Language Switcher

V2025

මරු රජ කළ මාසයක් !

අගෝස්තු මාසය පුරා ඇෆ්ගනිස්තානය තුළ සාමාන්‍ය වශයෙන් සෑම දිනකදීම පුරුෂයන්, කාන්තාවන් සහ දරුවන් 74 ක් ඝාතනය වී ඇතැයි බීබීසී වෙත අනාවරණ වී ඇත.

ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම පාහේ ඇෆ්ගනිස්තානය වෙලා ගෙන ඇති ආකාරය ඉහත කී සොයා ගැනීම් මගින් පෙන්නුම් කරයි.

මෙවැනි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ දහඅට වසරක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මතුව ඇති වියවුල හමුවේ එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමට සාකච්ඡා කරමින් සිටින අතරතුරදීය.

ආරක්ෂාව සම්බන්ධ සිදුවීම් 611 කින් පුද්ගලයන් 2,307 මරණයට පත්ව ඇති බව බීබීසීයට තහවුරු කළ හැක.

බීබීසීය විසින් හඳුනා ගනු ලැබ ඇති මරණ සංඛ්‍යාවේ ඇති වලංගුභාවය තාලිබාන් සංවිධානය සහ ඇෆ්ගන් ආණ්ඩුව යන දෙපාර්ශවයේම ප්‍රශ්න කිරීමට ලක්ව ඇත.

මරණයට පත් වැඩි දෙනෙකු සටන්කරුවන්ය. බලාපොරොත්තු වූවාට වඩා වැඩි තාලිබාන් සටන්කරුවන් සංඛ්‍යාවක් ඒ අතර වෙති. නමුත් ඉන් පහෙන් එකක් සාමාන්‍ය වැසියන්ය.

තවත් 1,948 ක් තුවාල ලබා තිබේ.

මරණයට පත් ප්‍රමාණය ඇෆ්ගන් භූමියේ පවතින තත්ත්වය පිළිබඳ කෙටි දසුනක් පමණි.

කෙසේ වුවත් එමගින් නීරස චිත්‍රයක් සිතුවම් කරන්නේ ප්‍රධාන විදෙස් ප්‍රතිපත්ති අභිලාශයක් සාක්ෂාත් කර ගැනීම සහ සිය හමුදා භටයන් ඉවත් කර ගැනීම දෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව පවතිද්දීය.

තාලිබාන් සංවිධානය සහ එක්සත් ජනපදය අතර එකඟතාවකට පැමිණීමේ අරමුණින් වසරක් පුරා පැවති සාකච්ඡා මීට දින ගණනාවකට පෙර ජනාධිපති ට්‍රම්ප් විසින් අවලංගු කරනු ලැබීය. යළි සාකච්ඡා මේසයට පැමිණීම සම්බන්ධයෙන් තීන්දුවකට ද පැමිණ නැත.

කෙසේ වුවත් සටන් විරාමයක් පිළිබඳ කිසිදිනක සාකච්ඡාවට ලක් නොවුණු අතර තවමත් ඇෆ්ගන්වාසීන් සිය ගණනක් සෑම සතියකදීම මරණයට පත් වේ. මේ මස අග ජනාධිපතිවරණය පැවැත්වීමට තිබියදී ප්‍රචණ්ඩත්වය තවත් දරුණු වෙතැයි බිය පළ වේ.

මාරක දින 31 ක්

image11

අගෝස්තු මස ප්‍රචණ්ඩකාරී පළමු සතියෙන් පසු තාලිබාන් සංවිධානය සහ ඇෆ්ගන් ආණ්ඩුවේ හමුදා ඉස්ලාමීය ආගමික උත්සවයක් වන ඊද් සමයේ දින තුනක නොනිල සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළහ.

එහෙත් උත්සව සමය අතරතුර එනම් අගෝස්තු 10 වෙනිදා සන්ධ්‍යාවේ සිට අගෝස්තු 13 සවස් භාගය දක්වා කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 90 දෙනෙකු මරණයට පත්ව ඇති බව බීබීසීයට තහවුරු කර ගැනීමට හැකි විය.

මරණයට පත් සටන්කරුවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ අගෝස්තු 27 වෙනිදාය. එහිදී 162 ක් මරණයට පත් වී 47 ක් තුවාල ලද බව තහවුරු වී ඇත. එකී ගුවන් ප්‍රහාරවලින් ප්‍රධාන වශයෙන් මරණයට පත්ව ඇත්තේ තාලිබාන් සටන්කරුවන්ය.

නමුත් සාමාන්‍ය වැසියන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත් වූයේ අගෝස්තු 18 වෙනිදාය. එදින මරණයට පත් වූ සම්පූර්ණ සංඛ්‍යාව 112 කි. එක් ස්ථානයකදී වැඩිම සංඛ්‍යාවක් මරණයට පත් වූයේ කාබුල් නුවර විවාහ මංගල්‍ය උත්සවයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකිනි. ඉන් පුද්ගලයන් 92 ක් මරණයට පත් වූ අතර 142 ක් තුවාල ලැබූහ.

