දිලිත් ජයවීරට හා දෙරණට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් !

දිලිත් ජයවීරට හා දෙරණට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් !

දෙරණ මාධ්‍ය ආයතනය සහ පොදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ විධිවිධානයන් උල්ලංඝනය කිරීමට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වෙයි.

දම්පල් දරුවෝ ජාතික සංවිධානය විසින් අද (08) ගොනුකළ පැමිණිල්ල හරහා  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන දෙරණ රූපවාහිනී නාලිකාවෙන් පසුගිය දිනවල විකාශයවූ  පොදු නැමති ටෙලි නාට්‍යයේ විකාශයවූ ඇතැම් දර්ශන තුළින් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සඳහා ප‍්‍රචාරයක් ලබාදුන් බවට තොරතුරු තම නිරීක්ෂණය භාගනයවූ බවත් පෙන්වාදී ඇත.

මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් දම්පල් දරුවෝ ජාතික සංවිධානය විසින් නිකුත් කර ඇති අතර දෙරණ ආයතනයේ හිමිකරු වන දිලිත් ජයවීර , දෙරණ රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානීන් සහ පොදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට චේතාන්විතව කඩකරමින් උපරිමය රුපියල් මිලියන දෙකක දඩයකට යටත්වන වරදක් කරඇති බවට  ඇති සාක්ෂි සහ තොරතුරු සහිත ලිඛිත පොලිස් පැමිණිල්ලක් ලෙස කොළඹ කොටුව* පිහිටි පොලිස් මූලස්ථානය වෙත සිදුකල බවත් සඳහන් කර ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

  1. මෙම අවස්ථාව සඳහා දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ සභාපති ගෞරව ශාස්ත‍්‍රපති පූජ්‍යපාද යහමුල්ලේ අනුරවංශ හිමිපාණන් වහන්සේ සහ දම්පල් දරුවෝ ගිහි අනුශාසක ආචාර්ය ප‍්‍රීති කුලතුංග, ගිහි අනුශාසක නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි, මහලේකම් මහේෂ් රංගන ජයරත්න, නියෝජ්‍ය ලේකම් මාධව සංජීව විජයරත්න යන මහත්ම මහත්මීන් සහභාගීවූහ.

  2. බෝසත් ගුණැති ධර්මපාලතුමාගේ මග යමින් සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීමට කැපවී සිටින අප සංවිධානය එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා දැනට බොහෝ කාලයක සිට දිවයින පුරා විවිධ වැඩසටහන් නිරන්තරයෙන් සිදු කරන ජාතික සංවිධානයකි.

  3. සදාචාර සම්පන්න සමාජයක් බිහිකර ගැනීමට අප වැනි සංවිධාන වලින් සිදුකරන දැනුවත් කිරීම් සහ වැඩමුළු ආදිය පමණක් ප‍්‍රමාණවත් නොවන බැවින් රටේ යහපැවැත්ම වෙනුවෙන් පනවා ඇති නීති රීති කඩ නොකිරීමට ජනතාව පෙළඹවීම සහ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන සක‍්‍රීයව තම කාර්යභාරය ඉටුකිරීම ද අත්‍යාවශ්‍ය බව අප සංවිධානය විසින් තරයේ විශ්වාස කරනු ලබයි.

  4. 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ 35 (1) වගන්තියට අනුව ”කිසිම තැනැත්තෙකු විසින් දුම්කොළ ප‍්‍රචාරක දැන්වීමක් හෝ මද්‍යසාර පිළිබඳ ප‍්‍රචාරක දැන්වීමක් පළකිරීම, පළ කරනු ලැබීමට සැලස්වීම හෝ පළ කිරීමට බලය ලබාදීම නොකළ යුතුය.” එම විධිවිධානය උල්ලංඝනය කරන තැනැත්තෙකු එකී පනතේ 35(3) උප වගන්තියට අනුව ”මෙකී පනත යටතේ වරදකට වරදකරුවකු වන අතර, මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේදී රුපියල් මිලියන දෙකකට (ලක්ෂ 20) නොවැඩි දඩයකට යටත් විය යුතු බව” පැහැදිලිව දක්වා ඇත.

  5. පසුගිය දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ”පොදු” නැමති ටෙලිනාට්‍ය තුළ ඉහත 04 වන කරුණේ දැක්වෙන පරිදි වරදක් සිදු කරමින් දුම්කොළ හා මද්‍යසාර සඳහා ප‍්‍රචාරයක්, ප‍්‍රචාරය සදහා අනුබල ලබාදීමක් සිදුකර ඇති බවට සාක්ෂි සහ තොරතුරු පහතින් දැක්වේ.

  6. ඒ අනුව මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර ප‍්‍රචලිත කිරිමට අදාල සාක්ෂි ලෙස උක්ත ටෙලිනාට්‍යයේ විකාශනය වූ රූපරාමු පෙළක් ඇතුලත් සංයුක්ත තැටියක් සහ අදාළ මාධ්‍ය ජාලයේ සභාපති අමතා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති සමාධි රාජපක්ෂ මහතා විසින් යවන ලද අවවාද ලිපියේ පිටපතක් (සමාජ මාධ්‍ය තුලින් බාගත කරන ලද්දකි* මේ සමග අමුණා ඇත.

  7. උක්ත ටෙලිනාට්‍ය සැලසුම් කිරීම හා නිෂ්පාදනය කර ඇත්තේද එය විකාශනය කර ඇත්තේද 2006 අංක 27 දරණ දුම්කොළ පනත සම්මත කර ශ‍්‍රී ලංකාව තුළ බලාත්මක නීතියක්ව පවතිද්දී වන අතර මෙකී ටෙලිනාට්‍යයේ නිෂ්පාදකයින් සහ මාධ්‍ය ආයතනයේ හිමිකරු ඇතු`ඵ බලධරයින් එකී නීතිය චේතාන්විතම උල්ලංඝණය කර ඇතිබව පෙනීයයි.

  8. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා වලට අනුව දුම්වැටි පානය නිසා පමණක් වසරකට ශ‍්‍රී ලංකාවේ 15000-20000ත් අතර සංඛ්‍යාවක පුද්ගල මරණ සිදුවන බවට වාර්තා පවතී. එබැවින් මත්ද්‍රව්‍ය නිවාරණ ක‍්‍රියාවලියට සක‍්‍රීයව දායකවීමට ශ‍්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජයට, පොලිසියට මෙන්ම පොදු මහජනතාවට සුවිශේෂී වගකීමක් පවතින බව අප තරයේ විශ්වාස කරමු.

  9. එබැවින් මේ පිළිබඳව පොලිස්පතිතුමා ප‍්‍රමුඛ බලධාරීන්ගේ අවධානය හැකි ඉක්මනින් යොමුකර උක්ත වරද සිදුකර ඇති දෙරණ මාධ්‍ය ආයතනයේ හිමිකරු වන දිල්ත් ජයවීර මහතාට, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානීන්ට සහ  පොදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු වරදකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කළයුතුය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න