Image

ලයිබීරියාවේ සිට තිරුක්කෝවිල් දක්වා; ඛනිජ වැලි නිස්සාරණය හමුවේ අභියෝගයට ලක්වන නැගෙනහිර ජන ජීවිතය

ලයිබීරියාවේ සිට තිරුක්කෝවිල් දක්වා; ඛනිජ වැලි නිස්සාරණය හමුවේ අභියෝගයට ලක්වන නැගෙනහිර ජන ජීවිතය

පරම්පරා ගණනාවක් තිස්සේ තිරුක්කෝවිල්හි ජන ජීවිතය ගෙවී ගියේ මහා සයුර, ජීවයෙන් පිරි කළපුව සහ සශ්‍රීක ගොවිබිම් අතර ය. අම්පාර දිස්ත්‍රික්කයේ නැගෙනහිර වෙරළ තීරයට වන්නට පිහිටි මෙම ප්‍රදේශය, පවුල් 11,000කට අයත් 33,000ක පමණ ජනගහනයකට සෙවණ සලසයි. ඔවුන්ගෙන් බහුතරයක් ජීවනෝපාය සරිකර ගන්නේ වී ගොවිතැන, රටකජු යනාදි බෝග වගාවෙන්, සත්ව පාලනයෙන් සහ දේශීය කළපු මෙන්ම මහා සාගරය ඇසුරින් සිදුකරන ධීවර කර්මාන්තයෙනි.

කෙසේ වෙතත්, අද වන විට ඔවුන් පය ගසා සිටින වැලි කැටය පවා අයිති කරගැනීම වෙනුවෙන් නිහඬ සටනක් නිර්මාණය වෙමින් පවතී. භූ විද්‍යාත්මක සමීක්ෂණවලට අනුව, මෙම වෙරළ තීරය ඉල්මනයිට් (Ilmenite), රූටයිල් (Rutile), සර්කෝන් (Zircon) සහ ගානට් (Garnet) වැනි ඉහළ වටිනාකමකින් යුත් ඛනිජ වැලිවලින් පොහොසත් ය. ජාත්‍යන්තර කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මෙම ඛනිජ සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ බොහොමයක මෙම වටිනා සම්පත් බහුලව දක්නට ලැබෙනවා. තිරුක්කෝවිල් යනු ඉන් එක ප්‍රදේශයක් පමණි. මෙම වැලි කැණීමෙන් ප්‍රදේශයට මුදල් සහ රැකියා අවස්ථා ලැබෙන බව පවසමින් දේශීය සහ විදේශීය සමාගම් තර්ක කරන අතර, ප්‍රදේශවාසීන් බියෙන් පසුවන්නේ මේ හේතුවෙන් තමන්ගේ ජීවිත රඳා පවතින පරිසරය මුළුමනින්ම විනාශ වී යනු ඇතැයි කියා ය. මෙම බිය සහ ගැටලුවේ බරපතලකම වටහාගැනීම පිණිස, අපි තිරුක්කෝවිල් බලා සංචාරය කළෙමු. එහි දී අපට ප්‍රදේශවාසීන්, ප්‍රජා නායකයින් සහ මහජන නියෝජිතයින් හමුවී ඔවුන් ගේ අදහස් විමසීමට හැකි විය.

පළාත් පාලනයේ පවුර

යෝජිත ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරන අය අතර තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සසිකුමාර් ද වෙයි.

Screenshot 2026 06 28 135751

"2021 වසරේදී 'දම්සිල' ලෙස දේශීයව හඳුන්වන සමාගමක් මේ ප්‍රදේශයේ ඉල්මනයිට් කැණීම් සඳහා සූදානම් වෙන්න පටන් ගත්තා. නමුත් ප්‍රදේශයේ ජනතාව එය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව වුණේ මේකෙන් තමන් ගේ පරිසරයට වගේම ප්‍රදේශයේ ආර්ථිකයටත් දැඩි හානියක් වෙයි කියලා ඔවුන් විශ්වාස කිරීමයි.

