Image

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (NIID) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සුවිශේෂී පිළිගැනීමක්

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (NIID) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සුවිශේෂී පිළිගැනීමක්

 

නව නාමපුවරුව නිරාවරණය අමාත්‍යවරයා අතින්

ඒ වෙනුවෙන් පැවැත්වූ විශේෂ සමාරම්භක උත්සවය අද (26) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ගේ සහභාගීත්වයෙන් එම රෝහල් පරිශ්‍රෙය් දී පැවැත්විණි. මෙහි දී අමාත්‍යවරයා ජාතික බෝවන රෝග විද්‍යායතනය, ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳව පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානය ලෙස නම් කළ නව  නාමපුවරුව නිරාවරණය කළේ ය.

අනතුරුව පැවති විශේෂ උත්සව සභාව අමතමින් අදහස් දැක්වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් අද සනිටුහන් කරන බවත්, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය ජාත්‍යන්තර වශයෙන් දිනාගත් විශ්වාසය හා පිළිගැනීම පිළිබඳ මෙය ප්‍රබල සාක්ෂියක් වන බව ද සඳහන් කළේ ය.

 

සහයෝගිතා මධ්‍යස්ථානයේ ස්ථාපනය අතිශයින් කාලෝචිත සහ වැදගත් පියවරක්

ජාතික බෝවන රෝග විද්‍යායතනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස නම් කිරීම, වසර ගණනාවක් පුරා අඛණ්ඩව ඉටුකළ සායනික සේවය, ගුණාත්මක පුහුණුව, විද්‍යාත්මක පර්යේෂණ සහ කැපවූ ආයතනික නායකත්වය සඳහා හිමි වූ ගෞරවනීය ඇගයීමක් බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා  එය මෙම ආයතනයේ කීර්තිනාමය ගොඩනැගූ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, රසායනාගාර වෘත්තිකයන්, පර්යේෂකයන්, පරිපාලන නිලධාරීන් හා සියලුම සෞඛ්‍ය වෘත්තිකයන්  වෙත පිරිනමන ලද ජාත්‍යන්තර උපහාරයක් බව ද පැවසී ය.

WhatsApp Image 2026 06 26 at 2.30.22 PM 2

මෙම ජාත්‍යන්තර පිළිගැනීම අප වෙත හිමිවන්නේ ඩෙංගු රෝගය යළිත් වරක් මෙරට බරපතල මහජන සෞඛ්‍ය අභියෝගයක් ලෙස ඉස්මතු වී ඇති අවස්ථාවකදී බව මෙහි දී අවධාරණය කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස  වාර්තා වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කොළඹ ඇතුළු බස්නාහිර පළාතෙන් වාර්තා වන බව ද සඳහන්කර සිටියේ ය. එවැනි වාතාවරණයක් තුළ මෙම සහයෝගිතා මධ්‍යස්ථානයේ ස්ථාපනය අතිශයින් කාලෝචිත හා වැදගත් පියවරක් බවත්, ඩෙංගු රෝගය වැළැක්වීම, කඩිනම් හඳුනාගැනීම, නිවැරදි රෝග විනිශ්චය, ප්‍රශස්ත සායනික කළමනාකරණය, ශක්තිමත් යොමු කිරීමේ පද්ධති, පර්යේෂණ සහ මහජන දැනුවත්භාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය නව ජවයක් සපයනු ඇති බවද පැවසීය.

 

ශ්‍රී ලංකාවට හිමි වූ විශිෂ්ට ජාත්‍යන්තර පිළිගැනීමක්

WhatsApp Image 2026 06 26 at 2.30.21 PM

ජාතික බෝවන රෝග විද්‍යායතනය දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ඩෙංගු කළමනාකරණයේ ප්‍රමුඛතම යොමු කිරීමේ මධ්‍යස්ථානය ලෙස කටයුතු කරමින්, සංකීර්ණ හා දරුණු ඩෙංගු රෝගීන්ගේ ජීවිත රැක ගැනීමේ අතිවිශිෂ්ට මෙහෙවරක් ඉටු කර ඇති බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා ජාතික ඩෙංගු කළමනාකරණ මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම, රෝගී අධීක්ෂණ ප්‍රස්ථාර හා සායනික මෙවලම් හඳුන්වාදීම, සායනික පුහුණුව, පර්යේෂණ හා නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම තුළින් එය ජාතික සෞඛ්‍ය පද්ධතියට අගනා දායකත්වයක් ලබාදී ඇති බව ද සඳහන් කර සිටියේ ය.

