මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයින් අද (04) සහ හෙට (05) යන දෙදින සංචාරය කිරීමට නියමිතව තිබූ පොළොන්නරුව සහ සීගිරි සංචාර අවලංගු කර තිබෙන බව වාර්තා වෙයි.
සංචාරක අමාත්‍යංශය සිදුකල දැනුම්දීමක් අනුව මේ තීරණය ගත්බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරන අතර ඒ අනුව අද සහ හෙට දේශීය සංචාරකයන්ට තහනම් කර තිබුණු පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන දේශීය සංචාරකයින්ට විවෘත වන බව ද පැවසේ.
මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් හේතුවෙන් යාල වනෝද්‍යානයේ සෆාරි ජීප්රථ රියදුරන් 27 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට යොමු කිරීමට ඊයේ (03) පියවර ගෙන තිබිණ.
ඒ සම්බන්ධව විරෝධය දැක්වූ සෆාරි රියදුරන් චෝදනා කර සිටියේ කොවිඩ් ආසාදිත යුක්‍රේන සංචාරකයන්ට රටවටේ යන්න අවස්ථාව ලබාදී පැය 3ක සෆාරියක් ගෙනගිය තමන්ව දින 14ක නිරෝධායනයකට ලක්කිරීම බලවත් අසාධාරණයක් බවය. එසේම එම සෆාරි අවසානයේ නිරෝධායනයට යොමුවන්න සිදුවන බවක් තමන්ට පෙර දැනුම් නොදුන් බවත් ඔවුන් පවසයි.