මේ කලාපය මුළුමනින්ම යැපෙන්නේ එහි ඇති භූමිය සහ ජල සම්පත මතයි. මහා පරිමාණ ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියක් සිදුවුවහොත්, ඉන් පරිසරයට අනිවාර්යයෙන්ම බලපෑම් එල්ල වෙනවා. පුල්මුඩේ ප්‍රදේශයට සිදුවුණේ කුමක්ද කියා මෙහේ මිනිස්සු දැකලා තියෙනවා. එහි ජීවත්වන ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් තමන් ලැබූ අත්දැකීම් මේ අය එක්ක බෙදාගෙන තියෙනවා. කැණීම් කටයුතු නිසා ඒ භූ දර්ශනය සදහටම වෙනස් වී ඇති බවයි බොහෝ වැසියන් විශ්වාස කරන්නේ. මේ දක්වා අපි මේ කටයුතු සඳහා කිසිදු අවසරයක් ලබා දී නැහැ. පළාත් පාලන බල ප්‍රදේශ හරහා මෙවැනි සම්පත් ප්‍රවාහනය කිරීමට දරන ඕනෑම උත්සාහයකට අපගේ මැදිහත්වීම සහ අනුමැතිය අත්‍යවශ්‍යයි."Screenshot 2026 06 28 151140

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු ම පරිසර වාර්තා ඇතුළු අවසර ලබාගෙන ඇති බවට කෙරෙන ප්‍රකාශ පිළිබඳව ද සසිකුමාර් ප්‍රශ්න කළේ ය.

"අප දන්නා තරමින්, මේ සඳහා අවශ්‍ය පාරිසරික අනුමැතිය තවමත් ලැබී නැහැ. සමාගම වෙනත් කතාවක් කිව හැකි වුවත්, අවසාන පාරිසරික අනුමැතිය මෙතෙක් නිකුත් කර නැහැ."

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2025 ඔක්තෝබර් මාසයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ද මේ යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා වූ නමුත් එහි දී ද ස්ථිර තීරණයකට එළඹීමට නොහැකි වූ බවයි.

"ඇතැම් පුද්ගලයන් මේ ව්‍යාපෘතියට පක්ෂව කතා කරනවා විය හැකියි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් මේ ප්‍රදේශයේ ජීවත් වන අය නොවෙයි. ප්‍රදේශයේ සැබෑ වැසියන්ගේ අතිමහත් බහුතරයක ගේ මතය වන්නේ මෙයට විරුද්ධ වීමයි. මෙහි ජීවත්වන මිනිසුන්ගේ කැමැත්තක් නැත්නම්, මෙවැනි ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යන්නේ කොහොමද?"

ප්‍රදේශවාසීන් මොනවද කියන්නේ...?

වෙරළ තීරයේ සිටගෙන, තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රභාකරන් යෝගරාසා අපට පෙන්වා දුන්නේ මෙම කලාපයේ ආර්ථිකය මෙන්ම පරිසර පද්ධතිය ද හැඩගස්වන ජල මාර්ග පද්ධතිය යි.Screenshot 2026 06 28 141908

"මේක නිකම්ම නිකන් වෙරළ තීරයක් විතරක් නෙවෙයි. වැදගත් ජල මාර්ග තුනක් මුහුදට එකතු වෙන්නේ මෙතනින්. ඒ තමයි ‘චින්න මුහත්තුවාරම්, පෙරිය මුහත්තුවාරම් සහ කෝරළෙයි කලපුව," යැයි ඔහු පැවසී ය.

කෝරළෙයි කලපුව මෝය ප්‍රදේශය ධීවරයන්ට විශේෂයෙන්ම වැදගත් වේ. යෝගරාසා පවසන පරිදි ධීවර පවුල් 3,000ක් පමණ සිය ජීවනෝපාය සඳහා සෘජුවම මේ දියකඩ මත යැපෙති. එමෙන්ම මෙම කලාපය පුළුල් කඩොලාන පරිසර පද්ධතියකට සහ විවිධ ජලජ ජීවී විශේෂ රැසකට නවාතැන් සපයයි.

IMG 5168

එම ප්‍රදේශය පුරා අපව කැඳවාගෙන යමින් යෝගරාසා විස්තර කළේ ස්වභාවික පරිසරය සමග දැඩිව බද්ධ වුණු ජන ජීවිතයකි. ධීවර කර්මාන්තයට අමතරව පවුල් සිය ගණනක් කෘෂිකර්මාන්තයේ නියැළෙති. මෑත වසරවල දී මහා පරිමාණයෙන් ව්‍යාප්ත වූ රටකජු වගාව ඔවුන් ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත. මීට අමතරව පොල් වගාව ද ඔවුන් ගේ ආර්ථිකයට සලසන්නේ මහඟු දායකත්වයකි.

ඛනිජ නිස්සාරණය පිළිබඳ මේ විවාදය අලුත් එකක් නොවන බව ද ඔහු සඳහන් කළේය.

