අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ලවන බාධා පරාජය කරමු !

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ලවන බාධා පරාජය කරමු !

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති අයිතියට එල්ල වන බාධා පරාජය කළ යුතුව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සඳහන් කරන අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ  ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති බව ඒ සම්බන්ධව සිය  බරපතල කණස්සල්ල පළ කරන බවත් සඳහන් කර ඇත.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. 

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරැණු අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත්  අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නියමිත බවද පසුගිය දා ප්‍රකාශ විය.

2020 නොවැම්බර් මාසයේ දී සමාජ ජාල ඔස්සේ  අදහස් පළකිරීම, අදහස් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල පිරිසක් ආරක්ෂක අංශ විසින් රඳවා ගැනීම්  සහ ප්‍රශ්න කිරීම්වලට ලක් කරනු ලැබිණ. දෙමළ ජාතික සංධානයේ  මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා මේ පිළිබදව දෙසැම්බර් මස 05 වන දින පාර්ලිමේන්තුවේ පවා අවධානයට යොමු කර ඇත.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අධ්‍යාපන බලධාරීන් විවෙචනය කිරීමක් සම්බන්ධයෙන් ජයවර්ධනපුර කලාපයේ පාසලක සේවය කරන ගුරුවරියකගෙන් ද  බලධාරීන් විසින් නිදහසට කරුණු විමසීමේ සිද්ධියක් පසුගිය සතියේදී වාර්තා විය.

 ජාතික ආරක්ෂාව, අසත්‍ය පුවත් පැතිරවීම සහ වෛරී  ප්‍රකාශ වැළැක්වීම වැනි හේතු මත අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැකියාව ඇත. එහෙත් ඒ සියල්ල නීතියට අනුව සිදුවිය යුතු අතර  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ,විවිධ නඩු තීන්දු ඔස්සේ තහවුරු කර ඇති අදහස්  ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විදීමට ජනතාවට ඇති අයිතිය පැහැර ගැනීමක් නොවිය යුතුය.

 ඉහතින් සඳහන් කළ සිදුවීම්වලදී ආරක්ෂක අංශ, පොලිසිය, සහ විවිධ නිලධාරින් නෛතික සීමා ඉක්මවමින්,  සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට යම් යම් බාධා සිදුවන ආකාරයට කටයුතු කර  ඇති බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. මෙම තත්ත්වය පිළිබද අවධානය යොමු කර ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් වූ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුව ඇතුළු සියලු වගකිය යුතු පාර්ශව වෙත අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙම අහිතකර ප්‍රවණතාවය පරාජය කිරීම සඳහා පෙරට එන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න