වරලත් මාධ්‍යවේදීන් ගේ වෘත්තීය ආයතන (CIMP) පනත් කෙටුම්පත කෙරෙහි ආයතනගත (institutionalized) මාධ්‍යවේදීන් දක්වන නිශ්ශබ්දතාව සහ බොහෝ අවස්ථාවල දී දක්වන විවෘත උද්‍යෝගය හෙළිදරව් කළ යුතු දේශපාලන අපකීර්තියකි. මෙම පනත් කෙටුම්පත තමන් ගේ ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වූ සෘජු ප්‍රහාරයක් ලෙස හඳුනා ගන්නවා වෙනුවට, ස්ථාපිත මාධ්‍ය වෘත්තිකයන්ගේ සැලකිය යුතු ස්ථරයක් එය වැලඳගෙන ඇත්තේ පෞද්ගලික අභිවෘද්ධිය සඳහා වූ අවස්ථාවක් ලෙස ය.
ඔවුන් වරලත් ආයතනය දකින්නේ සිර කූඩුවක් ලෙස නොව, වරප්‍රසාදිත තට්ටුවක “ක්ලබ්” එකක් ලෙසය; එනම් ඔවුන් ගේ වෘත්තීය තත්ත්වය සහතික කරන, හීලෑ නොවූ “අන්තර්ගත තනන්නන්ගේ” (content developers) මහා සමාජයෙන් සහ සමාජ මාධ්‍ය විචාරකයින් ගෙන් ඔවුන්ව වෙන් කර හඳුනා ගන්නා, සහ වඩාත්ම වැදගත් දෙය නම්, රාජ්‍ය පිළිගැනීම මගින් ලබා දිය හැකි ද්‍රව්‍යමය වරප්‍රසාද සඳහා දොරටු විවෘත කරන රාජ්‍ය මගින් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයක් ලෙස ය. මේ ද්‍රව්‍යම වාසි අතර විශ්‍රාම වැටුප්, රක්ෂණ ක්‍රම, සහන පොලී අනුපාත යටතේ බැංකු ණය, විදේශ වීසා පහසුකම්, රජයේ ප්‍රචාරණ සහ කොන්ත්‍රාත්තු සඳහා ප්‍රවේශය මෙන්ම බලවතුන් සමග මේසයේ අසුනක් ලබාගැනීම අන්තර්ගත වේ.
මෙය මාධ්‍ය නිදහසේ ආරක්ෂකයින් ගේ දැක්ම නොව, ධනේශ්වර රාජ්‍යය සමග සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් තම තත්ත්වය සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරන වරප්‍රසාදිත සුළු-ධනේශ්වර ස්ථරයක දැක්මයි. එය මාධ්‍යවේදියා ගේ නොව, රාජ සභිකයෙකු ගේ මානසිකත්වයයි.
අල්ලස සහ යදම්
2026 පෙබරවාරි 17 වන දින, NPP/JVP රජයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, මාධ්‍යවේදීන් ගේ රැකියා සුරක්ෂිතතාව, වෘත්තීයභාවය, සෞඛ්‍ය රක්ෂණය සහ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වරලත් ආයතනයක් පිහිටුවන බවත්, ශිෂ්‍යත්ව ක්‍රම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ය.