"මම දන්න තරමින් මේ ගැටලුව අවුරුදු විස්සක විතර ඉඳලා තියෙනවා. විවිධ ආණ්ඩු යටතේ විවිධ කාලවල දී එක එක සමාගම් ආවා. නමුත් මිනිස්සු දිගින් දිගටම මේකට විරුද්ධ වුණේ තමන් ගේ ජීවනෝපායට සිදුවන බලපෑම ගැන තියෙන බය නිසයි."

යෝගරාසා විශ්වාස කරන්නේ මෙම ප්‍රදේශයේ අනාගතය රැඳී ඇත්තේ කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත පමණක් නොව, සංචාරක කර්මාන්තය මත ද වන බවයි. කළපු, ජල මාර්ග, පක්ෂි ජීවිතය සහ වෙරළබඩ සුන්දරත්වය නිසා ම තවමත් ප්‍රයෝජනයට නොගත් විශාල සංචාරක විභවයක් මේ කලාපය සතු බව ඔහු දකියි. කළපු ආශ්‍රිත බෝට්ටු සංචාර, පක්ෂීන් නැරඹීම සහ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘති (Eco-tourism) මඟින් දේශීය ජනතාවට නව ආර්ථික අවස්ථා උදාකර දිය හැකි බව ඔහුගේ අදහසයි.Screenshot 2026 06 28 152001

"පොතුවිල් තියෙන්නේ අපිට ඉතාම කිට්ටුවෙන්. ඒකට ලෝකය පුරාම ඉන්න සංචාරකයෝ එනවා. තිරුක්කෝවිල්වලටත් තියෙන්නේ ඒ වගේම ස්වභාවික සුන්දරත්වයක් සහ පාරිසරික වටිනාකමක්. පොතුවිල් එන සංචාරකයන්ව ලේසියෙන්ම මේ පැත්තටත් ගෙන්වා ගන්න පුළුවන්. මේ සම්පත් විනාශ කරන්නේ නැතුව, ඒවා ආරක්ෂා කරගෙන ප්‍රදේශයේ ජනතාවට තිරසාර ආදායම් මාර්ග හදලා දෙන ක්‍රම ගැනයි අපි හිතන්න ඕනේ."

එබැවින් බොහෝ වැසියන්ට මෙම සාකච්ඡාව වැලිකැට යට සැඟවී ඇති ඛනිජ නිධි ගැන පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිදුවිය යුත්තේ කෙබඳු ආකාරයේ සංවර්ධනයක් ද යන්න සහ ප්‍රදේශයේ අනාගත දැක්ම පිළිබඳව කෙරෙන මත ගැටුමකි.

තිරුක්කෝවිල් ධීවර සංගමයේ සභාපති පරසුරාමන් මදන් පැවසුවේ, ඛනිජ වැලි කැණීමේ ව්‍යාපෘති සඳහා ප්‍රජා සහයෝගය ලබා ගැනීමට වසර ගණනාවක සිට උත්සාහයන් දරමින් සිටින බවයි.Screenshot 2026 06 28 142550

"අපි සංගමයේ නිලතල දරන කාලයේ 'දම්සිල' කියන සමාගමේ නියෝජිතයෝ පහළොස් වතාවකට වඩා අපව හමුවුණා. මේ ව්‍යාපෘතියට පක්ෂව මිනිස්සු සීය දෙනෙකුගේ අත්සන් එකතු කරලා දෙන්න කියලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා," යැයි ඔහු පැවසී ය.

මදන්ට අනුව, සමාගම විසින් ධීවරයින්ට බෝට්ටු, ධීවර දැල්, මාර්ග සහ ජල පහසුකම් ඇතුළු විවිධ ආධාරක වැඩසටහන් රැසක් ලබාදීමට යෝජනා කර ඇත.

"ඔවුන් ධීවර පවුල්වලට එක එක විදියේ උදව් කරන්න පොරොන්දු වුණා. නමුත් අපි ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. එදා ඉඳන් අද වෙනකම් අපේ සංගමය ඉන්නේ ඒ එකම ස්ථාවරයේ."

එමෙන්ම 'කැපිටල් මෙටල්ස්' (Capital Metals) සමාගම විසින් මෙම ප්‍රදේශයේ පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති කාර්යාලයක් පිළිබඳව ද මදන් තම කනස්සල්ල පළ කළේ ය.Screenshot 2026 06 28 142723

ඔහුට අනුව, එම පරිශ්‍රය මුලින් පළාත් පාලන ආයතනයෙන් අවසර ලබාගෙන ඇත්තේ උකස් මධ්‍යස්ථානයක් සඳහා බවත් ඔවුන් පසුව වෙනත් අරමුණක් සඳහා එම ගොඩනැගිල්ල භාවිත කිරීමට උත්සාහ කිරීමත් සමග ප්‍රාදේශීය සභාව එම ව්‍යාපාරික ස්ථානයේ “මෙය නීති විරෝධී” බව සඳහන් කරමින් දැන්වීමක් අලවන්නට කටයුතු කර තිබෙනවා.

