Language Switcher

V2025

අනේ විමල්!ඔයා හිරේ නොගියේ අගමැතිට පිං සිද්ධවෙන්නයි - මුජිබර් රහුමාන්

තමන් වරදක් නොකළ නිසාත් හිරේ විලංගුවේ නොවැටුණු නිසා අද වන විට ජනතාව තමන්ට ජන්දය දී ජයග්‍රහණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර සිටියත් විදෙස් ගමන් බලපත් දෙකක් ව්‍යාජ ලෙස භාවිතා කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයා හිරේ නොගියේ අග්‍රාමාත්‍යවරයාගේ අනුකම්පාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අද (19) පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර විමල් මන්ත්‍රීවරයාව හිරේ නොයැවීම ගැන අග්‍රාමාත්‍යවරයට ඔහු පිං දියයුතු බවද පැවසීය. එසේම ඉදිරියේදී ජනවාරි ජනවරමට ගරු කර වැරදි කළ සියළු දෙනාට අනුකම්පාවකින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක කලයුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

එසේම රට තුළ මේ මොහොතේ අර්බුදකාරී වටපිටාව නිර්මාණය කරන්න වැඩ කටයුතු සිදුකළේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පාර්ශවය විසින් බවත් ඔවුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මොහොතේ සිටම ඒ වෙනුවෙන් කටයුතු කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුව පැහැදිළි ජනවරමක් සහිතව වසර 5ක් වෙනුවෙන් බලය ලැබූ අවස්ථාවේ අයතා ක්‍රම හරහා උපයන ලද මුදලින් සහ විවිධ සංතෝසම් ලබාදී මන්ත්‍රීවරු කණ්ඩායමක් කඩා වෙන්කරගෙන කටයුතු කළ ආකාරය සිහිපත් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ මොහොතේද පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පෙන්වා කටයුතු කරන්නේද එවැනිම ආකාරයට බවය.

ඊට නිදර්ශන දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණය හරහා පාර්ලිමේන්තුවේ සංයුතියේ කිසිඳු වෙනසක් සිදුනොවී ඇති බවත් ඒ හමුවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හරහා වසර 5ක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති ජනවරමට අභියෝග කල නොහැකි බවය.