දිසානායක රජය මෙම දිරිගැන්වීම් ලබා දෙන්නේ ත්‍යාගශීලීකමකින් නොවේ. එය ධනේශ්වර රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සම්භාව්‍ය මූලෝපායක් ක්‍රියාත්මක කිරීමකි; එනම් වෘත්තියේ මූලෝපායික ස්ථරයක් මුදලට ගැනීම, ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා පාලන තන්ත්‍රයේ පැවැත්ම සමග ගැටගැසීම, සහ එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගෙල සිර කිරීමට එරෙහිව ඇති විය හැකි ඕනෑම විරෝධයක් කැබලි කිරීමයි. අද දින රාජ්‍ය සහතික ලත් අක්තපත්‍රයක්, පහසුකම් සහිත බැංකු ණයක් හෝ රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා ගන්නා මාධ්‍යවේදියා හෙට දින ප්‍රාණ ඇපකරුවකු බවට පත්වේ. මෙම වරප්‍රසාද ලබා දෙන රාජ්‍යයට ම ඒවා අවලංගු කිරීමටද හැකි ය; CIMP පනත යටතේ, අවලංගු කිරීමේ යාන්ත්‍රණය දැනටමත් එහි ව්‍යුහය තුළම ගොඩනගා ඇත. 24 වන වගන්තිය මගින් “වෘත්තීමය විෂමාචාරය” සඳහා “සාමාජිකයකුගේ නම ලියාපදිංචියෙන් ඉවත් කිරීමට” කවුන්සිලයට බලය පවරා ඇති අතර, එම පදය 23(2) වගන්තිය යටතේ හිතාමතාම නිර්වචනය නොකර තබා ඇත. එය පසුව එම කවුන්සිලය විසින් ම සාදනු ලබන රීති මගින් සම්පූර්ණ කරනු ඇත. තමන් විශ්‍රාම වැටුපක් සුරක්ෂිත කර ගන්නා බව විශ්වාස කරන මාධ්‍යවේදියා සැබවින් ම කරන්නේ තමන්ගේ හිස තොණ්ඩුවකට හසු කර ගැනීමයි.
මෙය උපකල්පිතයක් නොවේ. මෙම ගතිකත්වය නැවත නැවතත් සිදුවන අයුරු අපි දැක ඇත්තෙමු. 2023 දී, ශ්‍රී ලංකා වෛද්‍යවරුන් ගේ වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, තම සාමාජිකයින් ගේ සන්නිවේදන රජය විසින් වාරණය කිරීමට එකඟ වූ අතර, එමගින් වෘත්තීය සමිති රජය සහ සංස්ථා සඳහා කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කළේ ය. එවැනි විධිවිධාන සාකච්ඡා කරන වෘත්තීය සමිති නිලධාරීහු තම සාමාජිකයින් ගේ අයිතිවාසිකම් පාවා දෙමින් තම තනතුරු සුරක්ෂිත කර ගනිති. CIMP පනත මෙම ආකෘතිය මාධ්‍යවේදයට ද ව්‍යාප්ත කරයි: එනම් වරලත් ආයතනයක් නිර්මාණය කිරීම, අවනත පුද්ගලයන් එයට පත් කිරීම සහ වෘත්තිය ඇතුළතින්ම විනයගත කිරීම සඳහා එය භාවිතා කිරීමයි.
පාවාදීමේ පන්ති ස්වභාවය
CIMP පනත පිළිගන්නා මාධ්‍යවේදීන් ක්‍රියා කරන්නේ නොදැනුවත්කම නිසා නොවේ. ඔවුන් ක්‍රියා කරන්නේ පන්ති වුවමනා මතය; එනම්, රාජ්‍ය වාරණයට වඩා, කම්කරු පන්තියේ ස්වාධීන බළමුළු ගැන්වීමට සහ අන්තර්ජාලයේ නියාමනය නොකළ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට බිය වන, වරප්‍රසාදිත ස්ථරයක වුවමනා මතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ආයතනික මාධ්‍ය දැනටමත් කතිපයාධිකාරීන් (පරපුටු මහා ව්‍යාපාරික කිහිපය) සහ රාජ්‍යය විසින් දැඩි ලෙස පාලනය කරනු ලැබේ. එහි ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් බොහෝ කලකට පෙර සිට ම දේශපාලන බලය සමග සමාදාන වී ඇත. ඔවුන්ව භීතියට පත් කරන්නේ රජයේ මර්දනය නොව, ස්වාධීන මාර්ගගත (online) මාධ්‍යවල නැගීමයි; එනම්: වෘත්තියේ ස්ථාපිත ධුරාවලියෙන් බැහැරව ක්‍රියා කරන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු පියවර, පෞද්ගලීකරණය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ කෝපයට හඬක් දෙන බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය විචාරකයින්, යූ ටියුබ්කරුවන්, පුරවැසි මාධ්‍යවේදීන් සහ සමාජවාදී ප්‍රකාශන යි.