ස්වභාවධර්මයේ ‘බැංකුව’

බොහෝ ප්‍රදේශවාසීන්ට අනුව, ඛනිජ වැලි කැණීම පිළිබඳ මේ සංවාදය හැඩගැසී ඇත්තේ තාක්ෂණික වාර්තා හෝ සමාගම්වල ඉදිරිපත් කිරීම් (Presentations) මත නොවේ. ඒ වෙනුවට ඔවුන් ඒ සඳහා පදනම් කරගන්නේ වෙනත් ප්‍රදේශවලින් උගත් තිත්ත පාඩම් ය.

කෝරෛකලප්පු මෝය අසල සිටගෙන සිටි 66 හැවිරිදි ධීවරයෙකු වන පිල්ලෙයියන් තම්බි පරසුරාමන්, සංවර්ධන ව්‍යාපෘති දෙස තමන් බලන ආකාරය වෙනස් කළ අතීත අත්දැකීමක් ආවර්ජනය කළේ ය.Screenshot 2026 06 28 142925

"මගේ මුළු ජීවිත කාලය ම ගෙවුණේ ධීවර රක්ෂාවෙන්. මේ මහා මුහුදයි, කළපුවයි තමයි අපේ බැංකුව. අපිට තියෙන හැමදේම ලැබුණේ ඕවයින්," යැයි ඔහු පැවසී ය.

ඔහු 1997 වසරේ දී හලාවත වෙරළ තීරයේ සිදුකළ සංචාරයක් සිහිපත් කළේ ය. එහිදී රාජ්‍ය නොවන සංවිධානයක් තිරුක්කෝවිල්හි ධීවරයන් පිරිසක් ඉස්සන්, කකුළුවන් සහ මත්ස්‍ය වගා ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා කැඳවාගෙන ගොස් තිබුණි.

"ඉස්සෝ, කකුළුවෝ වගා කරන්නේ කොහොම ද, උන්ට කෑම දෙන්නේ කොහොම ද සහ ඒ ගොවිපළවල් පාලනය කරන්නේ කොහොමද කියලා ඔවුන් අපිට කියා දුන්නා. ඔවුන් ගේ අරමුණ වුණේ අපේ ප්‍රදේශයෙත් ඒ වගේ ව්‍යාපෘති පටන් ගන්න එකයි."

කෙසේ වෙතත්, ඔහු ගේ මතකයේ වඩාත්ම රැඳී තිබුණේ එම වගා ශිල්පීය ක්‍රම නොවේ.

"අපි දැක්කා එහේ හිටපු ගොඩක් මිනිස්සු බොන්න වතුර හොයාගන්න බැරුව දුක් විඳිනවා. කෘෂිකර්මාන්තයට තබා බොන්න වතුර පවා ගේන්න වුණේ ගොඩක් ඈත පළාත්වලින්. වසර ගණනාවක් තිස්සේ සිදුවුණු දේවල් නිසා එහේ භූගත ජලය දූෂණය වෙලා තියෙනවා කියලා මිනිස්සු අපිට කිව්වා."

එම අත්දැකීම ඔහු ගේ සිතේ තදින්ම සනිටුහන් විය.

පසුව තිරුක්කෝවිල්හි ඇතැම් ප්‍රදේශවලට මෙවැනි ජලජීවී වගා ව්‍යාපෘති හඳුන්වා දීමට උත්සාහ කිහිපයක් ම ගත්ත ද, භූගත ජලයට සහ අවට පරිසරයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව බියෙන් පසුවූ දේශීය ධීවරයෝ ඒවාට දැඩි ලෙස විරුද්ධ වූහ.

"අපේ ස්වභාවික සම්පත් අපිට හොඳටම ඇති කියලා අපි තීරණය කළා. පරිසර පද්ධතිය වෙනස් කරනවා වෙනුවට, අපි දිගටම කළපුව සහ මුහුද මතම යැපුණා."

පරසුරාමන් විශ්වාස කරන්නේ ඛනිජ වැලි කැණීම පිළිබඳ වත්මන් විවාදයට ද අදාළ වන්නේ මේ වැදගත් පාඩම ම බවයි.

