පාණදුර, ශ්‍රී සුමංගල විදුහලින් සහ කොළඹ, ආනන්ද විදුහලින් මුලික අධ්‍යාපනය ලැබූ මෙතුමා, සිය ප්‍රථම උපාධිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ද, යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව විෂය කරගනිමින් ආචාර්ය උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ද ලබාගත්තේ ය.
පී. ඒ. ද සිල්වා සූරීන් සිය වෘත්තීය ජීවිතය ඇරැඹූවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ යාන්ත්‍රික ඉන්ජිනේරුවරයෙක් ලෙස ය. මොරටුව විශ්වවිද්‍යාලය ස්ථාපිත කළ අවධියේ ම, එහි කථිකාචාර්යවරයකු ලෙස සේවයට එක්වුණු මෙ තුමා, ඉතා කෙටි කලකින් ම එහි මහාචාර්ය පදවිය දක්වා උසස්වීම් ලද්දේ ය. 2001 වසරේ දී විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාමගත් මෙ තුමාට, ඒ වසරේ දී ම මොරටුව විශ්වවිද්‍යාලයෙන් සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනැමිණි.
1977 වසරේ දී ලංකා වානේ සංස්ථාවේ සභාපති ලෙස පත්වූ මෙ තුමා, එහි දී 'ලංලෝ' උදැල්ල හඳුන්වා දුන්නේ ය. මෙ තුමා ගේ නායකත්වයෙන් හැත්තෑව දශකයේ දී විදුලි බලයෙන් ධාවනය වන මෝටර රථයක් මොරටුව සරසවිය නිර්මාණය කළ අතර, රටක් ලෙස එය වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමට අපට හැකි වී නම්, අප රටේ ම වර්තමානය වඩා යහපත් වනවා නොඅනුමාන ය. විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගත් පසු මෙතුමා ජර්මානු තාක්ෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස වසර ගණනාවක් සේවය කළේ ය.
සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙක ම මනාව හැසිරවිය හැකි මහාචාර්ය ද සිල්වා සූරීන් ඒ දෙ බසින් නවකතා, පරිවර්තන ඇතුළු ග්‍රන්ථ 12ක් රචනා කර ඇත.
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පැවැති සමයේ දී ත්‍රිවිධ හමුදාවේ හදිසි අවශ්‍යතා සඳහා අප්‍රකට ව තාක්ෂණික දැනුම සහ සහාය ලබාදුන් දේශප්‍රේමියෙක් ලෙස මහාචාර්ය ඒ. පී. ද සිල්වා සූරීන් අප ගේ ගෞරවයට පාත්‍ර වේ.
කුමාරතුංග උපත් සමරු පැවැත්වීම ඇරැඹුනේ 1987 වසරේ ජුලි 25 වන දිනට යෙදුණු එතුමා ගේ සිය වන උපත් සමරුව සමග ය. කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරැඹුනේ 2012 වසරේ දී, 125 වන උපත් සමරුව සමග ය. සිසුදරුවන්ට ආදර්ශයක් වනු පිණිස ද, ජාතියේ කෘතඥතාව පළ කරනු පිණිස ද, ඒ උපත් සමරු උලෙළ සඳහා සෑම වසරක දී ම, කිසියම් ක්ෂේත්‍රයකින් පරතෙරට ගිය, එමගින් පෙරළා මවුබිමට මෙහෙයක් කළ විද්වතකු ශිෂ්‍යත්ව ප්‍රදානයට සහභාගී කරගැනීම ද ඒ හා ම ඇරැඹී සද්කාර්යකි. පසුගිය වසරේ (2025) පැවැති කුමාරතුංග මුනිදාස - 138 වන උපත් සමරුවට එ ලෙස අප ගේ ආරාධනය ලැබූ විද්වතාණෝ මහාචාර්ය ඒ. පී. ද සිල්වා සූරීහු ය. ඉහත පළ වනුයේ ඒ අවස්ථාවේ දී 'කුමාරතුංග මුනිදාස පදනම' එ තුමා පිළිබඳ කළ හැඳින්වීම ය.
මෙසේ නැවත පළ කරනු ලබන්නේ පසුගිය 13 වන දින සිදුවූ මෙ තුමා ගේ අභාවය නිමිත්තෙනි.
ගෙවිදු කුමාරතුංග
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
