ජනාධිපති ලේකම් කාර්යායේ සේවකයෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳී හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ගේ ඉන්ධන පිරවුම්හලේ සේවය කළ බව කියන සේවකයෙකු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (12) නියෝග කළා.
මෙලෙස නියෝග කළේ අල්ලස් කොමිසම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු ලෙස කටයුතු කරනු ලබන දිපාල් සංජිව රත්නායක නමැත්තා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
මෙම සැකකරු හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ජනාධිපති ජෙෂ්ඨ උපදේශන විමධ්‍යගත පරිපාලන ලෙස පත් වීමෙන් පසු සේවකයන් 5 දෙනෙකු පත් කර ගත් බවත් මෙම දෙවන සැකකරු එම අවධිය තුළ කළමණාකරණ සහකාර තනතුරෙහි කටයුතු කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
එම ධුර කාලය අවසන් වීමෙන් පසු හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේ කුලියාපිටිය ඉන්ධන හලක සේවය කරන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූයේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සැකකරු අල්ලස් පනතේ 70 වගන්තිය සහ දූෂණ විරෝධී පනතේ 112 වගන්තිය ප්‍රකාරව වරදක් කළ ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මෙලෙස කරුණු දැක්වූයේ ය.
අල්ලස් කොමිසම
"ස්වාමීනි, මෙම සිද්ධියට අදාළ පළමු සැකකරු වන අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු 2022 ජුලි මාසයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශන විමධ්‍යගත පරිපාලන ලෙස පත්විම් බාර ගන්නවා. තමාගේ කාර්යය මණ්ඩලයට සේවකයින් 5ක් ලබා ගන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දෙනවා එම සේවකයන්ව, ඊට අමතරව හිටපු මෙම අමාත්‍යවරයා තවත් අවස්ථා දෙකක දී බාහිර පුද්ගලයින් දෙදෙනෙක් කළමනාකරණ තනතුරට අවශ්‍ය බව පවසා ලබා ගන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලය තුළයි එම කාර්යාලය පිහිටා තිබිය යුත්තේ. කාර්යාලය පිටත පිහිටා තිබේනවා නම් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් විය යුතුයි.
එම බඳවා ගන්නා ලද සේවකයින් රාජකාරියට පැමිණීමෙන් පසු ඇගිලි සටහන් තැබීම පිටව යෑමේ දී ඇඟිලි සටහන් තිබිය යුතුයි. නමුත් ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන්නේ නැහැ. කාර්ය මණ්ඩලය තාවකාලිකව බඳවාගෙන. 2024/2/1 මෙම පත්වීම් ලබා දීලා. අමාත්‍යවරයා ගේ එම ධුර කාලය 2024/9/24 අවසන් වී තිබෙනවා.
මෙම සැකකරු එම අවධියේ රාජකාරි කළ බවට වාර්තා, විවේක ගත් අවස්ථාවල වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂා කළා. සැකකරු රාජකාරී අවස්ථාවල ම පළමු සැකකරු ගේ කුලියාපිටියේ ඉන්ධන හලට ගොස් සේවය කර තිබෙනවා. එම අවධියේ එම ඉන්ධන හලේ බැංකු ගිණුම් කටයුතු සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන්නේ මෙම දෙවන සැකකරු විසින්. සිද්ධියට අදාළ පළමුවන සැකකරු විසින් තමා යටතේ සිටින සේවකයන් ගැන වාර්තා ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මෙම සැකකරු විසින් පළමුව ලබාදුන් ප්‍රකාශ දෙවනුව දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දුන් ප්‍රකාශ සමග පරස්පරයි. දෙවන සැකකරු ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේ ලබා දුන් විවේක කාලය තුළ මෙම පළමුවන සැකකරුවන හිටපු අමාත්‍යවරයා සමග ජංගම දුරකථනයෙන් පස් පාරක් කතා කර තිබෙනවා. පසුව ලබා දුන් ප්‍රකාශ පරස්පරව ලබා දී තිබෙනවා. ඒ අනුව පැහැදිලි වෙනවා. සාක්ෂිවලට බලපැම් සිදු විය හැකි බව.
ස්වාමීනි ඒ අනුව මෙම සැකකරු පළමුවැනි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළ දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.''
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට නීතිඥවරයා මගේ සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලාා සිටියා.
සිද්ධියට අදාලව තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහි දී නියෝග කළේ ය.
ජනාධිපති ලේකම් කාර්යාලයට බඳවාගත් සේවකයින් පෞද්ගලික සහ දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයට බඳවාගත් සේවකයින් පෞද්ගලික සහ දේශපාලන කටයුතුවලට යොදවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරන විමර්ශනයකට ආදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