"අපි ඉගෙන ගත්ත දේ තමයි, කෙටි කාලීන ලාභ නිසා දිගු කාලීන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියන එක. අදටත් අපේ ගම්වල පිරිසිදු භූගත ජලය තියෙනවා. ඒක අවදානමේ දාන්න අපි සූදානම් නැහැ."

මෙම කලාපය අර්ථකථනය කරන වෙරළ, වැලි කඳු, කලපු සහ ජල මාර්ග එකිනෙක බද්ධ වූ පරිසර පද්ධතිය මත යැපෙන තවත් බොහෝ ධීවර පවුල්වල පොදු කනස්සල්ල ද මෙයම වෙයි.

පොල් උයනේ මානුෂීය පිරිවැය

දැනට මෙම ඛනිජ වලි ගවේෂණ කටයුතු කේන්ද්‍රගත වී ඇති ප්‍රදේශය පිහිටා ඇත්තේ වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පාලනය වන ‘කෝරෛ ආදර්ශ පොල් උද්‍යානය’ (Korrai Coconut Model Garden) තුළ සහ ඒ අවට වෙරළබඩ භූමියෙහි ය.Screenshot 2026 06 28 143622

අක්කර 460ක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති මෙම වතුයාය සතුව පොල් ගස් දහස් ගණනක් පවතී. මුහුදට ආසන්නතම කොටස් 2004 සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස විනාශයට පත් වුව ද, වතුයායේ විශාල කොටසක්, විශේෂයෙන් ම කෝරෛකලප්පු කළපුවට සහ අවට ජල මාර්ගවලට මායිම් වන ප්‍රදේශ, තවමත් සශ්‍රීක පොල් වගාවෙන් යුක්ත ය. මෙම වතුයාය පිහිටා ඇත්තේ මහ සයුර සහ කළපු පද්ධතිය වෙන් කරන පටු බිම් තීරුවක ය. ධීවරයින් පවසන්නේ මෙම ස්වභාවික පවුර ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි.

ඔවුන් පවසන පරිදි, සාමාන්‍ය මට්ටමට වඩා මුහුදු රළ ඉහළ යන කාලවල දී දැනටමත් කළපු පද්ධතියේ ඇතැම් කොටස් වෙත කරදිය කාන්දු වන අතර, එය හේතුවෙන් මත්ස්‍ය බෝවන බිම්වලට මෙන්ම ජලයේ ස්වභාවයට ද බලපෑම් එල්ල වෙයි. මහා පරිමාණ කැණීම් කටයුතු සිදු වුවහොත් මෙම සමතුලිතතාව තවදුරටත් බිඳ වැටෙනු ඇතැයි ඔවුහු බිය වෙති.Screenshot 2026 06 28 151106

ඔවුන් ගේ මෙම කනස්සල්ල ධීවර කර්මාන්තයට පමණක් සීමා වූවක් නොවේ. පොල් කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ වටිනාම කෘෂිකාර්මික අංශයක් වන අතර, ඉන් වාර්ෂිකව අපනයන ආදායම ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් උපයා ගැනෙයි. කෙසේ වෙතත්, තිරුක්කෝවිල් වැසියන්ට මේ පොල් වතුයායේ වටිනාකම මැනිය හැක්කේ රටට ලැබෙන අපනයන ආදායමෙන් නොව, එමඟින් ප්‍රදේශයේ ජනතාවට ලැබෙන රැකියා සහ ජීවනෝපාය මාර්ග මත ය.

වතුයාය අසලදී අපට 79 හැවිරිදි බාකියම් හමු විය. ඇගේ චූටි නිවසින් පිටත වාඩි වී සිටි ඇය, මෙම වතුයාය සමග ගෙවුණු ඇගේ මුළු ජීවිත කාලය ගැන ම අප සමඟ අදහස් දැක්වූවා ය. ඇගේ සැමියා මෙන්ම පුත්‍රයා ද වැඩ කළේ මේ වතුයායේ ය. ඇය ද වසර ගණනාවක් තිස්සේ මෙම වතුයායට සම්බන්ධ විවිධ රැකියාවල නිරත වෙමින් ජීවිතය සරිකරගෙන ඇත.Screenshot 2026 06 28 145844

"මම මුලින්ම මෙහාට එනකොට මට හරිම වයස බාලයි. අපේ පවුලේ ජීවිතය හැමදාම රඳා පැවතුණේ මේ භූමිය උඩයි," යනුවෙන් ඇය පැවසුවාය.