WhatsApp Image 2026 06 26 at 2.30.23 PM

මීට වසර ගණනාවකට පෙර  ආරම්භ කළ ව්‍යුහගත ඩෙංගු පුහුණු වැඩසටහන්, පසුව විවිධ විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රයන්හි පශ්චාත් උපාධි අභ්‍යාසලාභීන් දක්වා පුළුල් වූ අතර, අද වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන්ට ප්‍රශස්ත ප්‍රතිකාර සපයන දක්ෂ සායනික ශ්‍රම බළකායක් ගොඩනැගීමට එය මූලික අඩිතාලමක් වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසී ය.

2026 අප්‍රේල් 15 සිට 2030 අප්‍රේල් 14 දක්වා කාලය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ  සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස ජාතික බෝවන රෝග ආයතනය නම් කිරීම ශ්‍රී ලංකාවට හිමි වූ විශිෂ්ට ජාත්‍යන්තර පිළිගැනීමක් මෙන්ම ඉටුකළ යුතු වගකීමක් ද වන බවත් පෙන්වා දුන් ඒ මහතා  එම වගකීමේ හරය වනුයේ ජීවිත සුරැකීම, කාලෝචිත හඳුනාගැනීම, නිවැරදි අධීක්ෂණය, කාර්යක්ෂම සායනික තීරණ, පුහුණු මානව සම්පත, විශ්වාසනීය දත්ත සහ ශක්තිමත් යොමු කිරීම මත බවද වැඩිදුරටත් මෙහි දී සඳහන්කර සිටියේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකා කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී වෛද්‍ය මොමෝ ටකේචි, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන අය ද මෙහිදී අදහස් දැක්වූහ.

 

මෙම ගෞරවය හිමිවු මෙරට ප්‍රථම රෝහල ද අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය යි‍

මේවන තෙක් මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල විදේශීය රටවලට ගොස් අධ්‍යාපනය ලබා ගත් අතර මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමෙන් පසු අනෙකුත් රටවල සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලටද ඩෙංගු රෝග කළමනාකරණය හා සම්බන්ධව පුහුණුව ලබා ගැනීමටත් හා පර්යේෂණ සිදු කිරීමටත් මෙරට තුළ දීම අවස්ථාව හිමිවේ. මේ සඳහා පෙර සූදානමක් ලෙස, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ස්ථාපිත පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය මඟින් බංගලාදේශය, නේපාලය, භූතානය ආදී රටවල් සඳහා ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳව න්‍යායික සහ සායනික දැනුම ලබා දීම මේ වන විට සිදු කර ඇත. ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳව පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයට මෙම පිළිගැනීම  ලබා දී ඇත්තේ වසර 4 ක කාලයක් සඳහා වන අතර, ඉදිරි සිව් වසර තුල රෝහල විසින් සපුරා ගත යුතු ඉලක්ක කිහිපයක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

WhatsApp Image 2026 06 26 at 2.30.22 PM

මෙම  අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.පී යේගචන්ද්‍ර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ්, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.බී. සන්දනායක, විශේෂඥ වෛද්‍ය තිසර පෙරේරා, ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර, යන අය මෙන්ම ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සියලු සෞඛ්‍ය වෘත්තිකයන්  නියෝජනය කරමින් පිරිසක්ද, රෝහල් සංවර්ධන කමිටුව නියෝජනය කරමින් නියෝජිතයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න