙන  කුරුටු ගාන පොඩි පොඩි කවි කියාවපු අයියා ගේ ඕනකමට කොළඹ කැම්පස් එකේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව කරද්දී දේශන කාලසටහන දුන්නම මට පුරුදු නමක් එක්ක දේශන කිහිපයක් සටහන් වෙලා තියෙනවා. දේශන වල කියපු දේවල් මතක නැති උනත් මුල්ම දවසේ සර් ඇඳගෙන ආ රෝස පාට කොටු ශර්ට් එකයි බොකුටු කොන්ඩයයි තාමත් මතකයි.

පැණි වළලු කියන්නේ තීරු ලිපියක් බව මං ඉගෙන ගත්තේ ඔය කාලෙදි. පත්තර අයින් කළත් පැණි වළලු, සිතක සේයා මගේ ළග එකතු වෙනවා. පස්සේ කාලෙක ජීවිතේ හොයාගෙන දුවද්දී ඒවා මග වැටිලා තිබුණා.

555876051 24453709467612338 1098969196490168277 n

පැණි වළලු පොතක් එළි දක්වන බව එන අයට පැණි වළලු රස විඳින්න දෙන බව මං දැනගන්නේ පැණි වළලුවලින් ම යි. ඔය අතරේ සර් කිහිප වතාවක් ම දේශනවලට ආවත් මං පැණි වළලු කියවන බව එකතුකරන බව කියන්න බැරි වෙනවා..

කාලේ ගෙවිලා ගිහින් මං ජීවිතේ අනිත් අය කියන සාර්ථකත්වයට ළං වෙනවා. විවාහ වෙලා දරුවෝ ලැබිලා ගෙවල් හදලා වාහන අරගෙන...

ඒත් මොනවදෝ හිස්කමකුත් තියෙනවා. ඉතින් මං ආයෙත් කියවන්න පටන් ගන්නවා. මං හොයාගෙන කියවාපු පොත් ආයෙම මිලට අරගෙන ගෙදර පොත් රාක්ක පුරවනවා. ඉතින් පැණි වළලු නැති පොත් රාක්කයක් මට මොකටද???

pv

පොත් හතරම එකවර ගන්න තරම් මට ඒක වටිනවා. ඉතින් මං හිතෙන හිතෙන හැම වෙලාවෙම පැණි වළලු රස විඳිනවා. දුකටත් පැණි වළලු සතුටටත් පැණි වළලු..

පොත දිහා බලාගෙන හිනාවෙනවා කඳුළු හලනවා; ගෙදර අය හිනාවෙනවා...

ඊටත් ටික කාලෙකට පස්සේ සර් හදිසියේ ම මිය ගිය බව දැනගන්න ලැබුණා. මට මොනවද හිතුණේ...

මං පැණි වළලු කියවන බව සර්ට කිව්වේ නෑ නේද කියලා මතක් වෙනවා…

ganganathdisanayakeමහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක

ඒක මගේ ජීවිතේ කොයිතරම් වෙනස් කළා ද කියලා මට කවදාවත් සර් ට කියන්න ලැබෙන එකක් නෑ. ඒත් සර් කිව්වා වගේ ඉක්මනින් ගිහින් ඉක්මනින් ආවොත් මං අනිවාර්යෙන් ඒක කියනවා...

WhatsApp Image 2026 08 15 at 3.55.20 AM

 

 

 

 

සටහන - කලනි කුමුදිනී විතානගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න