ප්‍රදේශවාසීන්ට අනුව, පවුල් සිය ගණනක් වගා කටයුතු, නඩත්තු කටයුතු, අස්වනු නෙළීම සහ ප්‍රවාහන කටයුතු හරහා සෘජුව හෝ වක්‍රව මෙම පොල් වතුයායෙන් ආදායම් ලබති. එබැවින් බාකියම් ඇතුළු තවත් බොහෝ දෙනෙකුට ඛනිජ වැලි කැණීම පිළිබඳ කෙරෙන සාකච්ඡා, තමන් ගේ රැකියාව, භූමිය සහ සමස්ත ප්‍රජාවගේ අනාගතය පිළිබඳ පවතින බියෙන් වෙන් කළ නොහැකි ය. ඔවුන්ගේ බිය ඉතා සරල ය; එනම්, පරම්පරා ගණනාවක් තිස්සේ ධීවර කර්මාන්තයෙන්, ගොවිතැනින් සහ පොල් වගාවෙන් ජීවත් වූ මේ සුන්දර භූමිය, වැලි යට සැඟවී ඇති සම්පතක් මතු කරගැනීමේ අරමුණ වෙනුවෙන් ම සදහටම විනාශ වී යනු ඇතැයි කියා ය.

ලයිබීරියාවේ සිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට

දේශීය ලේඛන දෙස බලන විට ‘දම්සිල’ සහ ‘කැපිටල් මෙටල්ස්’ (Capital Metals PLC) යනු එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් සමාගම් දෙකක් ලෙස පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, නිල තොරතුරු මගින් හෙළිදරව් වන්නේ ඊට වඩා ගැඹුරු සත්‍යයකි; එනම්, මේ සමාගම් දෙකට ම වර්තමානයේ ඇත්තේ එකම අයිතිකරුවන්, එකම ව්‍යුහයක් සහ එකම වත්කම් සමුදායක් බවයි.

කැපිටල් මෙටල්ස් යනු එක්සත් රාජධානියේ (UK) ආයෝජකයින්ගේ පිටුබලය ලබන සමාගමකි. වත්මන් වන විට දේශීය ‘දම්සිල’ සහ තවත් සමාගම් කිහිපයක් සමග එකතු වී අයෝජනය කර ඔවුන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු වී, එහි වැලි යට සැඟවී ඇති වටිනා ඛනිජ සම්පත් කැණීමට අවසර ලබා ගැනීම සඳහා ය. නමුත් මෙම කැපිටල් මෙටල්ස් සමාගමේ අතීතය දෙස හැරී බලන විට, ලෝකයේ ප්‍රතිවිරුද්ධ දෙකොනක් එකිනෙකට යා කරන අඳුරු සහ ගැටලුකාරී ඉතිහාසයක් දැකගත හැකි ය.

තම නම ‘කැපිටල් මෙටල්ස්’ ලෙස වෙනස් කිරීමට පෙර, මෙම සමාගම හඳුන්වනු ලැබුවේ ‘ඉක්වටෝරියල් පාම් ඔයිල්’ (Equatorial Palm Oil - EPO) යන නමිනි. 2013 වසරේ දී මෙම සමාගම බටහිර අප්‍රිකානු රටක් වන ලයිබීරියාවේ සිදු වූ බරපතළ මානව හිමිකම් අර්බුදයකට සෘජුවම සම්බන්ධ විය. එහි ජීවත් වූ දේශීය ගම්වැසියන් චෝදනා කළේ, මෙම බ්‍රිතාන්‍ය සමාගම තමන් ගෙන් කිසිදු විමසීමකින් තොරව තමන් ගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගත් බවයි.

ප්‍රජා නායකයින් පැවසූ පරිදි, සමාගම විසින් එහි වනාන්තර කපා විනාශ කර, වගාබිම් පාළු කර දැමූ අතර, ඊට එරෙහිව විරෝධතා දැක්වීමට උත්සාහ කළ ගම්වැසියන්ට තර්ජනය කිරීමට සහ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ප්‍රාදේශීය ආරක්ෂක අංශ පවා යොදවා ගෙන තිබුණි. ග්ලෝබල් විට්නස් (Global Witness) බඳු ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන මෙම අපරාධ පිළිබඳව ලෝකය පුරා දැඩි ලෙස හඬ නැගී ය. සමාගම තමන් අතින් කිසිදු වරදක් සිදු නොවූ බවත් තමන් නීතියට අනුකූලව කටයුතු කළ බවත් පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කළ ද, ප්‍රදේශවාසීන් ගේ දැවැන්ත විරෝධතා, ජාත්‍යන්තර අපකීර්තිය සහ මූල්‍ය අර්බුද හමුවේ අවසානයේ එම ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථක විය.Screenshot 2026 06 28 150158

මෙලෙස කටු පොල් (Palm Oil) ව්‍යාපාරය බිඳ වැටීමෙන් පසු, සමාගම සිය ව්‍යුහය වෙනස් කර, නව නමකින් පෙනී සිටිමින්, අප්‍රිකාවේ කෘෂිකර්මාන්තයෙන් ආසියාවේ ඛනිජ වැලි කැණීමේ ක්ෂේත්‍රය වෙත තම අවධානය යොමු කළේය. ඔවුන් ‘කැපිටල් මෙටල්ස්’ ලෙස ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට සේන්දු වූයේ ඒ ආකාරයෙනි.