CIMP පනත, “අන්තර්ගතය තනන්නන්” රාජ්‍යයේ විනය උපකරණ යටතේට පත් කිරීම මගින්, මෙම තරගකාරිත්වය තුරන් කිරීමට පොරොන්දු වෙයි. ආයතනගත මාධ්‍යවේදියාට මෙම පනත මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවේ; එය ඔවුන් ගේ වෘත්තීය බලකොටුව වටා ඇති දිය අගලකි. ඔවුන්ව සහතික කරනු ලැබෙනු ඇත. ඔවුන් ගේ ප්‍රතිවාදීන් ලේඛනයෙන් ඉවත් කරනු ලැබෙනු ඇත. නිදහස් ප්‍රකාශනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බලපත්‍රලාභී වරප්‍රසාදයක් බවට පරිවර්තනය කරනු ඇති අතර, ඔවුන් එම බලපත්‍රලාභීන් අතර සිටිනු ඇත.
මෙය වඩාත්ම භයානක ආකාරයේ ප්‍රතිගාමී ස්ථාවරයකි. වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රය විසින් තැපැල් සේවකයින් ගේ, විදුලි සේවකයින් ගේ සහ සෞඛ්‍ය සේවකයින් ගේ වැඩ වර්ජන මර්දනය කිරීමට හේතු වූයේ ද මෙම මානසිකත්වයම ය. එනම්, රාජ්‍ය උපකරණ තුළ තම තනතුරු රැක ගැනීම සඳහා පුළුල් කම්කරු පන්තියේ අවශ්‍යතා පූජා කිරීමයි. එය මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝග ප්‍රවාහනය කරන වාහකයක් ලෙස සේවය කිරීම සඳහා යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල අධිරාජ්‍යවාදය විසින් පෝෂණය කරනු ලබන වරප්‍රසාදිත ස්ථරය වන කම්කරු ප්‍රභූතන්ත්‍රයේ (labor aristocracy) මානසිකත්වයයි.
උගුලක් මිස සෙවණක් නොවේ
CIMP පනතෙන් තමන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි සිතන මාධ්‍යවේදීහු මුළාවක පසුවෙති. වරප්‍රසාද ලබා දෙන රාජ්‍යයට ඒවා ආපසු ලබා ගත හැකි ය. මාධ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අන්තර්කාලීන කවුන්සිලය අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් සහ දේශපාලන පත්වීම්ලාභීන් හය දෙනෙකු ගෙන් සමන්විත වන අතර “වෘත්තීය විෂමාචාරය” නිර්වචනය කරන රීති ලියනු ඇත. එම රීති ලියන්නේ මාධ්‍යවේදයේ අවංකභාවය (integrity) ආරක්ෂා කිරීමට නොවේ. ඒවා ලියන්නේ රජය විවේචනය කිරීම නිශ්ශබ්ද කිරීමට ය. අද දින අක්තපත්‍ර පිළිගන්නා මාධ්‍යවේදියා, වැඩ වර්ජනයක් වාර්තා කිරීම, දූෂණ වංචාවක් හෙළිදරව් කිරීම හෝ IMF වැඩසටහන විවේචනය කරන ලිපියක් පළ කිරීම හේතුවෙන් හෙට දින සාමාජික ලේඛනයෙන් ඉවත් කරනු ලැබිය හැකි ය. විශ්‍රාම වැටුප, බැංකු ණය, වීසා පහසුකම් යනාදි මේ සියල්ල මාධ්‍යවේදියා සීමාවෙන් ඔබ්බට පියවර තබන මොහොතේ ම අතුරුදන් වනු ඇත.
මාධ්‍ය නිදහසේ එකම විශ්වාසදායක සහතිකය රාජ්‍යය විසින් නිකුත් කරන ලද වෘත්තීයභාවය පිළිබඳ සහතිකයක් නොවේ. එම සහතිකය වන්නේ කම්කරු පන්තියේ සංවිධානාත්මක බලය යි. රාජ්‍යය සමග සහයෝගයෙන් කටයුතු කිරීම මගින් රාජ්‍ය මර්දනයෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන මාධ්‍යවේදීන්ට පෙනී යනු ඇත්තේ, ඔවුන් තමන්ව එයට වඩාත් ගොදුරු කර දී ඇති බව පමණි. ඔවුන් තම ස්වාධීනත්වය කැඳ කෝප්පයක් වෙනුවෙන් පාවා දී ඇති අතර, නියමිත වේලාවට ඔවුන්ව ගිල දමනු ඇත.