මිරාවයිස් නමැති මනමාලයාගේ සමීප මිතුරන් ගණනාවක් මරණයට පත් වූ අතර මනමාලියගේ සහෝදරයකු ඇතුළු ඥාති සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකු ද මරණයට පත් විය.

සිය බිරිඳට මංගල ඇඳුම සහ ඡායාරූප ඇල්බමය පුළුස්සා දැමීමට අවශ්‍ය බව බීබීසීය වෙත කියා සිටි මිරාවයිස් "මගේ සියලු බලාපොරොත්තු සහ සතුට එක තත්පරයකින් විනාශ වුණා" යනුවෙනි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබීය.

වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ කවුද?

වසර 2001 පසු තාලිබාන් සංවිධානය මෙතරම් බලසම්පන්න වී නොමැත. නමුත් බීබීසීය විසින් අගෝස්තු මස තහවුරු කර ගන්නා ලද මරණ සියල්ල අතරින් අඩකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ සටන්කරුවන්ය. එය විශාල සංඛ්‍යාවකි.

සාම සාකච්ඡා අතරතුර තාලිබාන් සටන්කරුවන් ප්‍රහාරවලට සම්බන්ධ වීම, එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා ගුවන් ප්‍රහාර ඉහළ නැංවීම, ප්‍රතිචාර වශයෙන් රාත්‍රී කාලයේ ප්‍රහාර එල්ල කර තාලිබාන් සටන්කරුන්වන් මරා දැමීම ඇතුළු කරුණු කිහිපයක් ඒ සඳහා බලපා හැක. රාත්‍රියේ එල්ල කෙරුණු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් ද මරණයට පත්ව ඇත.

මෑත වසර කිහිපය තුළ තාලිබාන් සංවිධානයට සිය සාමාජිකයන් කොපමණ සංඛ්‍යාවක් අහිමි වී ඇත්දැයි යන්න පැහැදිලි නොමැත. ආයුද සන්නද්ධ පුද්ගලයන් 60,000 පමණ ඔවුන් සතුව ඇතැයි විශ්වාස කරේ.

නිවේදනයක් නිකුත් කරමින් තාලිබාන් සංවිධානය කියා සිටියේ පසුගිය මාසය තුළ සටන්කරුවන් 1,000 ක් මිය ගොස් ඇති බවට වන "පදනම් විරහිත චෝදනා" ප්‍රතික්ෂේප කරන බවය. "එපමණ සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව" ඔප්පු කිරීම සඳහා ලිඛිත සාක්ෂි නොමැති බවත් එහි සඳහන්ය.

එම නිවේදනය මගින් බීබීසී වාර්තාව හඳුන්වනු ලැබ ඇත්තේ " කාබුල් පාලනයේ අභ්‍යන්තර කටයුතු සහ ආරක්ෂක අමාත්‍යංශවල දෛනික ප්‍රචාරණය මත පදනම් වූවක්" වශයෙන්ය.

ඇෆ්ගන් ආරක්ෂක හමුදා සාමාජික මරණ පිළිබඳ වාර්තා අතිශය රහසිගතය. එබැවින් බීබීසී වාර්තා මගින් අගෝස්තු මාසය තුළ තහවුරු කර ගනු ලැබ ඇති සංඛ්‍යාව නිශ්චිත වශයෙන්ම මරණයට පත් සංඛ්‍යාවට වඩා අඩු විය හැක. ජනවාරි මාසයේදී ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගානි කියා සිටියේ 2014 අග භාගයේ සිට ආරක්ෂක හමුදා සාමාජිකයන් 45,000 මරණයට පත්ව ඇති බවය.

image22

ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියේ බීබීසී සමීක්ෂණය සම්බන්ධයෙන් "දැඩි විමර්ශනයක් සිදු කළ යුතු" බවය.

ලොව භයානකම ගැටුමද?

ඇෆ්ගනිස්තානය තුළ දශක හතරක් පුරා ගැටුම් පවතින අතර වසර කිහිපයක් යන තෙක් කිසිදු විසඳුමකට ළඟා වීමට නොහැකිව පවතී.

පසුගිය වසරේ අග භාගයේදී 'Armed Conflict Location & Event Data Project' ව්‍යාපෘතිය විසින් ඇෆ්ගනිස්තානය හඳුන්වනු ලැබුවේ ගැටුම් ආශ්‍රිත මරණ සම්බන්ධයෙන් ලොව වඩාත් භයානක භූමිය වශයෙනි.

2019 ජුනි මසදී 'Global Peace Index' වාර්තාව මගින් ඇෆ්ගනිස්තානය ලොව අවම සාමකාමී ස්ථානය ලෙස නම් කරනු ලැබිණි.

බීබීසීය අදාළ දත්ත එක්රැස් කිරීම සඳහා අගෝස්තු 1 - 31 දක්වා ඇෆ්ගනිස්තානය තුළ පළ වූ වාර්තා 1,200 අධික සංඛ්‍යාවක් යොදා ගන්නා ලදී.

(බීබීසී)