එදා ලයිබීරියාවේ දී ජනතා විරෝධයට ලක්වූ ඒ සමාගමම, අද අම්පාරේ වෙල්යායවල් සහ ධීවර වරායන් ආශ්‍රිතව තම මෙහෙයුම් දියත් කරන්නට උත්සහ කරමින් සිටී. කැපිටල් මෙටල්ස් සමාගම තිරුක්කෝවිල්හි සිය කාර්යාලය පිහිටුවද්දී, ප්‍රදේශයේ ජනතාව නගන සරලම ප්‍රශ්නය මෙයයි: "එදා අප්‍රිකාවට සිදුවූ දේ අද ශ්‍රී ලංකාවටත් සිදුවේවිද? නැතහොත් දේශීය ප්‍රජාව තමන්ගේ මව් බිම ආරක්ෂා කර ගැනීමට සමත් වේවිද?"

පාර්ලිමේන්තුවේ මතභේදය

තිරුක්කෝවිල්හි ඛනිජ වැලි කැණීමට එරෙහිව පවතින ජනතා විරෝධය මේ වන විට පාර්ලිමේන්තුව දක්වා ද ගමන් කර තිබේ.

පසුගිය ජූනි 24 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් රජයේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සහ ඛනිජ ගවේෂණ මෙන්ම බර ඛනිජ වැලි කැණීමේ ව්‍යාපෘති සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ම මතු කළේය. එම විවාදයේ දී ඔහු තර්ක කළේ ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්වලින් සැබෑ ලෙස ම ප්‍රතිලාභ ලබන්නේ කවුද යන්න සහ ඉන් ලැබෙන ආර්ථික ලාභය, දේශීය ප්‍රජාවට විඳීමට සිදුවන පාරිසරික සහ සමාජයීය පිරිවැය සමග සැසඳීමේ දී සාධාරණ ද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවයි.Screenshot 2026 06 28 150445

ඉකුත් 17වෙනි දා කොළඹ ගාලුමෝදර පිටියේ දී පරිසරවේදීන් විසින් මෙම විනාශකාරී ඛනිජ වැලි නිස්සාරණයට සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් (teach-out session) පවත්වනු ලැබීය. පරිසරවේදීන් මෙලෙස ශ්‍රී ලංකාවේ වෙරළ තීරය සුරැකීම වෙනුවෙන් හඬ නඟන අවස්ථාවේ දී, ඊට නොදුරින් පිහිටි ගාලුමෝදර හෝටලය තුළ "Mineral Sands Technical Conference 2026" නමින් විශේෂ තාක්ෂණික සමුළුවක් පැවැත්වෙමින් තිබුණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ය.

ලංකා වාණිජ මණ්ඩලය සහ ඕස්ට්‍රේලියාවේ මිනරල් ටෙක්නොලජීස් (Mineral Technologies Australia) ආයතනය එක්ව සංවිධානය කර තිබූ මෙම වැඩසටහන, 'කැපිටල් මෙටල්ස්' (Capital Metals) ඇතුළු ප්‍රමුඛ පෙළේ ඛනිජ කැණීම් සමාගම්වල පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූවක් විය.