මාධ්‍යවේදීන් කම්කරු පන්තිය සමග බැඳීගත යුතු ය
CIMP පනත මුලින් වෘත්තීය අභිවෘද්ධිය සඳහා වූ අවස්ථාවක් ලෙස සැලකූ අය ඇතුළුව සියලු ම අවංක මාධ්‍යවේදීන් ගෙන් ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) ඉල්ලා සිටින්නේ මෙම ප්‍රතිගාමී දිශානතියෙන් තීරණාත්මක ලෙසම මිදෙන ලෙසයි. CIMP පනතට එරෙහි සටන වෘත්තීය ප්‍රභූ පෙළැන්තියක වරප්‍රසාද සඳහා වන සටනක් නොවේ. එය සමස්ත කම්කරු පන්තියේ, සියලු ම “අන්තර්ගත නිර්මාණකරුවන් ගේ” (content creators) ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන සටනකි. ධනේශ්වර රාජ්‍යයේ අනුග්‍රහය සෙවීමෙන් මාධ්‍යවේදීන්ට තම ප්‍රකාශන අයිතිය ආරක්ෂා කර ගත නොහැකි ය. ඔවුන්ට එය ආරක්ෂා කර ගත හැක්කේ එම රාජ්‍යය පෙරළා දැමීමට බලය ඇති පන්තිය සමග එක්වීමෙන් පමණි.
අල්ලස ප්‍රතික්ෂේප කරනු! රක්ෂණ, විශ්‍රාම වැටුප්, ණය සහ වීසා පිළිබඳ රජයේ පොරොන්දුව ඔබේ යදම් සදහා ගෙවන මිලයි. කිසිදු ද්‍රව්‍යමය දිරිගැන්වීමක් මාධ්‍ය නිදහස පාවා දීමට තරම් වන්නේ නැත!
රාජ්‍යය සමග සහයෝගයෙන් කටයුතු කරන ආයතනගත මාධ්‍යවේදීන් ගෙන් මිදෙනු! ඔවුන්ගේ “වෘත්තීයභාවය” පන්ති පාවාදීම සඳහා වූ වැස්මකි. ඔවුන් මාධ්‍යවේදය වෙනුවෙන් කතා නොකරයි; ඔවුන් කතා කරන්නේ තමන්ගේම වෘත්තීය ජීවිතය වෙනුවෙනි!
මාධ්‍යවේදීන් සහ කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් කරනු! මාධ්‍ය නිදහස සඳහා වන සටන IMF කප්පාදු පියවරවලට එරෙහිව, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සහ සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා වන සටනෙන් වෙන් කළ නොහැකි ය!
ආයතනික මාධ්‍ය හිමිකරුවන්ගෙන්, වෘත්තීය සමිති නිලධාරිවාදයෙන් සහ රාජ්‍යයෙන් ස්වාධීනව, බාධාවකින් තොරව ප්‍රකාශනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීම සඳහා මාධ්‍ය කම්කරුවන් ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!
CIMP පනත පරාජය කරනු! මාධ්‍යවේදීන් රාජ්‍ය බලපත්‍රගත කිරීමට එරෙහි වනු! මාධ්‍ය නිදහස යනු අයිතිවාසිකමකි, වරප්‍රසාදයක් නොවේ!
රාජ්‍යයට සේවය කරන පන්හිඳ රාජ්‍යය විසින්ම බිඳ දමනු ඇත; කම්කරු පන්තියට සේවය කරන පෑන කම්කරු පන්තිය විසින් ආරක්ෂා කරනු ඇත. මාධ්‍යවේදීන් තමන් සිටින්නේ කුමන පාර්ශවයේ ද යන්න තෝරා ගත යුතු ය.
මෙම ලිපිය ඉංග්‍රීසි බසින් “The Betrayal of the Pen: Defeat the Reactionary Attitude of Journalists Who Welcome the CIMP Bill” සිරසින් 2026 ජුනි 27 දින පළ විය.
*Sri Lankan union agrees to government censorship of health employees (07 August 2023) https://www.wsws.org/en/articles/2023/08/,07/rhjc-a07.html

සංජය ජයසේකර
මූලාශ්‍ර - thesocialist.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