එමෙන්ම, ජූනි 25 වැනිදා අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්ද්‍රන් කෝඩීස්වරන් ද තිරුක්කෝවිල් ප්‍රදේශයේ යෝජිත ඛනිජ වැලි කැණීම් කටයුතු සම්බන්ධයෙන් තමන් ගේ දැඩි කනස්සල්ල පාර්ලිමේන්තුවේ දී හඬගා පැවසී ය. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී මතු වූ මෙම ගැටලුවලට ඉදිරි සති කිහිපය තුළ නිල පිළිතුරක් ලබා දෙන බවයි. මෙම පාර්ලිමේන්තු විවාදවලින් පිළිබිඹු වන්නේ වඩාත් පුළුල් ජාතික මට්ටමේ ගැටලුවකි. ශ්‍රී ලංකාව සතුව අපනයන ආදායම් උත්පාදනය කළ හැකි සහ විදේශීය ආයෝජන ආකර්ෂණය කරගත හැකි බර ඛනිජ වැලි විශාල තැන්පතු පවතී. පැවති සහ පවතින රජයන් ද මෙම සම්පත් දෙස බැලුවේ පුළුල් ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක කොටසක් ලෙස ය. නමුත් ඒ අතරම, මෙම සම්පත් බහුල ප්‍රදේශවල ජීවත්වන ජනතාව තර්ක කරන්නේ, පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ධීවර කර්මාන්තය, ගොවිතැන සහ සත්ව පාලනය සඳහා යැපුණු භූමියක අනාගතය තීරණය කිරීමට හුදු ආර්ථික ගණන් හිලව්වලට පමණක් ඉඩ දිය නොහැකි බවයි.Screenshot 2026 06 28 151045

තිරුක්කෝවිල් ව්‍යාපෘතියට සම්බන්ධ ‘කැපිටල් මෙටල්ස්’ (Capital Metals PLC) සමාගම මෙම ඛනිජ වැලි තැන්පතුව වාණිජමය වශයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත එකක් ලෙස හඳුන්වා දී ඇති අතර, අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ ඉස්මතු කරමින් මෙහි සංවර්ධන කටයුතු අදියර කිහිපයකින් සිදුකරන බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, පරිසරයට සහ සමාජයට සිදුවන හානිය අවම කිරීමට නිසි පියවර ගෙන ඇති බව විශ්වාස කිරීමට ප්‍රදේශවාසීන් තවමත් සූදානම් නැති නිසා, ව්‍යාපෘතිය පිළිබඳ විවාදය තවදුරටත් උණුසුම් වෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ සාකච්ඡා දිගින් දිගටම සිදුවෙද්දී, මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නේ ද සහ එය කුමන කොන්දේසි යටතේ සිදු කරන්නේ ද යන්න තීරණය කිරීමට රජයේ ආයතනවලට, පළාත් පාලන ආයතනවලට සහ නියාමන ආයතනවලට සිදුවනු ඇත. නමුත් තිරුක්කෝවිල් බිම් මට්ටමේ දී මෙම විවාදය වඩාත් සෘජු මුහුණුවරක් ගනී. දේශීය ප්‍රජාවට මෙය වියුක්ත ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නොව, තමන් ගේ ඉඩම්, ජලය සහ ජීවනෝපාය සමඟ සෘජුව ම ගැටගැසුණු පැවැත්මේ ප්‍රශ්නයකි. බොහෝ වැසියන් පවසන්නේ අක්කරෛපත්තුව සහ පොතුවිල් යනාදි අසල්වැසි නගර සමග සංසන්දනය කිරීමේ දී තිරුක්කෝවිල් ප්‍රදේශය සංවර්ධනයේ දී දිගු කලක් තිස්සේ නොසලකා හැර ඇති බවයි. එසේ වුව ද, ඔවුන් තර්ක කරන්නේ මෙම වෙරළ තීරයේ වටිනාකම රැඳී ඇත්තේ වැලි යටින් මතු කරගත හැකි සම්පත් මත පමණක් නොව, එය දැනටමත් පෝෂණය කරන සමස්ත පරිසර පද්ධතිය සහ ජන ජීවිතය මත බවයි.

කෝරෛකලප්පු කළපුවට සැඳෑ කළුවර වැටෙද්දී, ධීවරයෝ තම බෝට්ටු වෙරළට ගෙන එමින් සිටිති. ගම්වැසියන් ද තම දෛනික ජීවිතයේ සුපුරුදු රාජකාරිවල නිරත වෙති. ඛනිජ වැලි පිළිබඳ මේ අරගලයේ අවසාන තීන්දුව කොළඹ දී තීරණය වනු ඇතත්, එහි සැබෑ ප්‍රතිඵලය වඩාත්ම සෘජුව දැනෙනු ඇත්තේ තිරුක්කෝවිල් වැනි දුෂ්කර ප්‍රදේශවල මිනිසුන්ට ය. එහිදී මතුවන සැබෑ ප්‍රශ්නය සංවර්ධනය පිළිබඳව පමණක් නොවේ; ඒ සංවර්ධනයේ පිරිවැය තීරණය කරන්නේ කවුද සහ එය කරපින්නා ගන්නේ කවුද යන්න පිළිබඳව යි.

Screenshot 2026 06 28 102433

 

 

 

 

ශබීර් මොහොමඩ්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න